Tuesday, June 16, 2015

බර අවි රැඳවීමට ප‍්‍රතිචාර දක්වමින් බටහිර පෙරමුණ සන්නද්ධ කිරීමට රුසියාව සූදානම්

June 16, 2015 at 12:29 pm | lanka C news

බර අවි රැඳවීමට ප‍්‍රතිචාර දක්වමින් බටහිර පෙරමුණ සන්නද්ධ කිරීමට රුසියාව සූදානම් නැගෙනහිර යුරෝපය තුළ ස්ථිර ලෙස බර අවි ස්ථානගත කිරීමේ ඇමරිකානු සැලසුමට ප‍්‍රතිචාර දක්වමින් බටහිර රුසියාව තුළ අවි බලය නැංවීමට සූදානම් බව ජෙනරාල් යූරි යකුබොව් පවසා ඇතැයි වාර්තා වේ.
රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන යකුබොව් පවසා ඇත්තේ ඇමරිකාව නැගෙනහිර යුරෝපය හා බෝල්ටික් කලාපය තුළ රඳවා තබන්නේ යුධ ටැංකි, කාලතුවක්කු හෝ අන් කවරක් වුවත් එය ශීත යුද්ධයෙන් පසු පෙන්ටගනය හා නේටෝව ගන්නා ඉහළම ආක‍්‍රමණික පියවර වනු ඇති බවයි.
මෙයට ප‍්‍රතිචාර දක්වමින් රුසියාවට සිය බටහිර දේශසීමාව ආසන්නයේ අවි බලය නැංවීම හැර අන් විකල්පයක් නොවනු ඇති බවද ඔහු පවසා තිබේ.
මේ අනුව බෙලාරුස් රාජ්‍යයේ හා කලිනින්ග‍්‍රාද්හි සිදුකර ඇති උපක‍්‍රමික ස්ථානගත කිරීම් සංශෝධනය කෙරෙනු ඇති අතර යුරෝපය ආසන්නයේම පිහිටුවා ඇති නියෙමු මිසයිල බි‍්‍රගේඩයන් ඉස්කන්දර් උපක‍්‍රමික මිසයිල පද්ධතීන් විසින් ශක්තිමත් කරනු ඇතැයි සැලකේ.
2015 මාර්තු 10වනදා යුරෝපයේ සාම්ප‍්‍රදායික හමුදාවන් පිළිබඳ ගිවිසුමෙන් රුසියාව සම්පූර්ණයෙන් ඉවත්වූ හෙයින් මෙලෙස අවි බලය නැංවීම සඳහා රුසියාවට කිසිදු බාධාවක් නොමැති බවද ජෙනරාල් යකුබොව් සඳහන් කර තිබේ.
ඇමරිකාව විසින් අවි රැඳවීම රුසියානු-නේටෝ ගිවිසුම උල්ලංඝනය කරනු ඇති අතර එයට ප‍්‍රමාණවත් රාජ්‍යතාන්ත‍්‍රික පිළිතුරක් සතු නොවීම හේතුවෙන් රුසියාව අවි බලය නැංවීමෙන් ප‍්‍රතිචාර දක්වනු ඇති බව මිලිටරි විශ්ලේෂකයින්ගේද අදහසයි.

No comments:

Post a Comment