Sunday, June 14, 2015

එජාපය සමග කිසිම ගිවිසුමක්‌ නෑ

එජාපය සමග කිසිම ගිවිසුමක්‌ නෑ

ජනපති අවධාරණය කරයි


තමා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ කිසිදු පුද්ගලික ගිවිසුමක්‌ අත්සන් නොකළ බවත් පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව සංවිධාන 49 ක්‌ සමඟ එකඟතාවකට පැමිණියේ රටට ජනතාවට අවශ්‍ය පරිවර්තනය ඇති කිරීමට බවත් පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ඕනෑම පළාතකින් අගමැතිවරයකු බිහිවිය හැකි බව ද කියා සිටී.

එක්‌වෙමු - ජයගමු - වැඩ කරමු තේමාව යටතේ දඹදෙණියේදී ඊයේ (14 දා) ජනාධිපතිවරයා මේ බව පැවසී යයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම නිවේදනය මෙසේය.

රටට අවශ්‍ය දේශපාලන සහ සමාජ පරිවර්තනය ලබාදීමට බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් සිදු කළ පරිත්‍යාගය නැවත රටට අවශ්‍ය වී ඇති බවත් එම පරිත්‍යාගය සඳහා දිවි හිමියෙන් කැපවීමට තමා සූදානම් බවත් ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ "එක්‌වෙමු, ජයගමු, වැඩ කරමු" තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා දිවයින පුරා සංවිධානය කෙරෙන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට ඊයේ (14 දා) දඹදෙණියේදී එක්‌වෙමිනි.

සමාජ පරිවර්තන සිදුකිරීමට ගිය ලෝකයේ සියලු දේශපාලනඥයන්ට අභියෝගවලට මුහුණදීමට පමණක්‌ නොව ජීවිතවලින් ද වන්දි ගෙවීමට සිදුවිය. කිසිදු අභියෝගයක්‌ හමුවේ නොසැලී සියලු සමාජ සහ දේශපාලන බලවේග උපරිම ලෙස ඒකරාශි කරගනිමින් රටට අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය ලබාදීමට තමා කැපවන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

තමා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ කිසිදු පෞද්ගලික ගිවිසුමක්‌ අත්සන් නොකළ බව පැවසූ ජනාධිපතිවරයා තමන් ආණ්‌ඩුවෙන් ඉවත්ව සංවිධාන 49 ක්‌ සමඟ එකඟතාවකට පැමිණියේ රටට ජනතාවට අවශ්‍ය පරිවර්තනය ලබාදීමට පමණක්‌ බව ද කියා සිටියේය.

රටේ ඕනෑම පළාතකින් අගමැතිවරයකු බිහිවිය හැකි බවත් අවශ්‍ය වන්නේ නව සැලසුම් සහ සිතුම් පැතුම් සමඟ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවීම පමණක්‌ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කුලල් කා ගන්නා දේශපාලනය අවසන් කර නව දේශපාලන සංස්‌කෘතියක්‌ තුළ සියලු බුද්ධිමතුන් සහ උගතුන් ඒකරාශි කරගනිමින් රටේත්, ජනතාවගේත් යහපත උදෙසා කැපවීම සියලු දෙනාගේ වගකීම බව ද ප්‍රකාශ කළේය.

අමාත්‍ය එස්‌. බී. නාවින්න, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්‌ඩාර යන මහත්වරුන් ද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර ජයරත්න හේරත්, නියෝජ්‍ය අමාත්‍ය එරික්‌ වීරවර්ධන යන මහත්වරුන් සහ දඹදෙණිය ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයන් රැසක්‌ මීට එක්‌ව සිටියහ.

No comments:

Post a Comment