Sunday, August 2, 2015

‘සුරතල් පාතලයෝ’ වැඩ අරඹති

රවිගේ රැස්‌වීම ළඟ පත්තු වූ තුවක්‌කුවල කතාව

21796149_2 

‘සුරතල් පාතලයෝ’ වැඩ අරඹති

මැතිවරණ උණුසුමත් සමග ඇතැම් දේශපාලනඥයන්ට සමීප වූ කොළඹ පාතාල ප්‍රබලයන් මහා ව්‍යසනයක පෙරනිමිති පහල කරමින් සිටින බව රටේ මාධ්‍ය පමණක්‌ නොව ඉකුත් කාලයේ පොලිසිය මගින්ද අනාවරණය කරනු ලැබීය.
පොලිසිය එම අනාවරණය කරනු ලැබුවේ ප්‍රබල පාතාල කල්ලි පහක්‌ ඡන්ද වැඩ සඳහා දේශපාලනඥයන්ට සමීප වී සිටින බව සඳහන් කරමිනි. එම ප්‍රකාශය කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතාය.
මෙහිදී කොළඹ ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු සහ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන උත්තමයකු පාතාලය හුරතල් කිරීමේ වැඩකටයුතු ගජරාමෙට අරඹා තිබෙන බවද කියෑවෙමින් තිබිණ.
ඉකුත් කාලයේ පොලිසිය හා ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලට බියේ විදේශ රටවලට පැන ගිය පාතාල කල්ලි සාමාජිකයන්ද යළි මෙරටට පැමිණ මෙසේ දේශපාලනඥයන්ගේ ඡන්ද වැඩට එක්‌ව සිටින බව මේ අතරේ බුද්ධි අංශ මගින් ද හෙළි කරනු ලැබීය.
එහෙත් කොතෙක්‌ අනාවරණයන් කෙරුණද මෙකී කාලකණ්‌නින් අල්ලා දඟගෙට යවන්නට කෙනකු නොවීය. එකී නොහැකියාවට දේශපාලනයේ බලපෑම් හෙවත් පාතාලයන්ට දේශපාලන රැකවරණ ලැබීම හේතු වූවා විය හැකිය.
මේ රටේ පාතාලයේ උපත දේශපාලනය යෑයි කිවහොත් එහි එතරම් වරදක්‌ නැත. දේශපාලනඥයා ජනතාව අතරට ගියේ හුදී ජන සෙත පිණිස යෑයි කියමිනි. එහෙත් උන්ගේ සුදු රෙදි අස්‌සට වී හැමාදමත් සැඟවී සිටියේ පාතාලයන්ය. ඉන් බැට කෑවේ දේශපාලනඥයාට ඡන්දය දුන් ජනතාවමය.
මෙය මෙරට මෑත කාලීන දේශපාලන ඉතිහාසයට අයත් 1977 ධර්මිෂ්ඨ යුගෙයේ සිට සමාජගත වූවකි. එදා සිට අද දක්‌වාමත් එය එසේම සිදු විය. රටේ ජනතාවගේ වගකීම් භාර ගන්නට පොරකන ඇතැම් දේශපාලනඥයන්ට අදාළ සත්‍ය කතාව එසේ වෙද්දී මෙලෙස දේශපාලන පාතාලයන් අතින් ජනතාව බැට කෑමේ අලුත්ම කතාව ඉකුත් සිකුරාදා කරළියට පැමිණියේ කොළඹ බ්ලූමෙන්ඩල් ප්‍රදේශයෙනි.
එහිදී සිදු වූයේ කුමක්‌ද? මේ දිනවල පවතින මැතිවරණය ප්‍රචාරක වැඩ අනුව පසුගිය සිකුරාදා(31 දා) මුදල් ඇමැති රවි කරුණානායක මහතා සහභාගි වූ කුඩා දේශපාලන රැස්‌වීමක්‌ කොළඹ බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ විය.
පෙරවරු 10.00 ට පමණ බ්ලූමෙන්ඩල් නව නිවාස සංකීර්ණය ආසන්නයේදී එම රැස්‌වීමේ කටයුතු ආරම්භ කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබිණි. මේ අතරේ මුදල් ඇමැති රවි කරුණානායක මහතාද ඊට සහභාගි වීම සඳහා රැස්‌වීම් භූමියට ළඟා වූ අතර එසේ පැමිණීමෙන් පසු කෙටි අදහස්‌ දැක්‌වීමකින්a රැස්‌ව සිටි පිරිසද අමැතූ හේ පෙරවරු 10.30 ට පමණ යළි පිටව යැමට සූදානම් වූවේය.
මේ වන විට රැස්‌වීම් භූමියට පැමිණි පිරිස අතරේ කොළඹ පාතාලයේ නම ගිය චරිත කිහිපයක්‌ වූහ. ඔවුන් රැඳී සිටියේද රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් අතරට එක්‌ වෙමිනි.
රවි කරුණානායක මහතා පිටව යැමට සූදානම් වීමත් සමග විශාල රතිඤ්ඤා හඬකින් මුළු පළාතම ගිගිරුම් දෙන්නට වූයේ ඇමැතිවරයාගේ පිටව යැම සනිටුහන් කෙරෙමිනි.
නමුත් ඒ සමගම සිදු වූයේ කිසිවකුත් සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූවකි. එක්‌වරම රැස්‌වීම් භූමියේ සිටි පාතාලයන් ඉලක්‌ක කර කොහේදොa සිට වෙඩි වරුෂාවක්‌ ඉගිල එන්නට විය. වෙඩි ප්‍රහාරයත් සමග පාතාලයෝ සැණකින් පැන දිවූහ. එහෙත් ඊට ගොදුරු වූ අසරණ කාන්තාවක ඇතුළු දහහතර දෙනකු තුවාල ලබා බිම පතිත වූයේ වත්මන් දේශපාලනයේ හැඩරුව යළිත් රටට පසක්‌ කරමින්ය.
කොළඹ නගරයේ එක්‌ කොනක මහා දවාලේ සිදුවූ මෙම සිද්ධියත් සමඟ එහි ළඟා වූ පොලිසිය වහා ක්‍රියාත්මක වී රැස්‌වීම් භූමියේ සිටි තුවාලකරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කරනු ලැබුවද ඒ වන විටත් වෙඩි වැදුණු කාන්තාව ජිවිතයෙන් සමුගෙන ගොස්‌ සිටියාය.
පසුව පොලිසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරනු ලැබුවේ චිකාගෝ ක්‍රමයෙන් මේ සිදු වූයේ කුමක්‌ද යන්න විස¹ගත නොහැකිව වූ ගැටලුවක්‌ බවට පත්ව තිබූ බැවිනි. එහිදී අවට රැස්‌ව සිටියවුන් රහසේ තැන තැන කියන්නට වූයේ රැස්‌වීම් භූමියේ සිටි පාතාලයන් අතර බ්ලූමෙන්ඩල් සංඛ, ආමි සම්පත්, කෙසෙල්වත්තේ ධනේෂ්, වනාතේ බිම්සර ඇතුළු කිහප දෙනකු වූ බවකි.
වෙඩි තැබීමත් සමග ආමි සම්පත් නමැත්තා ගිනි අවියක්‌ද අතැතිව බ්ලූමෙන්ඩල් නව නිවාස සංකීර්ණය දෙසින් දිව ගිය බවද ඔවුහු කියන්නට වූහ. එහෙත් මුලදී එය කටකතා ස්‌වරූපයෙන් තිබුණද පසුව ඒ සියල්ල බුද්ධි අංශ මගින්ද තහවුරු කරන්නට විය.
මෙකී බ්ලූමෙන්ඩල් සංඛ සහ ආමි සම්පත් ඇතුළු පිරිස ඉකුත් කාලයේ විදේශගතව සිට පසුගිය දිනවල යළි මෙරටට පැමිණ සිටියවුන් බවට බුද්ධි අංශ මගින් ඉකුත් කාලයේ අනාවරණය කර තිබිණි. වෙඩි තැබීමෙන් කෙසෙල්වත්තේ ධනේෂ් නමැත්තා තුවාල ලබා රෝහල්ගතව සිටින බවද සිද්ධියෙන් සුළු කාලයකට පසු පොලිසියට වාර්තා විය.
මෙකී පාතාලයන් පිරිස ඇමැති රවි කරුණානායක මහතා සහභාගි වූ බ්ලූමෙන්ඩල් රැස්‌වීමට පැමිණියේ කුමක්‌ අරබයාද? මෙහිදී මතුවන ප්‍රබල ගැටලුවක්‌ බවට මේ වන විට එය පත්ව ඇත.
මෙම වෙඩි තැබීම සිදු කළේ බ්ලූමෙන්ඩල් සංඛ ඇතුළු කල්ලියට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකින් බව සිද්ධිය වී පැය කිහිපයකට පසු නිල නොවන මට්‌ටමින් කියෑවෙන්නට විය. එහෙත් එය සනාත කිරීමට එදින සවස්‌ වන තුරුත් පොලිසියට පවා නොහැකිව තිබිණ.
ඒ අතරේ මෙම වෙඩි තැබීම බ්ලූමෙන්ඩල් සංඛ සහ ආමි සම්පත් ඇතුළු කල්ලිය විසින් හිතා මතාම සැලසුම් සහගතව සිදු කළ එකක්‌ බවට වන සැකයක්‌ද පොලිසියට මතුවී තිබුණේ ආම් සම්පත් බ්ලූමෙන්ඩල් නිවාස සංකීර්ණය දෙසින් පැන දිව් බවට වාර්තා වීම නිසාය.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මිය ගියේ සිත්ති නසීමා නමැති තිදරු මවක්‌ බව පසුව හෙළි කර ගැනීමට පොලිසියට හැකි විය. ආගමික චාරිත්‍ර අනුව තමන්ට අත්වූ අමිහිරි මරණය සමග හෙට දිනයේ සිත්ති නසීමා නමැති ඒ මව මෙලොවෙන් සදහටම සමුගෙන පිටව යනු ඇත.
එහෙත් ඇය ඒ ගමන පිටත්ව යනුයේ කුමක්‌ නිසාද? ඒ මෙරට දේශපාලනය තුළ තවමත් ක්‍රියාත්මක ගෝත්‍රක භාවිතාව නිසාය. නමුත් එය එසේ යෑයි කියමින් හිත් හදාගෙන සිටීමට කාට හැකි වුවද සිත්ති නසීමාගේ දරුවන්ට සහ සැමියාට නොහැකි වනු ඇත.
මන්ද ඇය නැති අඩුව යහමින් දැනේනේ ඔවුන්ට නිසා වන බැවිනි. හෙට වන විට සිත්ති නසීමාගේ දේහය තැන්පත් කර තිබෙන නිවසට බොහෝ දේශපාලනඥයන් පැමිණෙනවාද නිසැකය. මන්ද මේ මැතිවරණ උණුසුමේ ඇගේ මරණය මතින් ගමන යැම පහසු වනු ඇතැයි සියල්ලන්ම කල්පනා කළ හැකි බැවිනි.
මෙරට දේශපාලනයේ ඇතැමුන් හැමදාමත් තමන්ගේ රෙද්ද අස්‌සට පතාලයන් ගෙන සුරතල් කරනු ලැබුවේද එකී කාලකණ්‌නි අරමුණ නිසාමද විය හැකිය.
එහෙත් උන්ගේ අමන දේශපාලන භාවිතාව හමුවේ මේ අන්දමින් තවත් සිත්ති නසීමාලා කී දෙනකු ජිවිතවලින් වන්දි ගෙවිය යුතුද? මේ රටේ මිනිසුන් එළැඹෙන මොහොතේ සිටවත් පාතාලය සුරතල් කරන පාදඩ දේශපාලනඥයන් දෙස බලා කල්පනා කළ යුත්තේ ඒ ටිකය.
මෙම සිද්ධියත් සමග මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක්‌ කළ ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් සහභාගි වූ රැස්‌වීම් භූමියට පතිති වූයේ තමන්ගේ හඬ නිහඬ කිරීමට ඉගිල ආ උණ්‌ඩ බවය.
එසේ නම් දැන් සිදුව ඇත්තේ රවි කරුණානායක මහතා සොයා ආ වෙඩි උණ්‌ඩය සිත්ති නසීමාගේ ඇඟේ වැදී ඇගේ ප්‍රණය උදුරා ගැනීමය. පාතාලයන් ඇමැතිවරයා සහභාගි වූ රැස්‌වීමේ සිටි අධාරකරුවන් අතරට ගියේ කෙසේද සහ ඔවුන් ඉලක්‌ක කර වෙඩි වරුෂාවක්‌ පැමිණියේ කොහෙන්ද යන්න පසෙක තබා අප දැන් කල්පනා කළ යුත්තේ ඇමැතිවරයාව එල්ල වූ උණ්‌ඩය නසීමාට වැදුණේ කෙසේද යන්න පිළිබඳවද?
නැත. මිනිසුනේ වටහා ගන්න. අප සිහි බුද්ධියෙන් යුතුව කල්පනා කළ යුතු වන්නේ පාතාලයන් දේශපාලන භූමියට දක්‌කාගෙන පැමිණියේ කවරෙක්‌දැයි යන්න පිළිබඳවය.
මන්ද ඉදිරියේදීත් දේශපාලන රැස්‌වීම් බිමක රැඳී සිටින සිත්ති නසීමාලගේ ජීවිත අහිමි වන්නේ මෙකී පාතාලයන් හේතුවෙන් වන නිසාය. තවත් එක්‌ අපූරු දේශපාලනඥයෙක්‌ පසුගියදා සිය ඡායාරූපය සමග පාතාලයකුගේ ඡායාරූපයද යොදා පොස්‌ටරයක්‌ නිර්මාණය කර තැන් තැන්වල අලවා ඡන්දය ඉල්ලන්නට එකී පාතාලයා සමගම ගෙන් ගෙට ගිය වගක්‌ද ඉකුත් සතියේ ගම්පහ දිස්‌ත්‍රික්‌යෙන් වාර්තා විය. ඒ ඡායාරූප සාක්‍ෂිද ඇතිවය.
මේ ගෙවී යමින් තිබෙන්නේ අපට මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමට ලැබී ඇති අවසන් සති කිහිපය ය. අප ඉදිරියට එන දේශපාලනඥයාගේ චරිතය මෙවැන්නක්‌ නම් ඉතිරිව ඇති දින කිහිපයේ අපේ ඡන්දය පිළිබඳ අප අවසන් තීරණය ගත යුත්තේ කෙසේද? මෙවන් දේශපාලනඥයන් අපට අවැසිද?
මතුවන පාතාල කතා සමග අවසන් වශයෙන් රටේ ජනතාවගෙන් අපට අසන්නට ඇත්තේ ඒ ටිකය.
සමන් ගමගේ  දිවයින

No comments:

Post a Comment