Tuesday, June 16, 2015

"මංගල කොළඹ එන්න" බොදු බලයෙන් අභියෝගයක්

"මංගල කොළඹ එන්න" බොදු බලයෙන් අභියෝගයක්


  2015 ජුනි 16 අඟහරුවාදා බොදු බල සේනා සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් මංගල සමරවීර මහතාගේ ක්‍රියාකාරීත්වය අභියෝගයට ලක්කර තිබේ.
විෂය : දෙමල ඩයස්පෝරා සාකච්ජාවෙන් පසු සිංහල බෞද්ධ බලවේග සමග සංවාදයකට  විදේශ ඇමතිවරයා  කොළඹට පැමිණිය යුතුය.
ඩයස්පෝරා පිලිබඳ කතාබහ  අද  නැවතත් ජනප්‍රිය වී ඇත්තේ විදේශ ඇමතිවරයා ලන්ඩනයේදී යම් කණ්ඩායමක් සමග කරන ලද සාකච්ජාවන් නිසාය. කොටි ත්‍රස්තවාදයත් සමග අප රට තුල ජනප්‍රිය වූ "ඩයස්පෝරා" යන පදය කාලයක් තිස්සේ  "දේශපාලන  මාතෘකාවක්"  වී ඇත. LTTE  එනම් කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණය  කර ඇති නිසා ඔවුන් සමග සම්බන්දතාවයක් තිබෙන පිරිස් සමග කතා බහ කිරීමට විදේශ ඇමතිවරයාට නීතිමය පසුබිමක් තිබේද යන්න විවාදාත්මකය. ඒ යටතේ මෙවැනි ගැටළු රාශියක් මතු විය හැක.
මේ සාකච්ජා වලට ඔහු අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේද?.
මෙය ජනාධිපතිවරණ ජන්ද පොරොන්දුවක්ද ?
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කල ආයෝජනයක්ද?.
මෙය බංකොලොත් වී ඇති LTTE හිතවාදී සංවිධාන වලට ඔක්සිජන්  ගැසීමක්ද?.
විදේශ ඇමති කම ලැබීමේ තුටු පඬුරුද?
සැබැවින්ම සංහිදියාව උදෙසා වූ අවංක ප්‍රයත්නයක ද ?
විදේශ ඇමතිවරයා මෙහිදී රාජතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කර තිබේද?
ජනතාවට තොරතුරු දැන  ගැනීමේ අයිතිය පැහැර හැර තිබේද ?
අද මේ සියල්ලට වඩා වැදගත් වන්නේ රටේ ආරක්ෂාව, සංවර්ධනය හා සංහිදියාව බැවින් සියලු දෙනා ඒ පිලිබඳ මුලික වී කටයුතු කල යුතුය. එය රජයේ පමණක් නොව විපක්ෂයේ ද  වගකීමය. එය සමස්ත ජනතාවගේ ම වගකීමය. එය බොදු බල සේනාවේ උනන්දුවය.
ත්‍රස්තවාදය හා දේශපාලනය මේ රට තුල ක්‍රියාත්මක වන යම් සම්බන්දතාවයක් ඇති  කරුණුය. රටේ නීතිමය හමුදාවට එරෙහිව ආයුධ ගත් ජනතා විමුක්ති පෙරමුණ  එවකට රජය විසින් "ත්‍රස්තවාදී සංවිධානයක්" ලෙස නම් කල අතර ජවිපෙ විසින්  සිය කටයුතු "විප්ලවීය අරගලයක්" ලෙස නම් කොට සාධාරණීය කරන ලදී.  කුමන හේතුවක් නිසා හෝ ආයුධ ගනු ලැබූ     මෙම  පිරිස් විසින් මිනී මැරුම්, දේපල විනාශ  කල සිය සාමාජිකයින් "විරුවන්" ලෙස සමරනු ලැබිණ. බහුතරයක් සිංහල තරුණයින් නායකත්වය දුන් මෙම ආයුධ සන්නද්ධ කටයුතු වලදී ද රටෙන් යම් කොටස් කෙටි කලකට හෝ අත්පත් කර ගන්නට ඔවුන්ට හැකි විය. එසේ කල පිරිස් මර්ධනය කල යුද්ධ හමුදාව "රණවිරුවන්" ලෙස එවකට නම් නොකලද මෑතකදී  කොටි ත්‍රස්තවාදීන් පරදා රට එක්සේසත් කල හමුදා පිරිස් "රණ විරුවන්" ලෙස ජනප්‍රිය විය.  කොටි හිතවාදී පිරිස්  සිය දෙමල  තරුණයින් "විරුවන්" ලෙස සලකන්නට වීම ගැටළුවක් වුයේ කොටි තහනම නිසාය. මේ සියල්ල දේශපාලන කරුණුය. සිංහල තරුණයින් ආයුධ ගැනීම හා දෙමල තරුණයින් ආයුධ ගැනීම අතර වෙනසක් ඇති වුයේ දෙමල තරුණයින්ගේ ගැටලුවට "සුළු ජාතික අයිතිවාසිකම්" නම් වූ ලේබලය තිබීමට වඩා ඔවුන් සමග ඩයස්පෝරාවක් තිබුණු නිසා බව  බොදු බල සේනා වේ මතයයි. ඩයස්පෝරාව එතරම්ම් ප්‍රභලය. වෙනම දෙමල රාජ්‍යය එනම් ඊළම සිහිනය යථාර්ථයක්  නොවන පරිසරයක් 2009 දී ප්‍රභාකරන් ගේ  මරණයත් සමග නිර්මාණය වීමත් සමග මෙම ඩයස්පෝරාව බෙදීම හා දුර්වල වීම සිදුවෙමින් පවතී. රාජපක්ෂ දඩයම වෙනුවෙන් ඔවුන් යම් ප්‍රමාණයකට එක්වීම හා ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙයවීම දැකිය හැකි පරිසරයක් තුල විදේශ ඇමතිවරයාගේ මෙම මැදිහත් වීම විවාදාත්මකය.
ආයුධ ගත් ජවිපෙ හා කොටි සමග කතා බහ කරන  තානාපති අංශ හා දේශපාලන අංශ "කිසිදු අවස්ථාවකදී ආයුධ නොගත් සංවිධානයක්" වන  හා හැමවිටම ප්‍රචණ්ඩත්වය හෙලා දුටු "බොදු බල සේනා" ව සමග කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරන්නේ (බොදු බල සේනා ඇලර්ජීය)  බොදු බල සේනාවට ඩයස්පෝරාවක් නොමැති කමට වඩා බොදු බල සේනා වට එරෙහිව සිය "අල් ටකියා" න්‍යාය පදනම් කරගෙන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිය මාධ්‍ය හා දේශපාලන මෙහෙයුම් කරන ලෝක ව්‍යාප්ත මුස්ලිම් ප්‍රජාවක දේශපාලන හා මාධ්‍ය බලපෑම නිසාය. . මිලියන 1500 කට අධික මුස්ලිම් ජනගහනය නිසා  මෙම බලපෑම   ඩයස්පෝරාවක බලපෑමට ට වඩා බලගතුය.  "ගල් කැටයක්" වත් ගසා නැති  බොදු බල සේනා සමග කතා කිරීමට අපහසුතාවයකින් පෙලෙන විදේශ ඇමතිවරයා ට එම අසනීපයට හේතුව ඔහු   " අල් ටකියාවට " රැවටීම සිටීම නිසාම නොව ඔහු "ජාතිවාදියකු නොවන නුතන සිංහලයකු ලෙස සර්වාගමික ඉහල මැද පන්තියට බද්ධ වී නුතන වැදගත් මහතකු වී එම පන්තියට  " බද්ධ වීමේ මෝස්තරයට කැමති මෝස්‌තර ශිල්පියකු නිසාය. රටට පමණක් නොව සිංහලයින්ට පමණක්  නොව දෙමලයින්ට පවා අගතියක් කල ත්‍රස්තවාදී කොටි නියෝජිතයින් සමග සාකච්ජා කිරීමේදී මෙම විදේශ ඇමතිවරයාට ඉහත අසනීපය වැළඳෙන්නේ නැති වීමට හේතු කිහිපයකි. "සුළු ජාතික අයිතිවාසිකම්", "අලුත් සර්වාගමික නුතන වැදගත් ශීලාචාර සිංහල පන්තියේ වැදගත් මෝස්‌තර ශිලපියකු වීම" වැනි හේතු සමග පුර්ව මැතිවරණ පොරොන්දු හා ගනු දෙනු මෙන්ම " ඩයස්පෝරාවේ" බලය ද මේ සඳහා බලපෑමට ඉඩ ඇත.

බොදු බල සේනා හැම විටම පිළිගනු ලබන්නේ සංවාදය අතිශය වැදගත් බවය. හිතේ පුරවා ගෙන වෛරය සහිතව ජීවත්වනවාට වඩා තම සිතේ ඇති දේ කියා වාද විවාද කොට පොදු එකඟතාවයකට පැමිණීම වැදගත් බව බොදු බල සේනාවේ මතයයි. තරහ හා වෛරය අතර වෙනස අපි හොඳින් දනිමු. තරහෙන් හා වේගවත්ව තදින් කතා කිරීම සමහර විට බොදු බල සේනාවෙන් සිදු වුවද එය වෛරයකින් යුක්තව සිදු නොවන නිසා "හලාල් " ගැන සමාජ විවාදයක් ඇති කල විට උලමා පිරිස් වලට බොදු බල සේනා කාර්යාලයට ආරාධනා කොට කතා කිරීමට අපට හැකි විය. අප කාර්යාලයට මුලින්ම සාකච්ජාවට ආරාධනා කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුයේ  TNA  සාමාජිකයෙකි. මියන්මාරයේ වීරතු හිමි ලංකාවට පැමිණි විට මෙරටේ මුස්ලිම් නායකයින් සියලු විරෝධතා සිදු කරද්දී ජාත්‍යන්තර මට්ටමේ මුස්ලිම් නායකයකු ඒ හිමියන් හමු වීම අප ගේ මැදිහත් වීමෙන් රහසිගතව සිදු වුනේ අපි සංවාදයට කැමති නිසාය. බොදු බල සේනා කාර්යාලයට නිතර යන එන මුස්ලිම් පිරිස් අප කාර්යාලය තුලදී  සිය ආගමික වන්දනා කටයුතු කරන්නේ අපි එම සංවාදයට කැමති නිසාය. තමන්ට ගැටළු පැමිණි විට බොදු බල සේනා සමග කතා කිරීමට උතුරු නැගෙනහිර පවා දෙමල හා මුස්ලිම් පිරිස් සමහර විට අප කාර්යාලයට  එන්නේ ඔවුන් මේ " අල් ටකියාව " ට රැවටී නැති නිසාද නැති නම් ඒ ගැන හොඳින් දන්නා නිසාද යන්න අපට පැහැදිලි නැත. එහෙත් පසුගියදා අප හමු වූ මුස්ලිම් තරුණයකු කල ප්‍රකාශය නිසා මේ මුස්ලිම් නායකයින්ගේ "අල් ටකියා" න්‍යාය වැඩ කර ඇති බව පැහැදිලිය. ඔහු ට අනුව  " අපේ මිනිස්සු අල්ලා දෙවියන් ගාවට බය බොදු බල සේනාවටය". එය සිදු නොවිය යුත්තකි. කිසිවෙකුත් දෙවියන්ටවත් බිය නොවිය යුතුය.

 එහෙත් ලෝකෙට සමාජ ඒකාබද්ධතාවය ගැන පෙන්නා දෙන විදේශ ඇමතිවරයාට බොදු බල සේනා නියෝජිතයින් දකින්නට අකමැති අසනීපය හොඳ කල නොහැකි බව අපි දනිමු.  හිටපු ජනාධිපතිවරයාද, හිටපු ජනාධිපති තුමියද ඇතුළු දේශපාලකයින් පිරිසකට මේ අසනීපය ඇති බව අපි දනිමු.  මොවුන්  බොහෝ  දෙනාට ඇති අසනීපය නම්  "බහුතරයක ගේ  කැමැත්ත දිනා නොගෙන සමාජ ඒකාබද්ධතාව ඇති කිරීමට උත්සහා දැරීමේ ප්‍රවේශය " නම් වූ ව්‍යාධියයි. වාසුදේවට අසනීප ගොඩක් තිබුනද   ගාලුමුවදොර පිටියේ සරුංගල් අරින විටද අප විශේෂයෙන්  සඳහන්  කලේ  ඔහුට තිබෙන මේ අසනීපය ගැනය.

ඩයස්පෝරා ගැන කතා කිරීමේදී  "දෙමල ඩයස්පෝරාව" පිරිස් වශයෙන් ඉතා විශාලය. එයට හේතුව ඔවුන් ඉන්දියානු ඇතුළු බොහෝ රටවලට සම්භවයක් සහිතව කේන්ද්‍ර වී ඇති විශාල ජනගහණයකින් යුත් ඩයස්පෝරාවක් වීමය. ඔවුන් ආර්ථික වශයෙන් පමණක් නොව අදාළ රටවල දේශපාලනික හා රාජතාන්ත්‍රික මට්ටමින්ද බලවත්ය. එලෙසම  ඔවුන් සිය සංස්කෘතිය රැක ගැනීමට උනන්දු ඩයස්පෝරාවක් වීම වැදගත්ය.  මේ සියල්ලට වඩා ඔවුන් ජාලගත කොට ශක්තිමත් කරන පොදු සාධකය වනුයේ "මව්බිමක්" නොමැති ඩයස්පෝරාවක් වීමය. ඔවුන්ට තමන් වෙනුවෙන් වඩාත්ම සුදුසු බිමක් ලෙස තමිල්නාඩුව හඳුනාගෙන තිබුනද ඉන්දියාවේ කලාපීය බලවත්කම හා දේශපාලනික උපායමාර්ගික බව, "ප්‍රභාකරන්" වැනි දක්ෂයකු බිහිවීම ,එම දක්ෂයා බිහිවන තුරු බලාසිටීමට හැර වෙන යමක් කල නොහැකි වූ බුද්ධිය හීන වූ පාලකයින් අපේ රටේ සිටීම වැනි බහුවිධි හේතු නිසා   අපේ උතුරු නැගෙනහිර මෙම අර්බුධයට කේන්ද්‍ර විය. .

 දෙමල ජනතාවට ගැටළු ඇති  බවත් එය සිංහල ජනයාගේ ගැටළු වලට සමාන බවත් , එයට අමතරව දෙමල ජනයාට සුවිශේෂ වූ භාෂාමය ගැටළු ඇති බවත්, ඒ සියල්ලට වඩා දෙමල දේශපාලකයින් විසින් දෙමල ජනතාවගේ සිත් තුල ඇති සුළු ගැටළු පවා  තුවාල ලෙස පාරන බවත් සමහර සිංහල දේශපාලකයින්ද එම තුවාල වල වැදගත්කම නිසා ඒවා තව වැඩි දියුණු කරන බවත් බොදු බල සේනා මතයයි.

ගෝඨාභය රාජපක්ෂගේ උපාය මාර්ගික දැක්ම, කැපවීම හා නායකත්වය මත මහින්ද රාජපක්ෂගේ දේශපාලන මැදිහත්වීම මත හමුදා සෙබළුන්ගේ කැපවීම හා සමාජ දායකත්වය මතින් කොටි ත්‍රස්තවාදීන් යුධමය වශයෙන් පරාජය කරනු ලැබුයේ සිංහල සංවිධාන වල ආරම්භක ශක්තිය නිසා බව සැබෑවකි.

එහෙත් පරාජය කල යුතුව තිබුනේ දෙමල බෙදුම් වාදය හා ත්‍රස්තවාදය පමණි. දෙමල ජනතාව පරාජය කිරීම කිසිවකුගේ  ඉලක්කය  නොවිය  යුතුය.. 2009 දී  ත්‍රස්තවාදය පැරදවීම  සිංහල ජනයා ජයග්‍රාහී ව සමරද්දී දෙමල ජනතාවද එය ජයග්‍රාහීව සමරන්නට යොමු කරවීමට රජය  අපොහොසත් විය. එසේ කිරීමට තිබු බොහෝ  අවස්ථා විධායක ජනාධිපති බලය විසින් නිර්මාණය කල හිතුවක්කාර පාලනය විසින් වසා දමනු ලැබිණ. යුද්ධයේ අමිහිරි බව හා අවාසනාවන්ත කම පිළිගෙන එය නැවත ඇති වීමට ඇති ඉඩ කඩ වසා දමමින් බිඳුණු සිත්, පෑරුණු සිත් හොඳ කරන්නට තිබුණු බොහෝ මාවත් නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන ආඩම්බර වී කටයුතු සිදු වීම  කනගාටුවකි.  අවාසනාවකි. එ මෙන්ම තිස් වසරක යුද්ධය තුල නිහඩව වර්ධනය වූ මුස්ලිම් අන්තවාදයට හා ක්‍රිස්තියානි මූලධර්මවාදය 2009 පසුව ආයතන ගත වීමට ඉඩ හැරීමද, ඒ තුල ගොඩ නැගුනු සිංහල බෞද්ධ හඬට කන් නොදීමද මෙම ආඩම්බර පාලනය තුල පැහැදිලිව  දක්නට  ලැබුණි.

විකෘතියක් කර ඇති අපේ රට  ජාතිය ප්‍රකෘතියට ගෙන එන්නට අවශ්‍යව ඇත. එය පහසු ක්‍රියාදාමයක් නොවේ. ඒ සඳහා සැබෑ සංහිදියාවක් අනිවාර්යයෙන්ම විය යුතුය. සංහිදියාව වෙනුවෙන් බෙදුම්වාදීන්, මුලධර්මවාදීන්,අන්තවාදීන් හා ත්‍රස්තවාදීන් හුරතල් කිරීම නොකළ යුතුය. එය භයානකය. සැබෑ සංහිදියාවක් උදෙසා අවංක උවමනාවක් හා කැපවීමක් සියලු පාර්ශවකරුවන්ගෙන්ම ලැබිය යුතුය. මෙහිදී ඩයස්පෝරාව ප්‍රධාන පාර්ශවකරුවෙක් බව අප අමතක නොකළ යුතුය.ඩයස්පෝරාව යනු විවිධ හේතු නිසා යාම රටක ජනතාව වෙනත් රටවල පදිංචි වී ජීවත්වන්නේ නම් එම ජනගහණයයි.

ලෝකයේ  සිටින ප්‍රභලම ඩයස්පෝරාවක් වනුයේ අපේ දෙමල ඩයස්පෝරාවය එය විවිධාකාරය. ඒ තුල බෙදුම්වාදීන්, මුලධර්මවාදීන්,අන්තවාදීන් හා ත්‍රස්තවාදීන් මෙන්ම රනිල් වාදීන්, මෛත්‍රී  වාදීන් , මහින්ද වාදීන් මෙන්ම, ප්‍රභාකරවදීන් මෙන්ම ඉන්දියනුවාදීන් ද සිටිය හැක.අද  අපි ජීවත්වන්නේ ඩයස්පෝරා බෙදුම (Diaspora Divide) තුලය . මේ සියල්ල දිනා ගැනීම අපේ අභියෝගයයි. එය යම් තැනකින් පටන් ගත යුතුය.

අධිරාජ්‍යවාදීන් අප රට පාලනය කලේ බෙදා පාලනය කිරීම හෝ බෙදා අත්පත් කර ගැනීමේ ප්‍රවේශය යොදා ගනිමිනි. නිදහස ලබා අද ද අපි කටයුතු කරන්නේ එම ප්‍රවේශය අප විසින්ම ප්‍රවර්ධනය කරමිනි. ඩයස්පෝරාව යන වදන ඇසෙන විට සිංහල බහුතරයක් වන අපගේ ඔලුවට එන්නේ දෙමල කොටින්ය. එහි යම් සත්‍යයක් ඇත.එහෙත් එය සම්පුර්ණ සත්‍ය නොවේ. ඩයස්පෝරාව තුල දෙමල ඩයස්පෝරාව ඉතා බලවත්ය. එය සිංහල ඩයස්පෝරාවට වඩා පැහැදිලිව බලවත්ය. දෙමල ඩයස්පෝරාවට අපේ දෙමල ඩයස්පෝරාවට අමතර දෙමල පිරිස් ඇතුලත්ය. දෙමල ඩයස්පෝරාවත් බෙදිලය. සිංහල ඩයස්පෝරාවත්  බෙදිලය. මුස්ලිම් ඩයස්පෝරාවත් බෙදිලය. අද අපට අවශ්‍ය වන්නේ "අපේ ඩයස්පෝරාවක්" නිර්මාණය කර ගනීමටය. මේ ගැන කතා කරන්නට යමෙක් පටන් ගත්තොත් අපි නැවත ඒ මාතෘකාව ගැන බෙදෙන බව පැහැදිලිය. එය මේ වන විටම ආරම්භ වී ඇත. එය ඉතා කණගාටුදායක තත්වයකි.

කවදා හෝ කවුරුන් හෝ විසින් අපේ ඩයස්පෝරාවක් නිර්මාණය කර ගත යුතු බව බොදු බල සේනා වේ මතයයි. එම උතුම් කාර්යයට අප මේ වන විටත් ප්‍රමාද වී ඇත. මෙහිදී අප සියලු දෙනා එකඟ විය යුතු පදනමක් තිබිය යුතුය. ඒම පදනම කොන්දේසි නොවිය යුතුය. එම පදනමේ අංග නම්

කොන්දේසි විරහිතව අපේ ඩයස්පෝරාව ස්ථාපිත කිරීමට අපි සැම සහය දිය යුතුය
සැම දෙනා විවෘත මානසිකත්වයකින් මේ සඳහා ප්‍රවේශ විය යුතුය.
ත්‍රස්තවාදය, බෙදුම්වාදය, හිස එසවීමට අපි එරෙහි විය යුතුය.
සියලු දෙනා සමාන ලෙස සැලකිය යුතුය.
විවිධත්වය ප්‍රවර්ධනයට ඉඩ තිබිය යුතුය.
පලි ගැනීම ගැන නොසිතිය යුතුය.
ජාතික ආරක්ෂාව ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය යුතුය.
අනාගත පරපුරට දියුණු රටක් දායාද කිරීමට පරිත්‍යාග කිරීම ට හා වෙනස් වීමට සුදානම් විය යුතුය.

මේ තත්වය තුල මේ රටේ භෞතික සංවර්ධනය ට සමගාමීව සිදු විය යුතු අතිශය වැදගත්ම කාර්යභාරය විය යුත්තේ නිවැරදි දැක්මකින් යුත් කාර්යක්ෂම හා පලදායී වූ නිසි ප්‍රජා සහභාගීත්වයෙන් යුත් සමාජ ඒකාබද්ධතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය. එය හුදෙක් දේශපාලන හා මාධ්‍ය සංදර්ශනයක් නොවිය යුතුය. එය සියලු පාර්ශවයන් සමග බද්ධ වී සිදු විය යුතුය. බහුතරයක් වූ සිංහල බෞද්ධ අකමැත්තකින් සිදු වන සමාජ ඒකාබද්ධතාවය මන්දපොෂණයකි.විදේශ ඇමතිවරයා හොඳ සංවිධායකයෙකි. අනුන් වෙනුවෙන් අවදානම් ගන්නෙකි. හැබැයි 2015 වසර අවසානයේ "ඩයස්පෝරා සැණකෙළියක් " කිරීම පරෙස්සමින් කල යුත්තකි. එසේ නොවුවහොත් එය "ජාතියේ මළකෙළියක්" වීමට මෙන්ම කිරීමට ඉඩ ඇති බව සැලකිල්ලට ගත යුතුය.
අප පහත කරුණු ගැනද සැලකිලිමත් විය යුතුය.

සමාජ ඒකාබද්ධතාවය උදෙසා පුළුල් ජාතික හා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් සැකසීම කල යුතුය.
මෙම වැඩපිළිවෙල  සැකසීම හා ක්‍රියාත්මක කිරීම උදෙසා සියලු පාර්ශව සම්බන්ද කර ගැනීමට පියවර ගැනීම කල යුතුය
බෙදුම්වාදය, අන්තවාදය හා මූලධර්මවාදය හීන කිරීම පිණිස පියවර ගැනීම .කල යුතුය
සමාජය තුල විචාරශීලී චින්තනය, විද්‍යාත්මක තීරණ ගැනීම මෙන්ම විරුද්ධ මත වාද විවාද කිරීමට ඉඩ සැලසීම කල යුතුය
දීර්ඝ කාලීන විසඳුමක් ලෙස රටේ බොහෝ ගැටළු වලට හේතුවක් වී ඇති අධ්‍යාපන ක්‍රමය පුළුල් ප්‍රතිව්‍යුහකරණයට ලක් කිරීම කල යුතුය.
ආර්ථික හා සංවර්ධන අවස්ථා සමාන ලෙස බෙදී යන විවෘත පරිසරයක් නිර්මාණය කල යුතුය.
අතිශය වාසි සහගත "අරමුදල්" ඉපයීම උදෙසා මෙම ප්‍රයත්නයන් විකිනෙන බැවින් " බෙදුම්වාදී වෙළෙන්ඳන්" ගෙන් මෙන්ම "සාම වෙළෙන්දන්" ගෙන්  පිලිබඳව  සැලකිලිමත් වීම කල යුතුය.
අපේ ඩයස්පෝරාව මිලියන 1.5 නම් ඉන් අදහස් වන්නේ එය අප ජනගහනයෙන් 7.5% ක් බවය. අපි මේ ගැන කලපනා කළහොත් මේ ඩයස්පෝරාව සමග වැඩ කිරීමට ප්‍රභල යාන්ත්‍රණයක් ඇති කල යුතුය. ඉතිහාසයේ වැරදි නිසා , රටේ විකෘතිය නිසා බලවත් වූ  හා ප්‍රමාණාත්මකව වර්ධනය  වූ මේ "ඩයස්පෝරාව අද රටේ යහපත උදෙසා උපායමාර්ගික මැදිහත්වීමක් ලෙස යොදා ගන්නට"  අප කටයුතු කල යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ රහස් සාකච්ජා පැවැත්වීමෙන් එහාට ගොස් පුළුල් ජාතික කතිකාවතකින් පසු උපායමාර්ගික වැඩපිළිවෙලක් සකස් කොට ක්‍රියාත්මක වන යාන්ත්‍රණයකි. . 2% වන එහෙත් ප්‍රමාණයෙන් අතිවිශාල ඩයස්පෝරාවක් ඇති ඉන්දියාවේ මේ පිලිබඳ වැඩ කිරීමට වෙනම අමාත්‍යංශයක් තිබුනද අප කල යුතු වන්නේ  නව චින්තනයකින් යුතුව විවෘත මනසකින් යුතුව නව ප්‍රවේශයකින් යුතුව ක්‍රියාත්මක විය හැකි  "ඩයස්පෝරා මෙහෙයුම් ඒකකයක්" විදේශ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීම බව  බව බොදු බල සේනාවේ විශ්වාසයයි. එම ඒකකය  තුල "සිංහල බෞද්ධ විරෝධී,   නුතන  සර්වාගමික ඉහල මැද පන්තියේ අලුත් පරපුර"  සමග පමණක් දීග කෑම කල යුතු මංගල්‍යයක් නොවන බව  විදේශ ඇමතිවරයා පමණක් නොව සමස්ත සමාජයම අවබෝධ කර ගත යුතුය .

ජනවාර්ගික ගැටලුව විසඳීමට උත්සහා ගනිද්දී  අද ඩයස්පෝරාව ගැටළුවක් වී ඇත. එය අර්බුධයක් කිරීමට ඉඩ කඩ ඇත. අර්බුධයක් වීමට ඉඩ ඇත.  බොදු බල සේනා මතය වනුයේ "ඩයස්පෝරාව" විසඳුමේ කොටසක් කරගත යුතු බවයි. දෙමල ඩයස්පෝරාව යනු ගෝලීය දෙමල සංසදය පමණක් නොවන බවත්, සිංහල බෞද්ධ  බලවේගය යනු බොදු බල සේනා පමණක් නොවන බවත් අපි තේරුම් ගෙන ඇත. දෙමල ඩයස්පෝරාවට ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලනය හා මුල්‍ය ව්‍යාපාරය තුල මේ රටේ ජීවත්වන අහිංසක දෙමල ජනතාව හා ඔවුන්ගේ ගැටළු අමතක වී ඇති බවත් සාමාන්‍ය දෙමල ජනතාව සමග කටයුතු කරන අපට පැහැදිලිය. මෙය පාර්ලිමේන්තුවේ සිටින දෙමල පමණක් නොව බොහෝ  දේශපාලකයින්ටද පොදුය එම දුරස් බව සාධාරණය. එහෙත් එම විසඳුමට සාමාන්‍ය දෙමල, සිංහල හා මුස්ලිම් ජනතාව බද්ධ කර ගැනීමට දේශපාලනය නම්‍යශීලී විය යුතුය.  මෙම  විසඳුමේ අනිත් කොන සිංහල බෞද්ධ බහුතරය බව අමතක කිරීම අතිශය භයානක බව දැන්වත් තේරුම් ගැනීමත්, එම සිංහල බෞද්ධ බලවේග සමග සංවාදයකට විදේශ ඇමතිවරයා කොළඹට පැමිණිය යුතු බවත් බොදු බල සේනා අවධාරණය කරමු.

දෙමල ජනතාවගේ ගැටළු විසඳීම්  වෙනුවෙන් බොදු බල සේනාවේ දැක්ම මෙලෙස ඉදිරිපත් කරමු.

1.  දෙමල ජනවර්ගයේ ගැටළු වලට ජාතිවාදී නොවන කෝණයකින් යුතුව  විසඳුම් ලබා දීම හා සංහිදියාව කාලයක් තිස්සේ වූ අවශ්‍යතාවයක් බවත් එය ජාතික ප්‍රමුඛතාවයක් බව
2.  මෙම ගැටළු ජාති වාදී ගැටළු ලෙස නොසලකා මෙම ගැටළු සිංහල , දෙමල. මුස්ලිම් සියලු දෙනාට පොදු මානුෂීය අවශ්‍යතාවන් ලෙස සලකා ජාතිවාදී දේශපාලනය මුලික නොකොට විසඳිය යුතු බව.
3. යුද්ධය නිසා වැඩි වශයෙන් පිඩාවට ලක් වූ දෙමල ජනයාට විසඳුමක් ලබා දීම රටේ සියලු දෙනා ගේ යහපතට හේතු වන බව හා සිනහල් බෞද්ධයින් එයට සහය දෙන බව
4. 2009 LTTE පරාජය කිරීම යනු දෙමල ජනයා පරාජය කිරීමක් නොවන බව හා ඔවුන් පරාජික මානසිකත්වයෙන් මුදවා ගැනීමට සියලු දෙනා ඔවුන් සමග  කටයුතු කල බව. අපි සියලු දෙනා ත්‍රස්තවාදය පරාජය කිරීමේ පොදු ජයග්‍රාහකයින් බව තේරුම් ගත යුතුය. මෙම අවස්ථාව බිදුනු සිත් යා කරන්නට , සංහිදියාවට පදනමක් කර ගත යුතු බව
5. ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස සංහිදියාව ඇති කිරීමට අප අපොහොසත් වීමේ ගැටලුව විසඳීම උදෙසා  සිදු වී ඇති දේශපාලනික වෙනස්කම් අවස්ථාවක් කර ගැනීම.
6. දිගුකල් පවතින ස්ථිරසාර සංහිදියාවකට බහුතර සිංහල ජනයාගේ සහය හා විශ්වාශය අතිශය වැදගත් ප්‍රමුඛ සාධකයක් බව
7. දෙමල ජනයාගේ සැබෑ හා එකම නියෝජිතයා දෙමල ඩයස්පෝරාව පමණක් නොවන බව හා සැබෑ විසඳුමකට ඩයස්පෝරාව ඇතුළු  සියලු දෙමල පාර්ශවයන් හා ස්ථරයන් බද්ධ කර ගැනීම අත්‍යවශ්‍ය බව
8. සංහිදියාව වෙනුවෙන් රජය හෝ වෙනත් පාර්ශව විසින් ගනු ලබන උත්සාහයන් තුලදී බොදු බල සේනා ජාලය හා එහි දේශපාලන පෙරමුණ නිසි සහයෝගය දීමට සුදානම් බව. මෙහිදී සියලු පාර්ශව එක් කර ගැනීම හා ජනාධිපතිවරයාගේ පුළුල් මැදිහත්වීමක් අවශ්‍ය බව.
9. කෙතරම් වෙනස්කම් හා මතවාද තිබුනද මේ ලැබී ඇති අවස්ථාවේදී මේ රටේ සියලු ජනතාවගේ සුබසිද්ධිය සලකා සියලු දෙමල දේශපාලන පක්ෂ, ඩයස්පෝරා හා වෙනත් සංවිධාන හා දෙමල ජනයාට මෙම අවස්ථාව තුල එඅකතු වන ලෙස ඉල්ලා සිටීම
10. විවෘත මනසකින් හා අවංක ඕනෑකමකින්  පෞද්ගලික දේශපාලනික අරමුණු වලින් ඉවත්ව සංහිදියාව වෙනුවෙන් ඉදිරිපත්වන ලෙස සිංහල සංවිධාන, නායකයින්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටීම
බොදු බල සේනා සිංහල ජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය වෙනුවෙන් පැහැදිලිව පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් සටන කරන බවත්, ආරම්භයේ සිට අන්තවාදයට, ත්‍රස්තවාදයට , ප්‍රචණ්ඩත්වයට එරෙහිව සාමය හා සංහිදියාව  වෙනුවෙන් පෙනී සිටි බවත් "විස්වසා පරමා ඥාතී" යන බුද්ධ වචනය අනුව සෑම ජනවර්ගයක් හා ආගමික කණ්ඩායමක් සමග කටයුතු කිරීමට හැමවිටම සුදානම් බවත් කුමන අපහසු තත්වයන් ඇති වුවද ඒකීය රටක් තුල, එක නීතියක් හා එක ජාතියක් යන පදනම තුල දෙමල ජනවර්ගය යනු අප ජාතියේ කොටසක් ලෙස සලකා මානුෂීය පදනමකින් ගැටළු ඔවුන්ගේ ගැටළු විසඳීම වෙනුවෙන් පෙනී සිටි බවත්, ඉදිරියටද පෙනී සිටින බවත් අවධාරණය කරමු.
මෙම මාධ්‍ය සාකච්ජාවෙන් හා නිවේදනයෙන් පසු  පසුව "බොදු බල සේනාවට" එරෙහිව නැවත "ජාත්‍යන්තර කුමන්ත්‍රණ" හා "විදේශ අරමුදල් ලැබීමේ"  චෝදනා එල්ල වීමට ඉඩ ඇති බවත් අපි දනිමු. අපිට බොදු බල සේනා අතිශය වැදගත් වුවත් රට ජාතිය හා ආගම ආරක්ෂා කිරීම හා පැවැත්ම  ඒ සියල්ලට වඩා ඉහල ප්‍රමුඛතාවයක් නිසා මෙසේ අපගේ මතය නිර්භයව ඉදිරිපත් කරමු.

No comments:

Post a Comment