Monday, April 20, 2015



                 පුද්ගලික අවකාශය ඉබේ පහලවුවක් නොව පුද්ගලිකත්වය සාමූහිකත්වයට ඉහලින් තැබීම හා සම්බන්ධ ආකල්පයකි. "මම" ගොනු කර මහත් කිරීමේ ප්‍රතිඵලයකි. අපට අවශ්‍ය "මම" තුනී කර විහිදා දැමීමටය. අපිදු වැඩිකල් නොගොස් පුද්ගලික අවකාශය මොන්ටිසෝරි පංතියේ කියා දෙන තරමට පුද්ගලිකත්වය උතුම් කොට සලකන තැනකට (දැනටමත් එතැනදැයි මට සැකය) පැමිණෙනු ඇත. පුද්ගලිකත්වය උතුම් නොවී සමාජයක් දියුණුවිය හැකි බව කෙසේ හෝ අපි අවබෝධ කරගත යුතුවෙමු.
                 ඇමෙරිකාවේ ජීවත්වූ කාලය තුල අපි අවුරුද්ද සැමරුවේ නැත. මුලදී අවුරුදු චාරිත්‍ර කිරීමට යම් උත්සාහයක් ගත්තද පසුව එය අල්ලා දැමුවේ බොරු කල හැකි වුනද පෙනි පෙනී තමන්ට බොරු කර ගන්නේ මොකටදැයි සිතුනු බැවිනි. මොන එහෙකටද? කවදා හෝ ලංකාවට පදිංචියට යමි යැයි සිතා ගෙන සිටි බැවින් අවුරුදු නොකර සිටීම අපහසු නොවිනි. මෙවර අවුරුද්ද මට වැදගත්වූයේ මේ වටපිටාව තුලය.
                 පැහැදිලිවම ලංකාවේ අවුරුදු සංස්කෘතිය වෙනස්වී ඇත. මා දකින ආකාරයට එය පිරිහීමකි. එසේ වුවද නැති අවුරුද්දකට වඩා ඇති අවුරුද්ද හොඳය. ඇමෙරිකාවේ බොහෝ දෑ මෙන් අවුරුද්දද තමන්ට සහ තමන්ගේ පවුලට සීමාවුනු එකකි. එහි වැදගත් වන්නේ මමය "මම" සහ මගේ පවුලය. නමුත් අඩු පාඩු ඇතිවද තවමත් සිංහළුන්ගේ අවුරුද්ද අඩු තරමින් පවුලෙන් එපිට ගොස් ලඟම නෑදෑයන් තරමට හෝ විහිදුනු සංස්කෘතික අංගයකි. ඇමෙරිකාවේ සිංහලුන්ගේ අවුරුද්දට සාපේක්‍ෂව ලංකාවේ අවුරුද්දේ "මම" තරමක් දුරට තුනී වී විහිදී ඇත. නමුත් මීට දශක දෙකකට ඉහතදී තත්වය ඊට වෙනස් විය. එදා අවුරුද්ද යාළු මිත්‍රාදීන් ඇතුළු ගමේ අනිත් අයවලුන් තරමටම විහිදී තිබිනි. එදා නගරබද ප්‍රදේශවල පවා තිබුනු අවුරුදු උත්සව අද වෙනවිට දකින්නට නැත. එදාට සාපේක්‍ෂව අද "මම" මහත්වී හැකිලී ඇත.සංස්කෘතිකව අප අද ඉන්නා තැන පැහැදිලිය. අප යන අතද පැහැදිලිය.

No comments:

Post a Comment