Sunday, June 14, 2015

සිරිලිය සවිය හා දස වසක් පැරණි ප‍්‍රාඩෝ රිය ගැන මහින්ද කියයි..

සිරිලිය සවිය හා දස වසක් පැරණි ප‍්‍රාඩෝ රිය ගැන මහින්ද කියයි.. සිරිලිය සවිය ප‍්‍රාඩෝ රථය හා මුදල් අවභාවිතය ගැන චෝදනාවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහන්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක විසින් නිවේදනයක් නිකුත් කරමින් කරැණු පැහැදිලි කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
ඉකුත් ජුනි 09 වනදා තංගල්ලේදී අනතුරකට ලක්වූ  සිරිලිය සවිය සංවිධානයට අයත් ලියාපදිංචි නොකළ ප‍්‍රාඩෝ රථය සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙමින් පවතී. මෙකී වාහනය 2004 දෙසැම්බර් සුනාමියත් සමඟ ලෝක ආහාර සංවිධානය විසින් මෙරටට ගෙන්වන ලද වාහන වලින් එකකි. මේ වාහන ආපදා මෙහෙයුම් කටයුතු සඳහා ක්‍ෂණිකවම අවශ්‍ය වූ නිසා මෝටර් රථ රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි නොවී භාවිතා කල හැකි ආකාරයට විශේෂ රතු අංක තහඩු සහිතව ලෝක ආහාර සංවිධානයට ලංකා ආණ්ඩුව විසින් මුදාහරින ලදී. අවුරුදු ගනනාවක් භාවිතා කිරීමෙන් පසු ලෝක ආහාර සංවිධානය මේ වාහන වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වලට පරිත්‍යාග කල අතර, 2012 දී සිරිලිය සවියටද මින් සී.ආර්. 109 හා සී.ආර්. 114 යන රතු අංක තහඩු සහිත ප‍්‍රාඩෝ රථ දෙක පරිත්‍යාගයක් හැටියට ලැබුණි. මුලදී තීරුබදු රහිතව ගෙන්වන ලද මෙම වාහන ලියාපදිංචි කිරීම සඳහා රේගුව විසින් අධික තීරු බද්දක් පැනවූ අතර එම මුදල ගෙවීමට නොහැකිව පසුගිය වසර තුනක කාලයක් මේ වාහන භාවිතා නොකොට වීරකැටිය ප‍්‍රදේශයේ ඉඩමක ගාල්කොට තිබුණි. මේ වාහන භාවිතා කිරීමට සිරිලිය සවියෙන් කිසිවෙකුට අවසරයක් දී තිබුනේ නැත. ඇතැම් අය චෝදනා කරන පරිදි මෙය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් නොවේ. මෙම වාහන දෙකම දැන් අවුරුදු 10 ක් පමණ පැරණි බවද සැළකිය යුතුය.
ඉකුත් සිකුරාදා මාධ්‍ය හමුවකදි ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය විසින් සිරිලිය සවියේ මුදල් ඇයගේ පුද්ගලික ගිණුමකට හරවාගෙන ඉන් නිවසක් මිලදී ගත් බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය චෝදනා කර සිටියාය. කොළඹ 05, ටොරින්ටන් ඇවනිව්, අංක 260/12 දරන දේපළ මිලදි ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය ද රාජපක්‍ෂ මැතිනියගෙන් විමසා තිබුණි. මෙකී දේපල මිලදී ගැනීමට රුපියල් මිලියන 35 ක ණයක් ලබා දී තිබුනේ එතුමියගේ බෑනා වන ව්‍යාපාරික දිල්ෂාන් වික‍්‍රමසිංහ මහතාය. මෙම මුදල රාජපක්‍ෂ මැතිනියට ලබාදුන් ණයක් ලෙස වික‍්‍රමසිංහ මහතාගේ ආදායම් බදු වාර්ථාවල සඳහන් වන අතර එකී මුදල තම පවුලේ ණයක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල වත්කම් ලේඛනයේත්, ආදායම් බදු වාර්ථා වලත් සඳහන් වේ. දැනට ගබඩාවක් හැටියට භාවිතා වන මේ දේපළ මිලදි ගැනීමට සිරිලිය සවියේ මුදල් භාවිතා වී නැත.
රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්

No comments:

Post a Comment