Friday, April 17, 2015

ශ්‍රීලනිප - එජාප හවුල් ආණ්ඩු පළිගැනීම් නිසා ශ්‍රීලනිප මැයි රැලියට එක්වීම ප්‍රශ්නයක් වෙලා - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි

ශ්‍රීලනිප - එජාප හවුල් ආණ්ඩුව පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගෙන් වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන්ට සිදුකරන පළිගැනීම් සහ පීඩාකාරී තත්ත්වය හමුවේ ශ්‍රීලනිප මැයි රැලියට සහභාගිවීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබේ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා බැහැදැකීමට එජනිස මන්ත්‍රීවරු තංගල්ල කාල්ටන් නිවසට ඊයේ (16) ගිය අවස්ථාවේදී මහින්ද මහතා එසේ පවසා ඇත.

අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ටී.බි. ඒකනායක, රෝහිත අබේගුණවර්ධන, සාලින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, සරත් වීරසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, ජී.එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, උදිත ලොකුබණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රියාණි විජේවික්‍රම, වයි.ජී. පද්මසිරි, රංජිත් සොයිසා, ජානක වක්කුඹුර, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62 දෙනෙක් හා බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රමුඛ එම පළාත් සභා මන්ත්‍රීවරු 40කට ආසන්න පිරිසක් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සියයකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. දකුණු පළාත් සභා උතුරු මැද පළාත් සභා වයඹ පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් ද හිටපු ජනාධිපතිවරයා බැහැදැකීමට මෙම අවස්ථාවට සහභාගි වී ඇත.
ශ්‍රීලනිප මැයි දින රැලියට සහභාගිවීම පිළිබඳව මෙහිදී මෙම මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය වර්තමානයේ මුහුණදී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම මැයි රැලියට සහභාගිවීම සම්බන්ධයෙන් තමාට ප්‍රශ්නයක් ඇතැයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

වත්මන් හවුල් ආණ්ඩුව එජනිස වෘත්තීය සමිති නායකයින්ට පහරදීම, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු ඉවත් කිරීම, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් 132 දෙනකු ඇතුළු ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමුඛ රජයේ ආයතනවලින් ශ්‍රීලනිප පාක්ෂිකයන් ඉවත් කිරීම යනාදී වශයෙන් දියත් කර තිබෙන මර්දනය හේතුවෙන් ශ්‍රීලනිප මැයි රැලියට සහභාගි වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රමුඛ එජනිස පාක්ෂිකයන්ට හා ශ්‍රීලනිප නායකයින් මර්දනය නොකරන හවුල් ආණ්ඩුවකින් තොර එක්සත් ජනතා නිදහස් සන්ධානයක් නැවත නිර්මාණය වන්නේ නම් ශ්‍රීලනිප මැයි රැලියට සහභාගිවීම පිළිබඳ ගැටලුවක් නැතැයිද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

සෙත්සිරිපාය ඉදිරිපිට අඛණ්ඩව උපවාසයක නිරතව සිටින මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ලබන 20දා පවත්වන උද්ඝෝෂණයට මෙම මන්ත්‍රී කණ්ඩායම සම්බන්ධ වන බව මෙහිදී ප්‍රකාශ කර ඇත.

මංජුල ප්‍රදීප් වීරසූරිය

No comments:

Post a Comment