Saturday, April 18, 2015


ජනපතිගේ ක්‍රියාකලාපය අපට සැකයි!
- ජ වි පෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය 19 වැනි සංශෝධනයත් සමග මැතිවරණ සංශෝධනයකුත් ගෙන ආයුතු යෑයි කියන්නේ 19 වැනි සංශෝධනය සම්මත කිරීම වැළැක්‌වීමට බවත් අනෙක්‌ පක්‍ෂවල අදහස්‌ විමසන්නේ නැතිව ශ්‍රීලනිපය හදන ඡන්ද සූදුවලට ජනතා විමුක්‌ති පෙරමුණ විරුද්ධ බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' සමග සාකච්ඡාවකට එක්‌වෙමින් පැවසීය.

එහිදී හේරත් මහතාගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු මෙසේය.

ප්‍ර - ආණ්‌ඩුව දැන් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අමතරව නව මැතිවරණ ක්‍රමයක්‌ ඇතුළත් 20 වැනි සංශෝධනයකුත් ගේන්න යනවා. ඒ ගැන ජවිපෙ අදහස කුමක්‌ද?

පි- පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාවට පොරොන්දුවක්‌ දුන්නා. ඒ පොරොන්දුව තමයි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරනවා කියන එක. ඒ පොරොන්දුව ඉටුකිරීම එතුමාගේ වගකීමක්‌. ඒ පොරොන්දුවට අනුව තමයි 19 වැනි සංශෝධනය එන්නේ. 19 වැනි සංශෝධනයෙන් විධායක ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ නැහැ. ජනාධිපතිගේ යම් බලතල ප්‍රමාණයක්‌ අඩුවීමයි එයින් සිදුවෙන්නේ. විශේෂයෙන්ම මෙහි ස්‌වාධීන කොමිෂන් සභාත්, ඇතුළත් වෙලා තියෙනවා. ඒක ගත්තොත් රටේ ජනතාවගේ පැත්තෙන් විශාල ඉදිරි පියවරක්‌. දැන් එය සම්මත කර ගැනීමේ අභියෝගය තමයි අපි ඉදිරියේ තියෙන්නේ.

ප්‍ර - මේ මැතිවරණ ක්‍රමය පිළිබඳ අලුත් යෝජනාව ගැන අගමැතිතුමා හෝ ජාතික විධායක සභාව දැනුම්වත් කරල නැද්ද?

පි - නෑ. එහෙම එකක්‌ කතා කළේ නෑ. ජාතික විධායක සභාවෙ කොහේවත් ඡන්ද ක්‍රමය ගැන ඔය කියන අන්දමේ කතාවක්‌ වෙලා නැහැ. ඒක ශ්‍රීලනිපය වෙනම ගත්ත තීරණයක්‌.

ප්‍ර - ජනාධිපතිවරයා කටයුතු කරන්නේ අගමැතිගෙන් වත් අහන්නේ නැතිවද?

පි - ඇත්තටම ගත්තොත් විධායක සභාවේ වෙච්ච දේ තමයි 19 වැනි සංශෝධනය සම්මත කර ගන්නවා ඉන් පසු මැතිවරණ ක්‍රමය වෙනම සංශෝධනයක්‌ විධියට ගේනවා කියන තීරණය.

ප්‍ර - දැන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා සහ දේශපාලන පක්‍ෂ අතර සාකච්ඡාවක්‌ පැවැත්වෙලා තියෙනවාද?

පි - මැතිවරණ කොමසාරිස්‌වරයා සමග දිගටම ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම පිළිබඳව සර්ව පාක්‌ෂික කමිටුවක්‌ ක්‍රියාත්මක වුණා. පාර්ලිමේන්තුවේදී එය රැස්‌වුණා. අපිත් සහභාගි වුණා. ඒකට මැතිවරණ කොමසාරිස්‌වරයා නිරන්තරයෙන් සහභාගි වුණා. එතුමාගේ පැත්තෙන් විවිධ ක්‍රමවේදයන් පිළිබඳව යෝජනා ඉදිරිපත් කළා. එතුමාගේ කාර්ය භාරය දැන් අවසන්වෙලා තියෙන්නේ. දැන් ඒ ගැන ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගත යුතුයි. එතුමාගෙ වගකීම එතුමා ඉෂ්ට කළා.

ප්‍ර - දැන් මේ ඉදිරිපත් කොට තිබෙන මැතිවරණ ක්‍රමය පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ ස්‌ථාවරය කුමක්‌ද?

පි - ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සූත්‍රයට අනුව අපි වැඩ කරන්න සූදානම් නැහැ. රටේ ජනතාවත් එකට සූදානම් නැහැ. ඒ නිසා ඒගොල්ලො කියන ක්‍රමයෙන් සියලු පක්‍ෂවලට සාධාරණයක්‌ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අපට ඒකට එකඟ වෙන්න බැහැ.

ප්‍ර - කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න මහත්තය කියල තිබුණා කොට්‌ඨාස, අනුපාත හා ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුර ඇතුළත් නව මැතිවරණ ක්‍රමයක්‌ ඇති කළ යුතුය කියල වගන්තියක්‌ 19 වැනි සංශෝධනයට ඇතුළත් කරල සම්මත කරගන්නා බව මැතිවරණ පනත ඉන් පසුව ගේන බවත් ඔහු කියා තිබුණා.

පි - ඒ ගැන අපිට විවාදයක්‌ නැහැ. ඒ කියන්නේ 19 වැනි සංශෝධනයට ඕනනම් හැකියාව තියෙනවා සමානුපාතික සහ කොට්‌ඨාස ක්‍රමය මිශ්‍රවෙච්ච මනාප ක්‍රමය අහෝසි කරපු මැතිවරණ ක්‍රමයකට යනවා කියල ප්‍රතිපත්තිමය වශයෙන් සංශෝධනයක්‌ ඇතුළත් කිරීමට. හැබැයි සූත්තර දාන්න බැහැ.

ප්‍ර - දැන් මේ තත්ත්වය යටතේ අප්‍රේල් 23 දාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුළුවන්ද?

පි - අප්‍රේල් 23 න් පස්‌සෙ විසුරුවා හරින එක තියෙන්නේ ජනාධිපතිතුමා අතේ. දැනට ජනාධිපතිතුමා පසුගිය දවස්‌වල ප්‍රකාශ කරල තිබුණා දින 100 න් පස්‌සෙ පාර්ලිමේන්තුව විසුරුවා හරින බව. කොහොම වුණත් ආණ්‌ඩුව ඒක ජනතාවට දීපු පොරොන්දුවක්‌. දින 100 ඇතුළත කරනවායි කියලා ගොඩක්‌ දේවල් පොරොන්දු වුණා. ඒකෙ අන්තිම පොරොන්දුව තමයි අප්‍රේල් 23 න් පසු දිනෙක පාර්ලිමේන්තුව විසුරුවනවා කියන එක. ආණ්‌ඩුවේ ආරංචි මාර්ග කියන්නේ මැයි දිනය පහුවෙච්ච ගමන් වෙසක්‌ පහුවෙච්ච ගමන් විසුරුවන බව. කොහොම වුණත් අපි දකින්නේ 19 සංශෝධනය සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය වැදගත් එකක්‌ ලෙසයි. ඊට පස්‌සෙ පොරොන්දු වෙච්ච ආකාරයට විසුරුවා හරින එක තමයි හොඳම දේ ජනතාවගේ පැත්තෙන්.

ප්‍ර - අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ නැතිනම් ජනතා විමුක්‌ති පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද?

පි - ඇත්තටම අපි නෙවෙයි පොරොන්දු දුන්නේ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්‌ඩුවයි පොරොන්දු දුන්නේ. පොරොන්දු කඩකරපු ආණ්‌ඩුවක්‌ දවසින් දවස වේගයෙන් පිරිහීමට ලක්‌වෙනවා. මේ ජනතා විරෝධය මැද්දෙ තමයි ඔවුන්ට යන්න වෙන්නෙ. අපි කරන්නේ ඒ පොරොන්දු ඉටුකර ගැනීම සඳහා කරන මැදිහත්වීමක්‌. යම්කිසි ආණ්‌ඩුවක්‌ පොරොන්දු දුන්නා නම් පොරොන්දු ඉටුකිරීම ඔවුන්ගේ වගකීමක්‌. නැතිනම් නිකම් පොරොන්දු දීල ඒව කඩකරලා ඔහේ යන්න පුළුවන්. ඒවාට විරුද්ධව අපේ විරෝධය හා මැදිහත්වීම කරනවා. මේක විතරක්‌ නෙවෙයි දින 100 තුළත් කරනවා කියූ බොහෝ දේවල් කරල නැහැ. හොරු අල්ලනවා කිව්වා. ඒ පිළිබඳවත් ආණ්‌ඩුවට එරෙහි අපේ විරෝධය දිගින් දිගටම ගෙන යනවා.

සාකච්ඡා කළේ - දයා ලංකාපුර

No comments:

Post a Comment