Monday, June 15, 2015
ලක්‍ෂ 150 ක කොමිස් මුදල ඉල්ලා ගොවි නියෝජිතයෝ වහලට නගිති
කරුණාරත්න ගමගේ
පසුගිය මාස් කන්නයේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ගේ වී මිලදී ගෙන වී තොග වී අලෙවි මණ්‌ඩලයට භාරදීම වෙනුවෙන් ගොවි සංවිධානවලට අයවිය යුතු රුපියල් ලක්‍ෂ 150 කට අධික කොමිස් මුදල වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් ගොවි සංවිධාන නියෝජිතයන් දහතුන්දෙනෙක් ඊයේ (15 දා) දහවල් පොලොන්නරුව, කදුරුවෙල පිහිටි වී අලෙවි මණ්‌ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයේ වහලය මතට නැඟී විරෝධතාවක නිරත වූහ.
ගොවි සංවිධාන මගින් මිලදී ගෙන වී අලෙවි මණ්‌ඩලයට භාර දෙනු ලබන එක් වී කිලෝවක් සඳහා මණ්‌ඩලය මගින් රුපියල් 1.50 ක කොමිස් මුදලක් ගෙවීමට ගිවිසුම්ගතව එකඟ වී ඇතැයි ද පසුගිය මාස් කන්නයේ එසේ මිලදී ගෙන වී අලෙවි මණ්‌ඩලයට භාර දෙන ලද වී තොග සඳහා මේ වන තෙක් එකී කොමිස් මුදල් ගෙවා නැතැයි ද විරෝධතාකරුවෝ කියා සිටියහ.
ඒ සඳහා මේ වන විට මාස දෙක හමාරක් ඉක්‌ම ගොස් තිබෙන බවද ඔවුහු කියා සිටිති.
වී අලෙවි මණ්‌ඩලයට වී සැපයුම වෙනුවෙන් අදාළ කොමිස් මුදල් ලබා ගැනීමට නියමිත පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගොවි සංවිධාන ගණන 250 කට වැඩි බවද ඔවුහු පැවසූහ.
එම ගොවි සංවිධාන සියල්ලෙහිම ගොවි නියෝජිතයෝ තම ගොවි සංවිධානවලට ලැබිය යුතු කොමිස් මුදල වහාම ලබාදෙන ලෙස ඉල්ලා වී අලෙවි මණ්‌ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණ සිටියහ.
ගොවි නියෝජිතයන්ගේ විරෝධතාව පැවැත්වෙන ස්‌ථානයට පැමිණි පොලොන්නරුව දිස්‌ත්‍රික් ලේකම් එස්. සේනානායක මහතා වී අලෙවි මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරි (මුදල්) සමග දුරකථනයෙන් සාකච්ඡා කොට මේ මස 19 වැනිදාට එම කොමිස් මුදල් ගොවි සංවිධානවලට ගෙවීමට එකඟ කර ගත්තේය.
එම පණිවුඩය ගොවි සංවිධාන නියෝජිතයන් වෙත දැනුම් දීමෙන් අනතුරුව වහලය මත නැඟී සිටි පිරිස විරෝධතාව අත්හරිනු ලැබූහ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment