Saturday, April 18, 2015


මහින්ද රාජපක්‍ෂ හෙට සිට මොනර මන්දිරයේ ?


මෙයට අවුරුදු 20 කට පමණ පෙර බොරැල්ලේ ඒ. එස්‌. පී. සමූහ ව්‍යාපාරයේ හිමිකරු වූ ඒ. එස්‌. පී. ලියනගේ කෝට්‌ටේ ජයවර්ධන පුරයේ පිහිටි නිසංසල භූමියක රුපියල් කෝටි ගණනක්‌ වැය කර විශාල මන්දිරයක්‌ ඉදි කළේය. සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෙµaරි බාවා සහ ඔහුගේ කණ්‌ඩායමට රුපියල් ලක්‍ෂ ගණනාවක්‌ ගෙවා අන්දවා ගත් සැලසුමකට අනුව ඒ. එස්‌. පී. ලියනගේ හෙවත් අනුර සොලමන් ප්‍රින්ස්‌ ලියනගේ මේ මන්දිරය තැනුවේ සිය මව උදෙසා ය. තව දිනකින් එනම් හෙට (අප්‍රේල් 20 වැනිදා) මේ මන්දිරය ඉතිහාසයට එකතු වන අතර එයට හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ රාජපක්‍ෂ මැතිනියත් ඔවුන්ගේ පුතුන් තිදෙනාත් එදින එහි පදිංචියට පැමිණීමට නියමිත වීමය. පීකොක්‌ මන්දිරය තරම් ජනමාධ්‍ය අතර උණුසුම් කතාබහට ලක්‌වූ වෙනත් ගෘහයක්‌ තවත් තිබුණි නම් ඒ කිලිනොච්චියේ කැලෑව මැද තනා තිබූ ප්‍රභාකරන්ගේ සුඛෝපභෝගී අධි ආරක්‍ෂිත මන්දිරය පමණි.

ඒ. එස්‌. පී. සමූහ ව්‍යාපාරයේ සභාපති ලියනගේ සිය මව වෙනුවෙන් මේ මන්දිරය ඉදිකළේ ඇයට කරන උපහාරයක්‌ වශයෙනි. "අපි සාමාන්‍ය පවුල්වලින් ආපු අය. අපව උස්‌ මහත් කරලා සමාජයේ ඉහළ තලවලට ගෙනෙන්න අම්මා හුඟක්‌ මහන්සි වුණා. ඒ නිසා මට උවමනා වුණා ඇගේ අවසාන කාලයේදී ඇය හැකි තරම් උසස්‌ පහසුකම් සහිතව මහා මන්දිරයක පදිංචි කරන්නට. ඊට පස්‌සේ කෝට්‌ටේ දියවන්නා ඔය කිට්‌ටුවෙන් මම ඉඩමක්‌ හෙව්වා. පර්චස්‌ 160 ක්‌ තිබෙන මේ ඉඩම මම මිලදී ගන්නා විටත් පලතුරු වත්තක්‌. දියවන්නාව ආශ්‍රයේ තිබුණ පරිසර පද්ධතියට අයත් කුරුලු වර්ග විශාල සංඛ්‍යාවක්‌ මේ වත්තේ හිටියා. ඒ අයට කන්න පළතුරු ඕනෑ තරම් මේ වත්තේ එදත් තිබුණා, අදත් තිබෙනවා." ඒ. එස්‌. පී. ලියනගේ මේ මන්දිරයේ අතීතය මතක්‌ කරන්නේ එලෙසය. මන්දිරය හැදීමෙන් පසු ලියනගේ එහි කුඩා සත්ව උද්‍යානයක්‌ ද ඇති කළේය. අලියෙක්‌, අශ්වයෙක්‌, සහ මොනරුන් රැසක්‌ එහි සිටියහ. වැඩියෙන්ම සිටියේ මොනරුන් නිසා, මන්දිරයට පිකොක්‌ හවුස්‌ යන නම ලැබුණේය.

"මේ මන්දිරය වර්ග අඩි 12,000 ක්‌ විශාලයි. එහි යාබද නාන කාමර සහිත දැවැන්ත නිදන කාමර හයක්‌ තිබෙනවා. සේවකයන්ගේ පදිංචිය සඳහා කාමර 5 ක්‌ සහිත තට්‌ටු දෙකක ගොඩනැගිල්ලක්‌ තිබෙනවා. මගේ මව අවුරුදු 83 ක්‌ ආයුවළ¹ මිය යනතුරු මේ මන්දිරයේ හිටියා. ඇය දෙවියන්ගේ තුරුලට ගියාට පස්‌සෙ මසකට රුපියල් ලක්‍ෂ 4 ක කුලියට මා මේ නිවස කෙනකුට දුන්නා. ඉන් පස්‌සේ ප්‍රභූවරුන් කිහිපදෙනෙකුම මේ මන්දිරයේ පදිංචිව සිටියා. ඒ අතර මම හිතුවා මේ මන්දිරය විකුණා දැමීමට. රුපියල් ලක්‍ෂ 6,000 කට හෙවත් මිලියන 600 කට මෙය මිලට ගන්නට කෙනෙක්‌ ඉදිරිපත් වුණා. ඒත් අතරමැදියකු නිසා මම ඒ විකිණීම නවත්වා දැමුවා. ඊට පස්‌සේ මම මේ මන්දිරය ගැන අන්තර්ජාලයේ දැන්වීමක්‌ දැමුවා. දිගටම ඉල්ලුම්කරුවන් එන්නට පටන් ගත්තා" ලියනගේ කියයි.

මේ අතර දිනෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මිරිහානේ පිහිටි නිවසක තාවකාලිකව නැවතී සිටින බව ලියනගේට ආරංචි විය. "ඒ නිවස අයිති දොස්‌තර එලියන්ත වයිට්‌ ට. ඔහු හිටපු ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් ඉන්දීය ක්‍රිකට්‌ ක්‍රීඩකයකුගේ ආබාධිත පාදයක්‌ පවා සුවපත් කළ කීර්තිමත් වෛද්‍යවරයෙක්‌. සාම්ප්‍රදායික වෙදකම් ක්‍රමවලින් බැහැරව තමාටම ආවේණික ක්‍රමයකට ප්‍රතිකාර කරන ඔහු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ කිට්‌ටු හිතවතෙක්‌. හැබැයි ඒ ඉඩම පර්චස්‌ 20 යි. ඒ නිවසේ සියලු පහසුකම් තිබුණත් යුද්ධය දිනූ ජන නායකයෙක්‌ පර්චස්‌ 20 කට කොටුවී සිටීම ගැන මා තුළ විශාල දුකක්‌ හට ගත්තා. කොළඹ ස්‌ථිර පදිංචියට නිවසක්‌ නැති නිසා තමන් සහ බිරිඳ මැදමුලනත් දරුවන් තිදෙනා තුන් පොළකත් සිටින බව එතුමා මට කීවා. මා ඒ වෙලාවෙම තීරණය කළා පීකොක්‌ මන්දිරය එතුමාට දෙන බවට....."

මන්දිරය භාර ගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයාට ඒ. එස්‌. පී. ලියනගේ ආරාධනා කළ විට එහි වාස්‌තු විද්‍යාත්මක අගය ගැන වාස්‌තු විද්‍යාඥයන් සහ ජ්‍යෙතිෂවේදීන් ලවා තක්‌සේරුවක්‌ ලබා ගැනීමේ උවමනාවක්‌ මතු විය. ඒ අනුව මන්දිරයේ යම් යම් වෙනස්‌කම් සිදු විය. මන්දිරය ඉදිරිපිට තිබූ පිහිනුම් තටාකය මුහුදු වැලි පුරවා ගොඩ කරන ලදී. නිවසේ ප්‍රධාන දොරටුව වෙනස්‌ කර අලුත් දොරක්‌ තනන ලදී. මේ ගැන වැඩිදුර විස්‌තර ඇසූ විට ඒ. එස්‌. පී. ලියනගේ කියන්නේ මෙසේය. "මම මේ මන්දිරය හිටපු ජනාධිපතිතුමාට දීලා ඉවරයි. මෙතැන් පටන් මෙහි සිදුවන දේවල් ගැන මට දැනුමක්‌ හෝ වගකීමක්‌ නැහැ. ස්‌විමිං පූල් එකට වැලි පිරවූ බව සහ දොරවල් වෙනස්‌ කළ බව මට ආරංචියි. ඒත් ඒකට හේතුව ගැන මම දන්නේ නැහැ..."

එහෙත් අපට ආරංචි වී තිබෙන පරිදි පීකොක්‌ මන්දිරයේ පිහිනුම් තටාකයට වැලි පුරවා ඇත්තේ දේශපාලන තීන්දු ගැනීමේදී දේශපාලනඥයාගේ නිවස ඉදිරිපිට විශාල ජල තටාකයක්‌ තිබීම අසුබ බව පේනකාරයන් කියන නිසාය. දොර වෙනස්‌ කර ඇත්තේ එය තිබූ දිසාව අසුබ යෑයි ජ්‍යෙdතිෂ මතයක්‌ හටගත් නිසාය.

කෙසේ වුවද බැසිල් රාජපක්‍ෂ අප්‍රේල් 21 වැනි අඟහරුවාදා දිවයිනට පැමිණෙන අතර පීකොක්‌ මන්දිරය රාජපක්‍ෂවරුන්ගේ උණුසුම් දේශපාලන භූමියක්‌ බවට පත් වීම නොවැළැක්‌විය හැකිය.

අශේන් රඹකොස්‌වැව

No comments:

Post a Comment