Friday, April 17, 2015

සෝමවංශ ජවිපෙන් අස්‌වෙයි

* හිටියේ කලකිරීමෙන්
* අලුත් පක්‌ෂයක්‌ පිහුටුවනවා
* ජවිපෙ ප්‍රතිපත්ති අදට ගැලපෙන්නේ නෑ

දයා ලංකාපුර


ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්‌ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්‌වී ඇත. ඉල්ලා අස්‌වන විට ඒ මහතා ජනතා විමුක්‌ති පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. පක්‌ෂය තුළ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව සෝමවංශ අමරසිංහ මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

පක්‌ෂයෙන් ඉවත් වූ තමා අලුත් පක්‌ෂයක්‌ පිහිටුවන බවද ඔහු පැවසීය.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රතිපත්ති වර්තමාන සමාජයට ගැලපෙන්නේ නැති බවත් මේ වන විට ප්‍රධාන දේශපාලන පක්‌ෂ ජනතාවගෙන් ප්‍රතික්‌ෂේප වී තිබෙන මොහොතක එම හිඩැස පිරවීමට ජ.වි.පෙ. කටයුතු නොකිරීම නිසා තමා එම හිඩැස පිරවීම සඳහා අලුතෙන් පක්‌ෂයක්‌ පිහිටුවන බවද ඒ මහතා සඳහන් කළේය.

ජයග්‍රහණ ලබාගත යුතු අවස්‌ථාවල පක්‌ෂය ඒ සඳහා කටයුතු කර නෑ... ඒ නිසා මම ඉන්නේ කලකිරීමෙන්. මීට පෙරත් මම නායකත්වයෙන් ඉල්ලා අස්‌වෙන්න හැදුවා. ඒත් පක්‌ෂය ඊට ඉඩදුන්නේ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ රටේ සමාජවාදය ඇතිකරන පක්‌ෂයක්‌ ලෙස මම සලකනවා. ඒත් ඒ පක්‌ෂයෙ තවදුරටත් කටයුතු කරන්න බැහැ යෑයිද සෝමවංශ අමරසිංහ මහතා කිවේය.

සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙ තුළ සිටි හැත්තෑ එකේ කැරැල්ලට සම්බන්ධව මේ වන විට සිටි එකම පුද්ගලයා බවද සැලකේ.

මේ පිළිබඳව අප ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගෙන් විමසූවිට ඒ මහතා ප්‍රකාශ කළේ ඉල්ලා අස්‌වීමේ තීරණය සෝමවංශ අමරසිංහ මහතාගේ පෞද්ගලික තීරණයක්‌ බවයි.

අමරසිංහ මහතාගේ තනි තීරණයක්‌... ඒ තීරණයට අපි එකඟ වන්නේ නෑ. පක්‌ෂය සමග ඇතිවූ අර්බුදයක්‌ හෝ මත වාදයක්‌ මත නොවේ සෝමවංශ අමරසිංහ මහතා ඉල්ලා අස්‌වූයේ යෑයිද විජිත හේරත් මහතා වැඩිදුරටත් කීවේය.

No comments:

Post a Comment