Tuesday, April 28, 2015

රූකඩ ඒකාධිපති ජනපති සිරිසේන



රූකඩ ඒකාධිපති ජනපති සිරිසේන
කතෘ:යුතුකම     4/29/2015   No comments

පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ දෙමළ සන්ධාන්යේ සහ හෙළ උරුමයේ තුරුලට එන විට ඔහු අප කිසිදා දැක නොතිබුනු ලෙස දත් විලිස්සා සිනාසෙයි. ජනපති වූ පසුව ඔහු සිනාසෙන්නේ කොට කොනකිනි. සෞඛ්‍ය ඇමති කාලයේ ඔහු වෙතින් දුටු විවේකී බව වෙනුවට අද ඔහුගේ මුහුණෙන් දිස් වන්නේ වියළී ගිය ආතති ගතියකි. ඔහුගේ මුහුණට කිසියම් හෝ එළියක් වැටෙන්නේ විදෙස් සංචාරවලදී තමන් වෙත ලැබුනු පිලිගැනීම සිහිපත් කරන විටය. ඒ  මන්දස්මිතයද දෙකම්මුල් දක්වාවත් විහිද යන්නේ නැත. අදුරේ ගිලී තිබෙන ඔහුගේ දෑසට ඒ මන්දස්මිතයේ පහස ලැබීමට වරම් නැත. කන්දක් විළි ලා වැදූ දින සියයෙන් පසුව ඔහුගේ රුව රූපවාහිනී තිරයේ දකින ජනතාව ඉවෙන් මෙන් ඔහු හා රට යම් අර්බුදයක ඇති බව වටහා ගනිති.

"සමහර අය කියනවා මම දුර්වලයි, ශක්තිමත් නෑ, නායකයකු නෙමෙයි කියලා" යයි ඔහු ජාතිය අමතමින් පැවසූයේය. යළි මහින්ද ඕනා යයි කියන ඔහුගේම පක්ෂයේ බුහතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු මහ ජනකායෙන් අති විශාල පංගුවක් වහළුන් ලෙස හැඳින්වීමටද ඔහු අකාරුණික විය.

ඔහුට ලැබුණු ඒ විධායක බලය ඔහු පවසන ලෙස ඔහු භාවිතා කළේ නැතිද?

ව්‍යවස්ථාදායකයට පා පහරක්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකින් අගමැති වූ ලෝකයේ පළමු මිනිසා විය. එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ආසන හතළිස් ගණනක් පමණි.  අගමැති සහ කැබිනට්ටුව පත් විය යුත්තේ මහ මැතිවරණයකින් මිස ජනාධිපතිවරණයකින් නොවන බව ඕන බබෙක් දනිත්. එහිදි සිරිසේන ජනපති තුමා සිය විධායක බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් තමන් ආසාවක් නැතැයි කියන ජනපතිකමට පත් කරවන්නන් සමඟ කලින් ඇති කර ගත් කූඨ එකඟතාව මත කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමාය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වූ පසු කැබිනට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් පත් කරන අතරම විපක්ෂ නායක කමත් තම පක්ෂය වෙතම තබා ගැනුමට නිර්ලජ්ජිතව කටයුතු කළේය. සිරිපාලලාගේ සිඟිති ආශාවන් සහ පොදු ජනතා පැතුමන් අතර ඇති පරතරය අහස පොළොව මෙනි. ඒ ඔහු ඔහුගේ විධායක බලය ඒකාධිපති ස්වරූපයකින් භාවිත කර ව්‍යවස්ථාදායකය සිය අණසකට ගත් අධම ආකාරයයි.

අධිකරණයට පෑන් පහරක්

ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට නොව, ඒ සඳහා කමිටුවක් පත් කෙරුමට පමණක් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ බව පවසා ශිරාණි තාමත් අගවිනිසුරු යයි එකල ශිරාණිව ඉවත් කරන්නට ඡන්දය දුන් සිරිසේන ජනපතිතුමා කොලයක ලියා අත්සන දැමීය. නමුත් එම යෝජනාව පාර්ලිමේන්තුවේදී නිවැරදි ලෙස සංශෝධනය කළ බවත්, රටටම පෙනෙන ලෙස ඒ පිලිබඳ පාර්ලිමේන්තුවේ විවාද කළ බවත් නොසළකා හැරීමට තරම් සිරිසේන රෙජීමය නග්න විය. අමතක වන්නේ දුමින්ද සිල්වාට පමණක් නොවන බව මින් පෙනී යයි. එකල සිරිසේන මහතාද ඇතුලුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි පිරිසක් ඡන්දය දුන්නේ ශිරාණි ඉවත් කිරීමට මිස කමිටුවක් පත් කිරීමට නොවන බව ජනපති වූ සිරිසේනට අමතක විය.

මහින්ද ජනපති සමයේ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ ක්‍රමවේදයේ වරදක් නැති මුත් එවැන්නක් තිබුනා වුවත් ඒ පිලිබඳ තීරණයකට එලැඹිය යුතුව තිබුනේ ව්‍යවස්ථාදායකයයි. එනම් පාර්ලිමේන්තුවයි. මන්ද යත් අගවිනිසුරුවකු පත් කිරීම විධායකයටත් ඉවත් කිරීම ව්‍යවස්ථාදායකයටත් පැවරුනු කාර්යයන් නිසාය. ඉවත් කිරීම නිසි ලෙස සිදු වුනිද නොවිනිද යන්න පාර්ලිමේන්තුව තුළදී සලකා බැලිය යුතුව තිබුනි. නමුත් ඒ තීරණය එකවරම ගනු ලබන්නේ කවුද? පරමාධිපත්‍ය බලය හිමි ජනතාවද? විධායකයට එවැනි අයිතියක් කොහොමත් නැත. ඒ තීරණය ගනු ලබන්නේ යහපාලනයෙන් භෞතීස්ම කළ මෛත්‍රීපාල සිරිසේන නම් මිනිසායි.

 නීතිය තමා විසින්ම අර්ථකථනය කරමිනි ඔහු එය සිදු කළේ. ඒ වෙනුවෙන් සහය දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය අධ්‍යක්ෂ තනතුරකින් පිදීමට තරම් සිරිසේන ජනපති ත්‍යාගශීලී වෙයි. ඔහු එලෙස අධිකරණයේ ස්වාධීනත්වය එක පෑන් පහරින් කෙළෙසා දැමූයේ කිසිදු හිරිකිතයකින් තොරවය. වෙනදා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බෙරිහන් දෙන කුහක බුද්ධිමතුන්ගෙන් සිරිසේන ජනපතිගේ අත්තනෝමතික අත්සනට මෙවර මල් කළඹකි.

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා-  ගොබෙල්ස් යළිත්

ව්‍යවස්ථාදායකයට හා අධිකරණය යන දෙකම තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීම තරම් හානියක්, කෙලෙසීමක් ප්‍රජාතන්ත්‍රවාදයට කළ හැකිද? ඔහු පුල පුලා පවසන්නේ අනිත් අය මෙන් තමන් විධායක බලතල භාවිතා නොකළ බවයි. පැහැදිළි සත්‍යකි. ඔහු කළේ විධායක බලතල භාවිතා කිරීම නොව, අවභාවිතා කිරීමයි.

ඔහු පක්ෂයේ සභාපතිවරයා ලෙස එම පක්ෂ්යේ ජේෂ්ටයන් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරන්නේ කිසිදු  හේතුවක් නොදක්වාය.

මිනිසෙකුට මේ සියල්ල මෙසේ සිදු කරන ගමන් තමන් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ බව පැවසිය හැකිද? ඔහු කිසිදු අමුත්තක් නැතිව එසේ පවසන්නේ අපේ සමාජය ඒ තරම්ම මෝඩ සමාජයක් නිසාද? ගොබෙල්ස් න්‍යාය බලය ලබා ගැනීමට පමණක් නොව බලය ලබාගෙන කරගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝදී දුර්ධාන්ත පාලනය සඟවනු සඳහාද අත්හදා බලමින් ඇත.

මහින්ද ඒකාධිපතියෙකු යැයි මර හඬ නගා කියමින් සිරිසේන සිය කර මතින් වැඩම්මවූවන් සිරිසේන ජනපතිගේ වියරු ඒකාධිපති හැසිරීම ඉදිරියේ අද සිටින්නේ ගලේ පැහැරූ බළලුන් මෙනි. දේශපාලන පිටියේ ගොබෙල්ස් මොරගෑම් පසෙකලා අපම ස්වාධීනව කල්පනා කර බැලුවහොත් ඒකාධිපතියා හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ.

රූකඩ ඒකාධිපති

සමහර අය කියනවා තමන් දුර්වලයි, ශක්තිමත් නෑ, නායකයෙකු නොවෙයි වැනි දෑ ජාතිය අමතා ඔහු වෙසෙසින් පවසන්නේ මන්ද? ජාතිය නොමඟ යැවීමට විය හැකිය. තමා ක්‍රියා කළ අධම ඒකාධිපති ස්වරූපය ඔහු අප සැවොටම වඩා දනියි. දැන් ඔහුට අවශ්‍ය අපගේ දෑසට වලි ගැසීමටයි. තමා දුර්වලයකු බවට මතයක් ඇතැම් අය දරන බව ඔහු රටටම පවසන්නේ ඒ මඟින් තමාගේ ඒකාධිපති ස්වරූපය මෙරට ජනතාවගේ දෑස් මතින් ඉවත් කළ හැකි බව සිතන නිසාය. ඔහු රාජ සභාව තුළ රූකඩයක්, දුර්වලයෙක් විය හැකිය. ජාත්‍යන්තරය තුළ ඔහු රූකඩයක් බව පැහැඳිලිය. ජනපති කියනා ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය යනු අනෙකක් නොව ඔවුනට අවැසි  ලෙස ඔහු අවනත වේ යන විශ්වාසයමය. මහින්ද පිලිබද එවන් විශ්වාසයක් ඉන්දියාවට හෝ බටහිරයන්ට හෝ නොවිනි. මේ බල පෙරළිය සිදු කිරරීමට ඔවුන් උර දුන් බව ඔවුන්ම පවසන්නේ ඒ නිසාය. සිරිසේන ජනපති  මෝඩිලාට, ජෝන් කෙරීලාට, චන්ද්‍රිකාලාට, රනිල්ලාට රූකඩයක් වුවත් එම විජාතික බලවේගයන්ගේ සිතැඟි ඉටු කිරීමට ඔහු මෙරට තුළ ක්‍රියා කරන්නේ වියරු ඒකාධිපතියකු ලෙසය.

රූකඩ නටවන්නන් රූකඩය නටවමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති බෙර හඬට හෝ යහපාලනය නමැති රිද්මයට හෝ සංවේදී වෙමින් නොව, හුදෙක් සිය සිතැඟි අනුවය. නරඹන්නන් අත්විදින්නේ ඔහේ තමාට ඕනෑ පරිදි ඩෙගා නටන රූකඩ ඒකාධිපතියෙකි. වේදිකාව මත බෙර හඬ සහ රිද්මය ලෙස සඳහන් සුවිශාල නාම පුවරකි. ඇතැමුන් බලා සිටින කෝණය අනුව රංගනයේ බොහෝ කොටස් ඒ නාම පුවරුවටම වැසී ගොසිනි. ඔවුන්ගෙන් බොහෝ  පිරිසක් මේ වියරු රූකඩ ඒකාධිපති නැටවිල්ල බෙර හඬ සහ රිදමයේ උත්කෘෂ්ට සම්භාවනීය පිළිඹිබුවක් ලෙස ගෙන ප්‍රීති වෙමින් සිටිති. ඒ අය තමුන් හඳුන්වා ගන්නේ උගත් බුද්ධිමත් ජනතාව ලෙසිනි.


-ජනිත් සෙනෙවිරත්න
April 28, 2015 at 1:05 am | lanka C news


No comments:

Post a Comment