Sunday, June 14, 2015

ආසන 225ට වැඩි නොවිය යුතුයි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න


අපේ ස්‌ථාවරයේ වෙනසක්‌ නෑ
ආසන 225ට වැඩි නොවිය යුතුයි
පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලය විශේෂ නිවේදනයකින් කියයි


20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව සිදුකෙරෙන නව මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 237 ක්‌ විය යුතු බවට පසුගිය 12 වැනිදා රැස්‌ වූ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී අනුමැතිය ලැබුණු බව සියලූම මාධ්‍ය විසින් වාර්තා කරණු ලැබුවේය.

එහෙත් එදිනම රැස්‌ වූ එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය තීරණයකර ඇත්තේ නව මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 225 ට නොවැඩි විය යුතු බවය.

මෙරට ජනතාව පුල පුලා බලා සිටිනුයේ නව ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට යෑයි ද ඒ සඳහා ඉඩකඩ සලසා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිය යුතු බවත් එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ඒකමතිකව තීරණය කෙරිණි.

එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ගත් තීරණ පිළිබඳ විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් එජාපය මේ බව කියා සිටියි.

එම විශේෂ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

පාර්ලිමේන්තු ආසන 225 ට වඩා වැඩි නොවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

දශකයක පමණ කාලයක්‌ පුරා මෙරට පැවැති ඒකාධිපති පවුල් පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැංවුණු යහපාලනයක්‌ ස්‌ථාපිත කිරීම මෙරට අති බහුතරයක්‌ ජනතාවගේ අපේක්‍ෂාව විය. නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ තනි පක්‍ෂයක්‌ වශයෙන් ආණ්‌ඩු නිර්මාණය කළ එකම පක්‍ෂය වශයෙන් සහ දිගු කාලයක්‌ මෙරට පාලනය කරමින් ජනතාවාදීව කටයුතු කළ පක්‍ෂයක්‌ වශයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය එම වගකීම කරට ගෙන එවකට පැවැති ඒකාධිපති පවුල් පාලනය වෙනස්‌ කිරීම සඳහා 2014 අවසානයේදී උපක්‍රමශීලී ලෙස ජනාධිපති මැතිවරණයක්‌ ලබාගැනීමට සමත් විය. ඒ සඳහා පොදු අපේක්‍ෂකයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරවමින් ජාති, ආගම්, භාෂා බේදයකින් තොරව සුළු ජාතීන් ඇතුළු අති මහත් බහුතරයකගේ සහය මේ සත් ක්‍රියාදාමය සඳහා ඒකරාශි කර ගැනීමටද, එක්‌සත් ජාතික පක්‍ෂය මූලික වී ක්‍රියා කළේය. මෙම අවදානම් අභියෝගය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද කැපකිරීම ද මෙහිලා කෘතවේදීව සිහිපත් කළ යුතුය.

මැතිවරණ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කිහිප දෙනකු සහ කුඩා දේශපාලන පක්‍ෂ මෙන්ම සිවිල් සංවිධාන රාශියක්‌ එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නට යෙදුණි. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවීම පිණිස පැවැත්වුණු සෑම රැස්‌වීමක්‌ම පාහේ සංවිධානය කරනු ලැබුවේද, සෑම පෝස්‌ටරයක්‌ම පාහේ මුද්‍රණය කර අලවනු ලැබුවේද, සෑම අත් පත්‍රිකාවක්‌ම ගෙන් ගෙට ගොස්‌ භාරදෙනු ලැබුවේද එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් විසිනි. උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ කොටසක හැර සියලුම ඡන්ද පොළ නියෝජිතයන් වශයෙන් කටයුතු කරනු ලැබුවේද, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථානයන්හි නියෝජිතයන් ලෙස කටයුතු කරනු ලැබුවේද එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ය. දිවා රෑ නොබලා නිදිවරමින් දුක්‌ මහන්සි වෙමින් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු පීඩාවන්ට හා ප්‍රචණ්‌ඩත්වයට මුහුණ දෙමින් ජීවිත හා දේපළ හානි නොතකා, එම මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබුවේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් බව කිසිවකුට හෝ අමතක වී ඇතැයි අපි විශ්වාස නොකරමු.

රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් උපරිම ලෙස යොදා ගනිමින්, දැඩි මර්දනකාරී වාතාවරණයක්‌ තුළ අවනීතිය රජ කරවමින්, මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රීලනිප ය ගෙන ගිය බිහිසුණු, කෲර මැතිවරණ ක්‍රියාදාමයට මුහුණ දෙමින් එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් විසින් ගෙනගිය මැතිවරණ ව්‍යාපාරය ඔස්‌සේ ලබාගත් ජයග්‍රහණය හරහා මෙරට ජනතාවට දිනා දුන් අයිතිවාසිකම් අති විශාලය.

අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමටත්, දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි අමාත්‍ය මණ්‌ඩලයක්‌ පත්කර ගැනීමටත් පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට වරමක්‌ ලැබිණි. ඒ අනුව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගන්නා ලද්දේ ජනතාව විශේෂ තත්ත්වයක්‌ යටතේ ලබා දෙන ලද ජන වරමක්‌ ඔස්‌සේ මිස අන් අයුරකින් නොවේ. මෙයින් අනතුරුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඔවුන්ගේ නායකයා ලෙස ජනාධිපතිවරයා පත්කර ගන්නා ලද අතර දින සියයේ වැඩසටහන ද අනුමත කරන ලදී.

දින 100 වැඩසටහනට අනුව ජනතාවට ආර්ථික සහන ලබාදීමත්, ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණත්, මේ වන විට ඉටුකර තිබේ. දින සියයක්‌ තුළ අප ඉටුකළ කාර්ය මෙරට ඉතිහාසයේ පැවැති ආණ්‌ඩු විසින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කරන්නට යෙදුණු කාර්යයන්ට වඩා අති විශාල බව සියලු දෙනා පිළිගත් කරුණකි.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය කැපවෙමින් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, අනෙකුත් දේශපාලන පක්‍ෂ විසින් ඉදිරිපත් කරන ලද මතයන්ටද, ගරු කරමින් ඉතා නම්‍යශීලී පිළිවෙතක්‌ අනුගමනය කළේය. එය අමාත්‍ය මණ්‌ඩලය තුළ සම්මත කරවා ගැනීම සඳහා ද පූර්ණ සහයෝගය ලබා දුන්නේය.

එහෙත් විපක්‍ෂ නායක ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ මේ වන විට එය කඩාකප්පල් කිරීම සඳහා ඉතා සූක්‍ෂම සහ කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින බව ප්‍රත්‍යක්‍ෂ ලෙස සනාථ වී ඇත. විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ද, ආණ්‌ඩුවේ රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද ඇතුළු කණ්‌ඩායමක්‌ මේ වන විට ගරු අග්‍රාමාත්‍යතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කර න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර ඇත. එමෙන්ම මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිවද එවන් වූ විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇත.

මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ඉතා විවෘත ලෙස මාධ්‍යයට අනාවරණය කළේ මුලින් විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන අගමැතිවරයා ඉවත් කර ඔවුන්ට අවශ්‍ය මන්ත්‍රීSවරයකු අගමැතිවරයා වශයෙන් පත්කර ඔවුන්ගේ ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමෙන් පසු 20 වැනි සංශෝධනය සම්මත කරගන්නා බවය. ඒ අනුව විපක්‍ෂය සියලු එකඟතා උල්ලංඝනය කරමින් මෙම ආණ්‌ඩුව ඉවත්කොට නැවතත් පාලන බලය ලබා ගැනීමේ අශිෂ්ට සම්පන්න උත්සාහයක්‌ දරමින් සිටින බව පැහැදිළිය.

එපමණක්‌ නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාදායක සභාවට සිවිල් සාමාජිකයන් පත්වීමට නියමිත සාමාජිකයන් තිදෙනා පත්කිරීම සම්බන්ධව ගෙනයනු ලබන කඩාකප්පල්කාරී ක්‍රියා පිළිවෙත අනුව පිළිබිඹු වන්නේ සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ නැවතත් මෙරට අරාජික තත්ත්වයට පත් කරවමින් ගරු ජනාධිපතිතුමාත්, ආණ්‌ඩුවත් අපහසුතාවට ඇද දැමීමේ පහත් පිළිවෙතක්‌ අනුගමනය කරමින්, දේශයත්, ජනතාවත් මුළා කිරීමේ දෙබිඩි ප්‍රතිපත්තියක්‌ මත ක්‍රියාකරන බවය. එම කණ්‌ඩායම 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට සහ ගරු අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගය මුලින් විවාදයට ගැනීමට තීරණය කිරීමෙන් පැහැදිළි වන්නේ ඔවුන් කිසිසේත්ම, ව්‍යවස්‌ථාදායකය තුළ ජනහිතකාමී ක්‍රියා පිළිවෙතක්‌ දියත් නොකරන බවය.

පසුගිය ජනාධිපති මැතිවරණයේදී ජනාධිපතිතුමා ජනතාව වෙත ඉදිරිපත් කළ කරුණු සියල්ල ඉටුකර තිබියදී, රට අස්‌ථාවර කිරීම සහ ජනවාරි 08 විප්ලවය ආපසු හැරවීම සඳහා විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ගෙන යන වැඩපිළිවෙළට කිසිසේත් ඉඩ නොදිය යුතු බවත්, මෙරට ජනතාව පුල පුලා බලා සිටින නව ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිය යුතු බවට, ජුනි 12 වන දින රැස්‌වූ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය ඒකමතිකව තීන්දු කරන ලදී.

පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා මෙන්ම බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක්‌ පාර්ලිමේන්තුව විසුරුවා හැරියයුතු බවට ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයන් සැලකිල්ලට ගැනීම යෝග්‍ය බව ද අවධාරණය කෙරිණි.

මීළඟ මහ මැතිවරණයට පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවට ද එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

නව මැතිවරණ ක්‍රමය යටතේ ආසනයක්‌ සඳහා මන්ත්‍රීවරයෙක්‌ කෙළින්ම තෝරා ගැනෙන අතර, දිස්‌ත්‍රික්‌ක හා ජාතික මට්‌ටමින් ඉදිරිපත් කෙරෙන ලැයිස්‌තුවලට අනුව ද මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට නියමිතය. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ එක්‌ පක්‍ෂයක්‌ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයට සමානුපාතිකව මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්‌ හිමි වීමය.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225 ට වඩා වැඩි නොවිය යුතුය යන්න වසර 2002 සිටම එක්‌සත් ජාතික පක්‍ෂය දැරූ ස්‌ථාවරයයි. මේ ස්‌ථාවරය කිසි ලෙසකින්වත් වෙනස්‌ වී නැති බවද අවාධාරණය කරන්නෙමු.
 

No comments:

Post a Comment