Saturday, April 25, 2015

ජාතිවාදීන්ට කොඩිය නොදෙමු.

කතෘ:යුතුකම     4/25/2015   No comments
 ජාතිකවාදය දිනවීම සඳහා අප යන ගමන පහසු එකක් නොවේ. ඊට ප්‍රධාන හේතුවකි. එනම් ජාතිකවාදය හා ජාතිවාදය යන වචන දෙක අතර වෙනස බොහෝ අයට තේරුම් ගැනීමට නොහැකි වී තිබීම ය. 'ක' යන්නකින් පමණක් මෙම වචන දෙක වෙනස් වූව ද එය අහසට පොළොව සේ ය. ඉංග්‍රීසියෙහි ජාතිකවාදය යන්නට Nationalism ද ජාතිවාදය යන්නට Racism ද යොදා ගැනීමෙන් මෙම වෙනස පැහැදිළි වේ. එහෙත් සිංහල භාෂාවේ මෙම වචන දෙක ආසන්න හැඬයක් ගැනීම අපගේ අවාසනාව ය. ගෝඨාභය අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහි ව තිබූ විරෝධතාවට විකෘති කරන ලද කොඩි රැගෙන ගියේ කුමන තකතීරුවා විසින් ද?

ජාතික හෙළ උරුමය යනු මෑත ඉතිහාසයේ මෙරට සිංහල ජාතිවාදය ඇවිලීමට කටයුතු කළ අමන රැළකි. ඔවුන් විසින් මෙරට කැපූ දේශපාලන වළ සුළුපටු ගැඹුරකින් යුතු එකක් නොවේ. මහින්ද රාජපක්‍ෂ වැට්ටවීමට තරම් එය ගැඹුරු විය. පසුගිය ජනපතිවරණට ආසන්න සමයේ දී මෙම කුණුවළ කැපූ පිරිස "ඔන්න අපිනම් නෙවෙයි මහින්ද තමයි වැරදි" කියා ලිබරල් ඔඩොක්කුවට තල්ලු වන අතර මහින්ද ජනවාරි 08 වනදා එහි මිළ ගෙවා දැම්මේ ය.

මීළඟට මහින්ද විරෝධියා වූයේ බොදුබල සේනා සංවිධානයයි. අන්ත සිංහල ජාතිවාදී ස්වරූපයක් පෙන්වන මෙම සංවිධානය මහින්ද පරාජයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේ ය. ලංකාවේ ජන වාර්ගික යාථාර්ථය පිළිබඳ අබමල් රේනුවක කියවීමක් නැති මෙම සංවිධානය බාහු බලයෙන් සුළු ජාතීන් මට්ටු කිරීමට ඉටාගත් එකකි. මෙම සංවිධානය නොර්වේ වැනි රටවල ආධාර මත දුවන එකක් බවට පසුගිය දා දැඩි චෝදනා එල්ල විය. එසේ වූව ද නොවූ වද ඔවුන් මහින්දට නම් කළේ සුළුපටු විනාශයක් නොවේ. බහුතරයක් සුළු ජාතික ඡන්ද මහින්දගෙන් ඈත්කර වීමේ කුමන්ත්‍රණයේ දෘෂ්‍යමාන සාධකය වූ මොවුහු මහින්ද පරාජය කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ සැලැස්ම අකුරක් නෑර ඉටුකළහ. මෙම ප්‍රවාහයට දැන් කුරගල සිය ජාතික අරගලය කරගත් සිංහල රාවය හා රාවණා ශක්ති ආදී සංවිධානය ද එකතු වී තිබේ.

මේ සියළු සංවිධාන එකතු වී දැන් කරමින් සිටින්නේ මහින්දට එරෙහි දෙවැනි කුමන්ත්‍රණයයි. එනම් නැගී එමින් තිබෙන මහින්ද රැල්ලට අත ගසා නැවතත් ඔහුට ජාතිවාදී කුණ ඇලවීම මොවුහු දැන හෝ නොදැන කරති. මෙය විනාශයකි. එසේ කිරීමෙන් මහින්ද නැවතත් මුල්ලකට තල්ලු කළ හැකි ය. ඔහු වෙතින් සුළුතර කොටස් තවදුරටත් ඈත්කළ හැකි අතර ඈත් වූ කොටස් එසේ ම නඩත්තු කළ හැකි ය. දෙවැනි ව සිංහල බහුතරයේ සිටින මධ්‍යස්ථ කොටස් ද මහින්ද සමග අත්වැල් බැඳ ගැනීම වළකාලීම අරමුණකි. පසුගිය දා ගෝඨාභයගේ සහායට අල්ලස් කොමිසමට ගිය පිරිස් අතේ තිබූ විකෘති කොඩිය පැහැදිළි කුමන්ත්‍රණයකි. මෙය මුද්‍රණය කොට එවන ලද්දේ නොර්වේ තානාපති කාර්යාලයෙන් දැයි අපි නොදනිමු. එපමණකට ම එය කුමන්ත්‍රණයක කොටසක් බව අවධාරණය කරමු. තව ද එම සටනේ වැදගත්කම පවා හෑල්ලුවට ලක් කළේ මෙම අමනෝඥ ක්‍රියාව කළ පිරිස් ය. මෙවන් සැලසුම් ඉදිරියටත් සිදුවන්නේ නම් ජාතිකවාදිය වෙනුවෙන් කරන සටන ගඟට කපන ඉනි බවට පත්වන දිනය ඈතක නොවේ.

-මහින්ද පතිරණ 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments:

Post a Comment