Saturday, June 13, 2015

මිය ගිය හා තුවාල වූ කොටි ත‍්‍රස්තයින්ට වන්දි ගෙවන්න කැබිනට් පත‍්‍රිකාවක්..

මිය ගිය හා තුවාල වූ කොටි ත‍්‍රස්තයින්ට වන්දි ගෙවන්න කැබිනට් පත‍්‍රිකාවක්.. ශ‍්‍රී ලංකා රජයේ හමුදා සමඟ පැවති සටනේදී මිය ගිය හා තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම සඳහා ඇමති මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් වී ඇති බව පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පසුගියදා මාතරදී පැවති ජනරුළිය අමතමිනි.
ඔහු එම රැළිය අමතමින් මෙසේද කියා සිටියේය.
‘අපිට මතකයි එදා නුගේගොඩ අව්වේ වේලි වේලි තමුන්නාන්සේලා අපිත් එක්ක හිටියා, එදා මහනුවර දැඩි සුළං හමුවේ ඔබ තමුන්නාන්සේලා අපිත් එක්ක හිටියා, රත්නපුරේ දී මහ වැස්සේ තෙමිතෙමි ඔබ තමුන්නාන්සේලා අපිත් එක්ක හිටියා, කරුණැගල දි ජනතාව තුළ තෙරපි තෙරපි ඔබ තමුන්නාන්සේලා අපිත් එක්ක හිටියා, එදා ඒ ජනගග දෙතුන් ගුණයකින් වැඩිවේලා මවුබිමේ නිදහස් සටනේ පින්බිම, නිජබිම මාතරට අද ඇවිල්ලා තියෙනවා. අද දින මිත්‍රවරුනේ අපිව දිරිමති කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම ස්ථානයට පැමිණියා. අද මෙතැනට පැනමිණියාට බොහොම පිං.
සහෝදරවරුනේ අද මේ යමපාළනයට තිබෙන ප්‍රශ්නය ඇයි මහින්ද ගෙදර නොයන්නේ කියන එක නෙවෙයි. මේ ජනතාව පැරදුන මහින්ද අත්හරිනේ නැත්තේ ඇයි කියලයි. ඒ නිසා අපි ඔය යම පාළන ආණ්ඩුවට කියනවා මේ රුකඩ ආණ්ඩුව ගෙදර යවලා දේශප්‍රේමි ආණ්ඩුවක් පිහිටවනතුරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සටන නතර කරන්නෙත් නෑ. ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්හරිනේත් නෑ කියලා.
අද රාජි. සේනාරත්න ඇමතිතුමා කියනවා මේක සන්ධානයේ රැළියක් නෙවෙයිලු. සන්ධානය ගැන කතා කරන්න රාජිත සේනාරත්නට තියෙන අයිතිය මොකක් ද? පහුගිය නොවැම්බර් මාසේ විපක්ෂයට ගිහිල්ලා එජාපයත් එක්ක එකතු වේලා, කොටිත් එක්ක එකතු වේලා අපේ පක්ෂය පරද්දලා සන්ධානේ පර්ෂිකයන්ට ගුටි අන්නපු රාජිත සේනාරත්නට සන්ධානය ගැන කථා කරන්න අයිතියක් නෑ. ඒ නිසා රාජිත මහත්තයෝ සන්ධානේ ප්‍රශ්න අපි බලා ගන්නම් ඔබට අයිති නෑ ඒවා ගැන කථා කරන්න. ඒ වගේම රාජිතලා ඩාලි පාරේ පක්ෂ මුලස්ථානය අල්ලගත්තට, බුලත් කොලේ අල්ලගත්තට මේ ජනතාවගේ හදවත් අල්ලගන්න බෑ මේ හදවත් සියල්ල මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආදරයෙන් පිරිලා ඉතිරිලා තියෙන්නේ.
මිත්‍රවරුනේ මේ ආණ්ඩුව කුණු වේලා ගද ගහද්දි කුණු ගද එද්දිත් නහය වහගෙන සමහරු තවම යනවා ඇමති මස් කටු සුප්පු කරන්න. අපේ රැළිය මාතර ගෙන එමේ පිනෙන් මාතරටත් මස් කටු කැලි දෙකක් විසි කළා. ඒ අය ගැන බලා ගැනිම මාතර ජනතාවට භාරයි. ඒ අය මස් කටු සුප්පු කර කර ඉන්න කොට අපේ රටේ බෙදුම්වාදය නැවත නැගිටලා. අපේ මව්බිම දෙකට විමේ අවදානමක් ඇවිල්ලා. මේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරන ඇමති ස්වාමිනාදන් ඇමති මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා කියනවා ත්‍රස්ථවාදයෙන් මියගිය,තුවාල වුන ත්‍රස්ථවාදින්ට වන්දි දෙන්න ඕනේලු.
මේ ලෝකයේ කිසිම රටක ත්‍රස්ථවාදින්ට වන්දි දීලා නෑ. වන්දි දෙන්නෙත් නෑ. අර 9 – 11 ප්‍රහාරයේ දී ඇමරිකාව අල්කයිඩා ත්‍රස්ථවාදින්ට වන්දි ගෙවුවේ නෑ. කාශ්මීර් ගරිල්ලන්ට ඉන්දියාව වන්දි ගෙවුවේ නෑ. ඒ නිසා කොටි ත්‍රස්ථවාදින්ට වන්දි ගෙවනවානම් හිරගෙවල් වල ඉන්න සියළු දෙනාටම වන්දි ලබා දිය යුතුයි මොකද ඒ කිසිම කෙනෙක් කොටි තරම් අපරාධ කරලා නෑ.
මිත්‍රවරුනේ මාතර අවමානය මංගල සමරවීර ලන්ඩන් ගියා සුරේන් සුරේන්ද්‍රන් හමුවෙන්න එරික්සොල්හයිම්, සුමන්දිරම් එතන සිටියා. මේ අය එකතුවේලා මොකක්ද කථා කලේ. සුරේන් සුරේන්ද්‍රන් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පරදුනොත් එල්ලා මරන්න ඕනේ කියපු පුද්ගලයා. ඒ නිසා මංගල සුරේන් එක්ක කථා කලේ මොක්ක ද? මහින් රාජපක්ෂ මැතිතුමා ඝාතනය කිරිමේ කුමන්තුනයක් එතන තිබුණ ද කියලා ජනාධිපතිවරයා රටට කිවයුතුයි.
සිරිසේන මහත්තයෝ සෙරේප්පු තොර තොර ඉදලා හරියන්නේ නෑ. මෙන්න මංගල රට බෙදන්න යනවා. ඒ නිසා මංගල මොකද කරන්නේ කියලා හොයලා බලන්න. ඒ විතරක් නෙවෙයි බෙදුම්වාදින්ගේ සැනකෙලියක් කොළඹට අරගෙන එන්න අද මේ අය සැලසුම් කරලා තියෙනවා. එදා පොංගුතමෙල් කියලා 2002 අවුරුද්දේ කලේත් ඕක. රණ ගී ගයලා අපේ රණ විරුවන්ට කෙළ ගහන්න උගන්නලා රණ විරුවගේ බුට් එකට පහර දෙන්න කියල දුන්නා. බෙදුම්වාදයේ විෂබීජය දෙමළ ජනතාවගේ හිතට දාන්නයි එන්නේ. මංගල මහත්තයො පොංගුතමෙල් කොළඹට ගෙනාවොත් එය ඔබතුමා නටන අවසාන නාඩගම බවට එය පත්කරන්න අපි සුදානම් කියලා අපි මතක් කරන්න අපි කැමතියි.
ඒ වගේම අද එක්සත් ජාතින්ගේ සංවිධානය ඩොලර් මිලියන 03ක් යුධ අපරාධ පරික්ෂණයට වෙන් කරලා. තාක්ෂනික සහාය බාර දිලා තියෙන්නේ පිල්ලේගේ හිටපු කාර්යාලයට. මේක හරියට නරියට කුකුල්ලු භාර දුන්නා වගේ. ඒ නිසා මිත්‍රවරුනේ අපේ ජිවිතය බේරා ගන්න තමන්ගේ ජිවිතය අවදානමක තැබුව අපේ රණ විරුවන්ට අතතියන්න මේ යමපාළණ ආණ්ඩුවට අපි ඉඩ තියන්නේ නැ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. අපේ රණවිරුවන් රැකගන්න මේ ජනතාව ජන පවුරක් වෙන්න ලැස්තියි කියලා අපි කියන්න කැමතියි.
මිත්‍රවරුනේ අපිට මේ අරගලය නිකන් දිනන්න බැහැ. අද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට නාම යෝජනා දෙන්නේ නැතිලු.අපිට ඒ නාම යෝජනා එපා. අපේ පාට මහින්ද, අපේ ලකුණ මහින්ද, අපේ පක්ෂය මහින්ද, අපි ඉන්නේ මහින්ද එක්ක විතරමයි.
මිත්‍රවරුනේ අපි හැප්පෙන්නේ රනිල් වික්‍රමසිංහ , මෛත්‍රිපාල සිරිසේන එක්ක නෙවෙයි. අපි හැප්පෙන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි එක්ක. මේ මාතර පොළවේ නිදාගෙන ඉන්න අපේ මුතුන් මිත්තන් මහා බලවේගවලට හැප්පෙන පාඩම අපිට කියා දිලා තියෙනවා. මිට හරියටම වසර 1000කට කළින් ලංකාව විතරක් නෙවෙයි ඉන්දුනිසියා, බුරුම මුළු ඉන්දියාවම යටත් කරගත්ත චෝල අධිරාජය පෙරලා දැම්මේ මේ මාතර උපන් කිර්ති විජයභා කුමාරයා අන්න ඒ කුමාරයාගේ මග යමින් මේ අපේ ආදරනිය මව්බිම ඇමරිකානු රුකඩ ආණ්ඩුවෙන් නිදහස් කර ගන්නා තෙවන නිදහස් අරගලයට අපිත් එක්ක එකතුවෙන්නට සියළු දෙනා ගෙන් ඉල්ලාසිටිනවා’
– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment