Sunday, June 14, 2015

ග්ලයිෆොසෙට්‌ තහනම ගැසට්‌ පත්‍රය කෝ!

ග්ලයිෆොසෙට්‌ තහනම ගැසට්‌ පත්‍රය කෝ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බොහෝ වැරැදි නිවැරැදි කිරීමේ වුවමනාවක්‌ ඇති බව පෙනෙන්නට තිබේ. විවිධ කරුණු කාරණා වලදී ඔහු ගන්නා තීන්දු තීරණවල "දැඩි" ස්‌වභාවය ඊට හොඳම නිදසුන්ය. ග්ලයිෆොසෙට්‌ කෘෂිරසායනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එවැනි වැදගත් තීන්දුවක්‌ ගත්තේය. ඒ පසුගිය මැයි 22 වැනිදාය. එදා ඔහු කීවේ ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායනය ශ්‍රී ලංකාවේ භාවිතය තහනම් කරන බවයි. පසුව කැබිනට්‌ මණ්‌ඩලය ද එම තීරණයට එකඟතාව පළ කර තිබිණි. වැඩේ අහවර වී ඇති බව සිතා රටේ ජනතාව සැනසුම් සුසුම් හෙලූහ. ජනාධිපතිතුමාටත් රජයටත් ලකුණු සීයෙන් සීයම ලබා දුන්නෝය. දැන් දින විස්‌සකට වඩා ගතවී අවසන්ය. තහනම තවමත් නැත. තහනම බලාත්මක විය හැකි මාර්ගද නැත. ඊට ප්‍රවේශයක්‌ ගත යුතු ගැසට්‌ පත්‍රය ද නැත. දින සියයයේදී දුන් ඉටු නොකළ පොරොන්දුවලට එක ලකුණ බැගින් කපා දමන්නාක්‌ මෙන් ග්ලයිෆොසෙට්‌ වෙනුවෙන් දුන් ලකුණු සියය එහෙමත් ලෙහෙසියෙන් කපා දැමිය නොහැක.

මුලින් සඳහන් කළා සේ ජනාධිපතිවරයා කී තහනම නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට පලිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළ යුතුය. එහෙත් ඒ ගැසට්‌ නිවේදනයට බාලගිරි දොaෂය වැළඳී තිබේ. මේ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට උපදෙස්‌ ලබාදිය යුතු නිලධාරී මණ්‌ඩලය හා දේශපාලන අධිකාරියට මේ දිනවල වේගයෙන් පැතිර යන උණසන්නිපාතය හෝ ඇස්‌ ලෙඩ වැළඳී ඇතැයි හිත හදාගැනීමට ද රටේ ජනතාවට හැකියාවක්‌ නැත. පලිබෝධනාශක රෙජිස්‌ටාර්වරයාට මේ අගනා උපදෙස්‌ ලබාදිය යුත්තේ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම විෂය භාර ඇමැතිවරයාය. එහෙත් ඒ කිසිවකුටත් පසුගිය දින විස්‌ස තුළ ඒ ගැන හාංකවිසියක්‌වත් සිහිපත් වී නැත. ඔවුන් රෝගී වී හෝ සිහිවිසඥ තත්ත්වයකට පත්ව ඇතැයි අප අනුමාන කරන්නේ ඒ නිසාය. "මොකද හදිසි" යෑයි කිසිවකුටත් අපෙන් (ජනතාවගෙන්) ප්‍රශ්න කරන්නට ද නොහැකිය. ග්ලයිෆොසෙට්‌ අඩංගු කන්ටේනර පහළොව මුදාහරින්නට තිබෙන හදිසිය, ගැසට්‌ පත්‍රය ගෙන එන්නට නැත්තේ ඇයි දැයි අපි පෙරළා එවිට ප්‍රශ්න කරන්නෙමු.

තහනම් බඩු සම්බන්ධයෙන් රටේ දේශපාලන අධිකාරියටත් නිලධාරි පැලැන්තියේ සමහර කොටස්‌වලටත් ඇති අපකීර්තිමත් ඉතිහාසය සලකා බැලීමේදී අප කාටත් සැක සංකා මතුවීම වැළැක්‌විය නොහැකි කාරණයකි. එසේ සැක මතුවීමට සාධාරණ හේතු තිබේ. ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායන අඩංගු කන්ටේනර් පහළොව මුදාහැරීම සිදුකළේ ජනපතිවරයා තහනම ගැන දැඩි ස්‌ථාවරයක සිටියදීමය. එමෙන්ම ගෙන්වන ලද එම කෘෂි රසායන තොගය අවසන්වනතුරු තහනම ඉවත් කරන්නැයි අදාළ සමාගම් හෝ පාර්ශ්වයන් කරන ලද ඉල්ලීමද ජනපතිවරයා ප්‍රතික්‍ෂේප කර තිබිණි. වැඩේ එතරම්ම සීරියස්‌ නම් මේ වනවිට තහනමට අදාළ ගැසට්‌ පත්‍රය නිකුත්විය යුතුව ඇත. ඒ අනුව සිතිය හැක්‌කේ මුදාහරින ලද කන්ටේනර් පහළොවේ අඩංගු ග්ලයිෆොසෙට්‌ තොගය විකුණා දැමීමේ මාස්‌ටර් ප්ලෑන් එකක්‌ දියත් වන බවය. ග්ලයිෆොසෙට්‌ තහනම් නම් මේ වන විට අදාළ කන්ටේනර් පහළොව කොහෙන් හෝ සොයාගෙන, ඒවා විනාශ කර දැමීමේ ක්‍රමයක්‌ සොයාගත යුතුය. එවැනි ක්‍රියාදාමයක්‌ සිදුවන බවක්‌ද පෙනෙන්නට නැත. ග්ලයිෆොසෙට්‌ කියන තරම් පහසුවෙන් විනාශ කිරීමද කළ නොහැක්‌කකි. එනම් ගිනිතැබීමෙන් හෝ වළ දැමීමෙන් අතුරු ප්‍රශ්න ගණනාවක්‌ මතුවේ.

මීට පෙරද අප පෙන්වා දුන් පරිදි 2014 වර්ෂයේදී ග්ලයිෆොසෙට්‌ මෙන්ම තවත් කෘෂි රසායන වර්ග හතරක්‌ රටේ යම් යම් ප්‍රදේශවල භාවිතය තහනම් කර තිබිණි. ප්‍රොපනිල්, කාබරිල්, ක්‌ලෝෆයිරිපොස්‌, කාබෝෆsයුරාන් අනෙකුත් කෘෂි රසායනයන්ය. 2014 දෙසැම්බර් මස 22 වැනිදා නිකුත් කළ අංක 1894/4 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් අනුරාධපුර, පොලොන්නරුව, මොනරාගල, හා කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌කවලද මහියංගන, රිදීමාලියද්ද හා කන්දෙකැටිය යන බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලද පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ බලය අනුව මේ සියලු කෘෂි රසායනයන් අලෙවිය, භාවිතය තහනම්ය.

අපට දැනෙන හැටියට කාලයත් සමග කතන්දරේ යටගසා රටට විස බෙදීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වීමට නියමිතය. රටේ හැමදාමත් වූ දේ යහපාලනය යටතේ සිදු නොවෙතැයි කියන දේශපාලන අධිකාරියට හිතන්නට බොහෝ දේ තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි ස්‌ථාවරය "කිව්වොත් කිව්වා" මට්‌ටමට දියුණු කරගත යුතු බව අපේ අදහසයි.

 
Powered By -

No comments:

Post a Comment