Tuesday, April 28, 2015

දින සියය අසාර්ථකයි.. මෛත‍්‍රී අසමත්.. රැල්ල මහින්දටයි.. – The Economist

දින සියය අසාර්ථකයි.. මෛත‍්‍රී අසමත්.. රැල්ල මහින්දටයි.. – The Economist යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩ සටහන අසාර්ථක බව ලෝක ප්‍රකට ආර්ථික සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ පවසයි.
එහි සඳහන් වන්නේ නව රජය හා ශ්‍රීලනිපය තුල බලය තහවුරු කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අසමත් වීම ඊට ප‍්‍රධාන හේතුව බවයි.
නව ජනාධිපතිවරයාට දින 100න් වැඩි කාලයක් ගෙවුනේ ලබාගත් බලය සමතුලිත කරගැනීමට උත්සාහ දැරීමට බවත් ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස පත් වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවමත් යම් වාසි සහගත තත්වයක් පක්ෂය තුල ඇතැයිද සඟරාවේ දැක්වෙයි.
මූලාශ‍්‍රය – 01

මහින්ද රාජපක්‍ෂ වහාම ප්‍රකාශයක් කළ යුතු ය



මහින්ද රාජපක්‍ෂ වහාම ප්‍රකාශයක් කළ යුතු ය

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද (අප්‍රේල්  28) අවසන් වි සවස හයට පමණ ඒ පිළිබඳ ඡන්දය විමසීමට නියමිත ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අප බොහෝ දේ ලියා ඇත. සම්මන්ත්‍රණ හා පුවත්පත් සාකච්ඡා පවත්වා ඇත. එහෙත් දෙරණ ද ඇතුලු කිසිම විද්‍යුත් මාධ්‍යයක ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා නො දිණි.


විපක්‍ෂයේ පක්‍ෂවල නායක දේශපාලනඥයන් අතරෙන් ප්‍රශ්නය ගැන දැඩි උනන්දුවකින් කටයුතු කෙළේ, කරන්නේ දිනේෂ් ගුණවර්ධන පමණ ය. මාධ්‍ය සාකච්ඡාවලට පැමිණි බොහෝ උගතුන් දහනවවැනි සංශෝධනය කියවා නො තිබිණි. දේශපාලනඥයන් ගැන කියනුම කවරේ ද? අප විසින් විවිධ අවස්ථාවල දී ඉදිරිපත් කෙරුණු කරුණු මෙසේ සාරංශ කළ හැකි ය.

ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය පහත සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය නොදිය යුතු ය. එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව මන්ත්‍රීවරුන් තේරුම් ගත යුතු ය.   

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගෙනෙන සිංහල විරෝධී ඒකාධිපති සංශෝධනයකි.

මෙහි අරමුණ විධායක ජනාධිපති බලතල කප්පාදු කර විධායක අගමැතිවරයකු ඇති කිරීම මිස පා ර්ලිමේන්තුවට බලය පැවරීම නො වේ.

අද රනිල් මෙයට එකඟ වන්නේ ඔහුට  කිසි දිනෙක ජනාධිපතිවරණයකින් විධායක ජනාධිපති විය නොහැකි බැවිනි. ඒ බව බටහිර ද ඉන්දියාව ද දනියි. 2005 දී පැරදුණු ඔහු ඉන්පසු දෙවතාවක් ම ඊනියා පොදු අපේක්‍ෂකයන්ට ඉඩ දුන්නේ ය.

එබැවින් ජනාධිපති වීමට නොහැකි ඔහුට අවශ්‍ය අගමැති වී විධායක බලතල ලබාගැනීම ය

අද කෙසේවත් ඔහු නීත්‍යානුකූල අගමැති නො වේ. ඔහු අගමැතිකම පික්පොකට් ගැසූවෙකි. එවැන්නකුට විධායක බලතල දීම වඩාත් භයානක ය.

ඔහුගේ අභිප්‍රාය මුල් සංශෝධනයෙන් පැහැදිලි විය. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඇතැම් වගන්ති ජනමත විචාරණයකට ලක්කිරීමට නියෝග නොකරන්නට ඔහු ඒ සියළු බලතල හිමිකර ගනු ඇත. ජනමාධ්‍ය සම්බන්ධ ඒකාධිපති සංශෝධන ඉවත්කර ගත්ත ද ඔහුගේ අභිප්‍රාය පැහැදිලි ය.

මෙය ඉදිරිපත් කෙරෙන්නේ සොභිත හිමියන් පවසන පරිදි මෛත්‍රිපාල ස්වකැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට සූදානම් නිසා නො වේ. ඔහුට එය නොකර බැරි ය. ඔහුට ඊනියා පොදු අපේක්‍ෂකත්වය ලැබුණේ යම් ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ය. ඒ ගනුදෙනුවට අනුව විධායක බලතල අගමැතිට හිමිකර දිය යුතු ය. අද සිදුවන්නේ ඒ ගනුදෙනුව ය.

මෛත්‍රිපාල බලලෝභී නොවන දේශපාලනඥයෙක් නො වේ. ඔහු බලලෝභී නොවන්නකු නොවන බව පෙන්නුම් කෙරෙන්නේ ඔහු අගමැති වීමට ඇල්ලූ පොරයෙනි. ඒ පොරය නිමල් සිරිපාල ද සිල්වා සමග විය. මෛත්‍රිපාල සියල්ල අත්හැරීමට සූදානම් බෝසතකු නම් කළ යුතුව තිබුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රගතිය සඳහා අගමැති පොරයෙන් ඉවත්වීම ය. එහෙත් ඔහු එසේ නො කෙළේ ය.

තමාට අගමැතිකම නොලැබීමේ පළිය ගැනීමට ඔහු විවිධ ඔත්තු සේවාවල අනුග්‍රහයෙන් රනිල් සමග එකතු විය. රනිල් අගමැතිකම පික්පොකට් ගැසීම සඳහා මෛත්‍රිපාල යොදා ගත්තේ ය.  රනිල්ට අවශ්‍ය වූයේ අගමැතිකම පික්පොකට් ගසා විධායක බලතල තම අතට ගැනීම ය.

ඕනෑම පනතක සංක්‍රමණීය විධිවිධාන වැදගත් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 54 (අ) වැනි වගන්තිය අනුව එය සම්මත වුහොත් එසේ සම්මත වීමෙන් පසු දිනයේ සිට ද  සිටින ජනාධිපති හා අගමැති ඒ තනතුරුවල රැඳී සිටිති. එහෙත් ඇමතිවරුන් සම්බන්ධයෙන් එවැන්නක් නො කියැවෙයි. ජනාධිපති රැඳී සිටීම තේරුම් ගත හැකි ය. නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට අද නො හැකි ය. එහෙත් අගමැති දිගින් දිගට ම රැඳී සිටිය යුත්තේ ඇයි?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තමන්ගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්කළ හැකි ය.

රනිල්ට පැහැදිලිව ම මෛත්‍රිපාල ගැන විශ්වාසයක් නැත. මෛත්‍රිපාල ජනවාරි 9 වැනි දා තමන් අගමැති ලෙස පත්කළ ආකාරයට ම සංශෝධනයෙන් පසු වෙනත් අයකු අගමැති ලෙස පත්කිරීමට ඉඩ ඇති බව රනිල් දනියි. එබැවින් එවැන්නකට ඉඩ නොතබා  සංක්‍රමණීය විධිවිධාන මගින් තමන් මෛත්‍රිපාලගේ ආධාරයෙන් පික්පොකට් ගැසූ අගමැති ධුරය නීත්‍යානුකූල කරගැනීමට රනිල් කටයුතු කර ඇත.

ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව ඇත්තේ ඉතා පෞද්ගලික හා ජනවාර්ගික හේතු මත ඉදිරිපත් කරන 19 වැනි සංශෝධනයට පක්‍ෂ නො වීම ය. අඩුම වශයෙන් ඔවුන්ට සංශෝධන දෙකක් ඉදිරිපත් කළ හැකි ය. එකක් 54 වැනි වගන්තියේ අගමැති ධුරය යන්න ඉවත්කිරීම ය. දෙවැන්න පාරිලිමේන්තුවට අගමැති තේරීමේ බලය පැවරෙන  ලෙස 42 (4) වගන්තිය සංශෝධනය කිරීම ය. ඒ සංශෝධන සම්මත වුවහොත් ජනාධිපතිට නොව පාර්ලිමේන්තුවට අඩුම තරමෙන් අගමැති තේරීමේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී බලයවත් හිමිවනු ඇත.

මෙරට  ඒකීය භාවය අද රඳා ඇත්තේ විධායක ජනාධිපති ධුරය මත ය. මුළු රට ම එකතු වී එක් ඡන්ද කොට්ඨාශයක් බවට පත්වී ඡන්දය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයෙහි දී පමණ ය.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක ජනාධිපති ධුරයට හිමි බලතල යොදා ගැනීමෙනි. දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. ඒ පරාජය කරන තෙක් ජනාධිපති ධුරයේ විධායක බලතල තිබිය යුතු ය.

අනෙක් අතට පළාත්සභා ක්‍රියාත්මක වන්නේ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් දෙසට ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් පොලිස් බලතල ආදිය පළාත්සභාවලට අහිමි නොකර විධායක  ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සන්ධීය රාජ්‍යයකට අත වැනීමකි. දෙමළ ජාතිවාදයට හා බෙදුම්වාදයට උඩගෙඩි දීමකි.

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට වඩාත් අවශ්‍ය දෙමළ ජාතිවාදීන්ට, බටහිරයන්ට හා ඉන්දියාවට (13 වැනි සංශෝධනයෙහි නිර්මාතෘවරුන්ට), ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට හා සරසවි ඇදුරන් කිහිප දෙනකුට ය. මාදුළුවාවේ සෝභිත හිමි ඉත්තකු පමණ ය.  

දහනවවැනි සංශෝධනය අනුව පත්කිරීමට නියමිත ව්‍යවස්ථා සභාවේ සංයුතිය සිංහලයන්ට අහිතකර ය. එහි අඩුම තරමෙන් 70%ක් සිංහල විය යුතු බව සඳහන් විය යුතු ය. මේ ව්‍යවස්ථා සභාව මගින් දෙමළ ජාතිවාදය බෞතීස්ම කරනු ලැබූ 1833ට අපි ආපසු යමු. එහි සිංහලයන් වෙනුවෙන් ද දෙමළ ජනයා වෙනුවෙන් ද එක් මන්ත්‍රීවරයකු බැගින් පත් කෙරුණේ සිංහලයන්ගේ ඉතිහාසය, ජනගහන ව්‍යාප්තිය ආදිය නොසලකමිනි.

ඊනියා ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරු මේ ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කෙරෙති. ස්වාධීන කොමිෂන් සභා යනුවෙන් සභා ලංකාවේ නම් නැත. මේ ව්‍යවස්ථා සභාවෙන් පත්කෙරෙන සභාපතිවරු කෙසේ ක්‍රියාකරනු ඇත් දැයි අපට සිතාගත හැකි ය. මේ සභා, දූෂණ සුජාත කිරීම සඳහා පමණ  ය.

අද කියාත්මක වන මැතිවරණ ක්‍රමය දූෂණ හා මැරබලය තහවුරු කරයි. පළමුව ඒ වෙනස් කළ යුතු ය. සමානුපාතික හා කේවල මිශ්‍ර ක්‍රමයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

ඒ සංශෝධනය පසුව ඉදිරිපත් කිරීමේ ඊනියා පොරොන්දුවක් මත 19ට පක්‍ෂව ඡන්දය දිය හැකි නො වේ. දෙන්නම් කාසිවලට කටයුතු කිරීමට ජනතාවගේ නියෝජිතයන්ට ජනතාව බලය දී නැත. 

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන  හා ශ්‍රී ල නි ප කිහිප දෙනකු ගෙන යන සටනට ආධාර පිණිස මහින්ද රාජපක්‍ෂ වහාම සංශෝධනයට විරුද්ධත්වය පාමින් ප්‍රකාශයක් කළ යුතු ය.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 28

          

යමපාලනයට තිත තබමු



යමපාලනයට තිත තබමු

අද රට ඇත්තේ අස්ථාවර තත්ත්වයක ය. මේ ලිපිය ලියන්නෙ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පෙර ය. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුව අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. ඒ නීති විරෝාධී අණ්ඩුවට එදිනට දින සියය පිරෙන නිසා නො වේ. ආණ්ඩුවට දින සියය පිරුණේ අප්‍රේල් 19 වැනි දා ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 23 වැනි දා වන තුරු කල් දැමුණේ නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමි කර දීමට ය. එහි වරදක් නැත.  එහෙත් ඇතැම් පඬි ජනමාධ්‍ය නිවේදකයන් අපට කියා දෙන්නේ අප්‍රේල් 23 වැනි දාට ආණ්ඩුවට දින සියය පිරෙන බව ය.


අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය සාකච්ඡාවක දී තර්ජනයක් කර ඇත. ඔහු කියනු ඇත්තේ ඒ තර්ජනයක් නොවන බව ය. ඔහු කියා ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 28වැනි දාට සම්මත කරගැනීමට නොහැකි වුවහොත් එදින ම ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. ඔහුගේ තර්ජනය ඇතිව හෝ නැතිව හෝ ශ්‍රී ල නි පක්‍ෂය පාර්ලිමේන්තුවේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කොන්දේසි විරහිත ව පැරද විය යුතු ය.

වෙනත් වචනවලින් කිවහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් නොලැබෙන බවට ශ්‍රී ල නි පක්‍ෂය වග බලාගත යුතු ය. මේ බව මෛත්‍රිපාල සිරිසේන මහතා නොදන්නවා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ ඊනියා 20 වැනි සංශෝධනය 19ත් සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලකිරීම නොව 19ට පෙර ඉදිරිපත් කිරීමට බලකිරීම ය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපති විධායක බලතල සමහරක් අගමැතිට පැවරීමට පෙර සිදු කළ යුතු ය.

නීති විරෝධීව අගමැති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පමණක් ජනාධිපති විධායක බලතල කප්පාදු කිරීමට කටයුතු කළ යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිටුපස වැඩි වශයෙන් ඇත්තේ සිංහල බෞද්ධ විරෝධීන් බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහ මහතා නීති විරෝධී අගමැති ලෙස සිටිය දී 19 සම්මත කරගැනීම දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමකි. ඒ පිටුපස බටහිරයෝ ද ඉන්දීයයෝ ද වෙති. විධායක ජනාධිපති ක්‍රමය ඒකීයභාවය රැකගැනීමට ය. 13 වැනි සංශෝධනය අවසානයේ දී ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමට ය. ජනාධිපති බලතල කප්පාදු කිරීමට පෙර 13 කප්පාදු කර ඉඩම් බලතල හා පොලිස් බලතල පළාත් සභාවලට අහිමි කළ යුතු ය.

දින සියයේ වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුව තිබිණි. ඒ අතර අප්‍රේල් 22 වැනි දා  ඇමරිකානු තානාපති, ජර්මන් තානාපති හා එංගලන්තයේ වැඩ බලන මහ කොමසාරිස්වරිය මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා දින කිහිපයකට පෙර සංධානයේ පක්‍ෂ නායකයන්ට කියා තිබුණේ බටහිරයන් තමන්ට බලපෑම් කරන බවත් බටහිරයන් විශ්වාස කරන්නේ රනිල වික්‍රමසිංහ මහතා බවත් ය. 22 වැනි දා  හමුවීම, ප්‍රධාන බටහිර රටවල් තුනෙන් කියා කීම වරදක් නො වේ. ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතා එකම දිනයක, 23 වැනිදාට දිනයකට කලින් හමුවූයේ බලපෑම් නොදැමීමට යැයි අපි කෙසේ කියමු ද?

ඒ අතර බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරී ඇත. මෙය පළමු පියවර පමණක් බව ශ්‍රි ල නි පක්‍ෂයට හා සංධානයට මතක් කර දිය යුතුව ඇත. බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ දී සම්ප්‍රදාය අනුගමනය කෙරී ඇත් දැයි දැනගනු කැමැත්තෙමු. එහෙත් ලබ්බට තැබූ අත පුහුලට ද තබන දිනය වැඩි ඇතක විය නො හැකි ය. මේ වැරදිකරුවන්ට දඬුවම් කිරීමක් නොව පළිගැනීමක් බව පැහැදිලි ය. බැසිල් රාජපක්‍ෂ මහතා එකල ඇතැම් ඇමතිවරුන්ට කෙණෙහිළිකම් කළ බවට චෝදනා වෙයි. එසේ වුවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයෙන් නො වේ. අප්‍රේල් 23 වැනි දා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව කුප්‍රසිද්ධ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම ඉදිරියට කැඳවා තිබිණි. එය ප්‍රශ්නයක් නො වේ. එහෙත් එයට විරුද්ධව පවත්වන ලද උද්ඝෝෂණය තහනම් කිරීමට පොලීසිය උසාවියෙන් නියෝගයක් ලබාගත්තේ අහවල් දෙයකට ද? අදාළ ප්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් නො වේ. උතුරු හා නැගෙනහිර පළාත්වල අධි ආරක්‍ෂිත කලාප ගලවද්දී කොළඹ අධිආරක්‍ෂිත කලාප කොහොමටත් අවශ්‍ය නැත. ආණ්ඩුවට වැදගත් වන්නේ රටේ ආරක්‍ෂාව නොව රනිල් වික්‍රමසිංහ මහතාගේ මිත්‍රයකුගේ භාර්යාවගේ ආරක්‍ෂාව බව පැහැදිලි ය. පොලීසිය කියන්නේ උද්ඝෝෂණය නිසා සාමය කඩවීමට තිබූ බව ද? ඒ තර්කය අනුව රටේ සියළු උද්ඝෝෂණ නැවැත්වීමට පොලීසිය උසාවි යනු ඇත.

අද යමපාලන ආණ්ඩුවට ඇත්තේ පළිගැනීම හා කෙසේ නමුත් බලයේ රැඳී සිටීම යන අරමුණු පමණ ය. රාජපක්‍ෂලාගෙන් පළිගෙන ඔවුන් අවසානයේ දී ඊනියා යුද්ධාපරාධ චෝදනාවලට වරදකරුවන් කර බටහිරයන්ට භාර දී දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත. වැඩිකල් නොගොස් සිංහල ජාතිවාදීන්ට මර්දනයේ හස්තය දික්කෙරෙනු ඇත. බටහිරයන්ට අවශ්‍ය මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණ සමයෙහි දී ඔවුන්ට තර්ජනයක් විය හැකි අය හිර කඳවුරුවල රැඳවීම ය. ඔවුන්ගේ ජයග්‍රහණයකට ජාතිකත්වය එරෙහිව සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ ජා පක්‍ෂය හා මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ නිවට ශ්‍රී ල නි ප ඇමතිවරු හා ඊනියා විරුද්ධ පක්‍ෂ නායකයා දනිති. එ ජා ප හා විජාතික බලවේග නැවතත් ජාතිකත්වය පසෙකට දමා ව්‍යාජ දුෂණ චෝදනා මත මැතිවරණ ව්‍යාපාරය ගෙන යෑමට අදහස් කරන බව පෙනෙයි. මහින්ද රාජපක්‍ෂ තමා වැරදිකරුවන්ට දඬුවම් නොකළ බව කියා ඇත. එයට අජිත් පෙරේරා මහතා ද විරුද්ධත්වය පා ඇත. ඔහු විරුද්ධ වූයේ බටලන්ද වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම පිලිබඳ ව ද? එසේත් නැත්නම් වෝටර්ස් එජ වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම පිළිබඳ ව ද? අජිත් පෙරේරා මහතා අපට ඒ පිළිබඳ ව කියා දෙන්නේ ද? ඊනියා යහපාලනය යමපාලනයක් වූයේ ජනවාරි 9 වැන දා ම ය. 

එ කුමක් වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතාට  රනිල් වික්‍රමසිංහ මහතා සමග තවදුරත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි බව පැහැදිලි ය. අජිත් පෙරේරා මහතා 28 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කරන්නේ මේ සුළුතර ආණ්ඩුව ශ්‍රී ල නි පක්‍ෂයේ සහය නොමැතිව කරගෙන යා නොහැකි බැවිනි. ඔහුගේ හා එ ජා පක්‍ෂයේ වෙනත් අයගේ ද උත්සාහය තර්ජනයෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ සහය ලබාගැනීම ය. එහෙත් ඔවුන්ගේ පොරොන්දුව අනුව අප්‍රේල් 23 වැනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. එබැවින් තර්ජනයක් ලෙස19ක් ගැන අමුතුවෙන් කොන්දේසි නොදමා දැනටමත් විසරුවා හැර නැත්නම් අද හෙට ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය.

ඇතැම් විට මේ ලිපිය පළවන විට මෛත්‍රිපාලසිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන්නට හැකි ය. එසේත් නැත්නම් ජනතාව අමතා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක්කේ ඇයි දැයි කියා තිබෙනු ඇත. ඒ කුමක් වුවත් ඔහු කියන්නට ඇත්තේ බටහිර තානාපතිවරුන් ඔහුට කිරීමට කී දෙය ය. දැනටමත් විසුරුවා හැර නැත්නම් 28 වැනි දා හෝ 29 වැනි දා හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇත. අජිත් පෙරේරා මහතා ජනාධිපති නොවූවත් 28 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියන්නේ  බටහිරයන් ඒ බලපෑම මෛත්‍රිපාල සිරිසේන මහතාට  කරන බව එ ජා ප දෙවැනි පෙළේ නායකයන් ද දන්නා බැවිනි. 19 සම්මත වීමට ඉඩක් නැති බව බටහිරයන්ට වැටහි ඇත්නම් මේ වන විටත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත.

එහෙත් ඒ කුමකටවත් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය බිය විය යුතු නො වේ. රනිල් වික්‍රමසිංහ මහතා ් සහ මෛත්‍රිපාල සිරිසේන මහතා තව තවත් සංධාන නායකයන් හා සිංහල ජාතිකවාදීන් අත් අඩංගුවට ගෙන මැර බලය යොදා මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇත. එහෙත් සංධානයට සිංහලයන්ගේ ඡන්දයෙන් 65%ක් ලැබෙනු ඇත. ජනාධිපතිවරණයේ දීත් එය 58%ක් විය. ජනාධපතිවරණයේ දීත් ආසන සංඛ්‍යාව ලෙස ගතහොත් සංධානයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබිණි.

අජිත් පෙරේරාගේ මහතාගේ තර්ජනය පුස්සකි. ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය කළ යුත්තේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ විරුද්ධත්වය පළකිරීමත් මැතිවරණයකට සූදානම් වීමත් ය. එහි දී මෛත්‍රිපාල සිරිසේන මහතා හා ඇතැම් ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් එ ජා ප සමග එකතුවන්නේ නම් එය වඩාත් හොඳ ය. කෙසේ වෙතත් එකී ජ්‍යෙෂ්ඨයන්ට සංධානයෙන් නාම යෝජනා දිය යුතු නො වේ. අද රට ජාතිකත්වය හා විජාතිකත්වය අතර බෙදී ඇත. සිංහලයන්ට තීරණය කිරීමට ඇත්තේ නිවටයන් ලෙස බටහිරට හා ඉන්දියාවට යටත් වී දෙමළ ජාතිවාදයට කප්පන් දෙමින් ජීවත්වන්නේ ද නැත්නම් නිදහස් ප්‍රෞඪ ජාතියක් ලෙස ජීවත්වන්නේ ද යන්න ය. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 26