Saturday, June 13, 2015

අපට වෙච්ච දේ - 2




අනාවැකිය
අපට වෙච්ච දේ - 2

ගම්පෙරළිය නිකුත් වූයේ ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කර අවුරුදු දෙකකින් ය. ව්‍යාජ සමාජ විකාශයක්‌ තේමාව කරමින් ලියූ ඒ නවකතාව බටහිර ආකෘතියේ උගතුන්ගේ සම්භාවනාවට පාත්‍ර විය. වික්‍රමසිංහ මහතා මිථ්‍යා යනුවෙන් ගෙන පහර දුන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියට ය. දෙවියන් භූතයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන වස්‌තූන් නැති සිංහල බුද්ධාගමක්‌ නැත. අපට වෙච්ච දේට ඒ පහර දීම ද යම් ආකාරයකට බලපා ඇත.

අපි මේ කතාවෙන් දැනට තරමක්‌ ඈත් වී අපට වත්මනෙහි බලපාන අදාළ ප්‍රශ්නයකට යොමු වෙමු. ඒ ආසනික්‌, ග්ලයිෙµdසේට්‌, කෘෂිරසායනික වකුගඩු රෝගය සම්බන්ධ ප්‍රශ්නය ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඊනියා විද්‍යාත්මක චින්තනය සිංහල පාඨකයන් අතරට ගෙන ගියේ යෑයි කියෑවෙයි. එහෙත් මේ චින්තනය සිංහල බෞද්ධයන් අතර තිබිණි යෑයි (උදාහරණ, කාළාම සූත්‍රය) ද කියෑවෙයි. එසේ නම් වික්‍රමසිංහ මහතා ගෙන ගියේ කුමක්‌ ද? ඔහු කොහොමටත් තිබූ දෙයක්‌ නැවත හඳුන්වා දුන්නේ ද? එහෙත් මේ කියන සිංහල බෞද්ධයන් අතරෙන් හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි වී නැත්තේ ඇයි?

මේ සිංහල බටහිර විද්‍යාඥයන් ලෝකයේ ඉතා වැඩි පහසුකම් ඇති ආයතනවල විශ්වවිද්‍යාලවල සේවය කළත් ඔවුන් අතින් හරිහමන් ප්‍රවාදයක්‌ හෝ සංකල්පයක්‌ හෝ බටහිර විද්‍යාවට එකතු කෙරී නැත. ඔවුහු නිකම් ම නිකම් විද්‍යාඥයෝ වෙති. ඒ බොහෝ දෙනා සිංහල බෞද්ධයෝ වෙති. හීනමානයෙන් පෙළෙන මොවුහු බුදුදහම (බටහිර) විද්‍යාත්මක යෑයි කියති. එමගින් තම බැරිකම වසාගැනීමට උත්සාහ කරති. බෞද්ධයකු නොවන කාලෝ ෆොන්සේකා මහතා බෞද්ධයනට බොරු වළවල් කපමින් තමන්ට නොතේරෙන කාළාම සූත්‍රයක්‌ හා යථාර්ථයක්‌ ගැන කතාකරමින් බුදුදහම විද්‍යාත්මක කිරීමට උත්සාහ කරයි. යථාර්ථවාදී පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවක්‌ ගැන කතාකරන ඊනියා සිංහල බෞද්ධ විද්‍යාඥයෝ දෙවියන් සහිත සිංහල බුද්ධාගමට විරුද්ධ වෙති.

පැරණි සිංහල බෞද්ධයන් දෙවියන්ගෙන් ද දැනුම ලබාගත් බව සිතිය හැකි ය. අපිදු ඒ අනුව කටයුතු කෙළෙමු. අවාසනාවන්ත හේතු නිසා අද කැලණිය කණ්‌ඩායම ලෙස හැඳින්වුණු කණ්‌ඩායම ක්‍රියාත්මක නො වෙයි. එහෙත් අප අපේ දැනුමක්‌ ගොඩ නැගීමේ කාර්යය අත්හැර නැත. අපි බටහිරව දැනුමට අවශ්‍ය විට විරුද්ධ වෙමු. බොහෝ දෙනා නොදැන සිටියාට ප්‍රභාකරන් පැරදවිය නොහැකිය යන බටහිර දැනුම අපි සෛද්ධාන්තික ව පරාජය කෙළෙමු. කාලෝ ෆොන්සේකා මහතා එකල පින්ලන්තයේ දී සිංහල විරෝධී පොත් ලීවේ පිනට නො වේ.

කාලෝ ෆොන්සේකා මහතා මැයි 28 වැනි දා වටමඬලට මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන ලිපියක්‌ ලියමින් මෙසේ කියයි. "ෙ€දජනක දේ වන්නේ 1914 වර්ෂයේ දී මාර්ටින් වික්‍රමසිංහ සූරීන් වයස 24 දී අවබෝධ කරගත් දේ අවබෝධ කරගත නොහැකි වත්මන් ජාතික චින්තන ප්‍රාඥයන් විසින් 21 වැනි සියවසේ දී රජරට වකුගඩු රෝග විනිශ්චය, ආවේශ වූ කාන්තාවකගේ සහ නාථ දෙවියන්ගේ අනුභාවයෙන් කිසි දු බුද්ධිමය ල-ජාවකින් තොර ව සිදු කිරීම යි." මා විසින් ලියන ලද බටහිර විද්‍යාව ආසනික්‌ හා දෙවියෝ පොත එළිදැක්‌වීමේ දී දේශනයක්‌ කිරීම සඳහා කාලෝ ෆොන්සේකා මහතාට ද ආරාධනය කෙළෙමු. ඔහු එදින නම් අපට විරුද්ධව කිසිවක්‌ නො කීවේ ය. ඔහුගේ බුද්ධිමය අවංකභාවය එබඳු ය.

වයස 24 දී මම ද අනුකාරක ව බටහිර විද්‍යාව ප්‍රිය කෙළෙමි. මා ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය දිනාගෙන ඒ වයසේ දී සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වීමට ය. එහෙත් වයස 25 දී සිංහලයන්ට බටහිර විද්‍යාඥයන් වීමට නොහැකි බව තේරුම් ගත්තෙමි. වයස 35 දී පමණ එයට හේතුවද මට දැනෙන්නට විය. මම බටහිර විද්‍යාවෙන් කැඩුණෙමි. මාර්ටින් වික්‍රමසිංහ මහතාටත් කාලෝ ෆොන්සේකා මහතාටත් වයස 80 දීත් සිංහලයන්ට බටහිර විද්‍යාඥයන් වීමට නොහැකි බවවත් සිංහලයන්ගේ චින්තනය බටහිර විද්‍යාවේ චින්තනයෙන් වෙනස්‌ බවවත් තේරුම් ගැනීමට නොහැකි විණි.

අපට බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර දැනුම පසුපස ගොස්‌ අත්කරගත හැකි විමුක්‌තියක්‌ නැත. අප අපේ ම වූ දැනුමක්‌ ගොඩනගාගත යුතු ය. කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ අපේ දැනුම එසේ ගොඩනගා ගත්තකි. ඊනියා ලාංකික විද්‍යාඥයන් එයට විරුද්ධ වීම පුදුමයක්‌ නො වේ. ඔවුන්ගේ විරුද්ධත්වය අපේ ධෛර්යයට හේතු වේ. ඔවුහු වැඩ බැරි ටාසන්ලා පමණක්‌ වෙති.

අපි පේන අසමු. කේන්දර බලමු පංචෙන්ද්‍රිය ගෝචර නොවන ජීවීන් හා වස්‌තු ගැන විශ්වාස කරමු. අපට අපේ මග යැමට ල-ජාවක්‌ නැත. ල-ජා විය යුත්තේ බටහිර දැනුමේ දාසයන් වීමට ය. කාලෝ ෆොන්සේකා මහතා වැන්නෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණ හා වෙනත් එවැනි ප්‍රවාද විශ්වාස කරමින් නාථ දෙවියන්ටත් අපටත් හිනාවෙති. මට ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර බව පෙන්විය හැකි බටහිර විද්‍යාඥයකු ඇත්නම් මම ඔහුට නාථ දෙවියන් පෙන්වමි. අපට වෙච්ච දෙයින් ගොඩ ඒමට නාථ දෙවියන් ද අවශ්‍ය වෙයි.

(මතු සම්බන්ධයි)

No comments:

Post a Comment