Saturday, April 18, 2015


සෝමවංශ සහෝදරයා ආයෙත් පක්‍ෂයට එනවා
ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ප්‍ර - ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධානම නායකයකු වන සෝමවංශ අමරසිංහ මහතා පක්‍ෂයෙන් ඉවත් වීම ගැන පක්‍ෂයේ අදහස කුමක්‌ද?

පි - මේක සෝමවංශ සහෝදරයා විසින් ගෙන තිබෙන පෞද්ගලික තීරණයක්‌. මේ පිළිබඳව ඔහු පක්‍ෂයට කලින් කිසිදු දැනුම්දීමක්‌ කළේ නැහැ. ඒවගේම සෝමවංශ සහෝදරයා පක්‍ෂයෙන් ඉවත් වීමට ගත් තීරණයට පක්‍ෂයේ කිසිදු එකඟතාවයක්‌ නැහැ. ඔහුගේ සේවය පක්‍ෂයට තවදුරටත් අවශ්‍යයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සෝමවංශ සහෝදරයා සමග සාකච්ඡා කර නැවත ඔහු පක්‍ෂයට සම්බන්ධ කර ගැනීමට ඒ සඳහා අපි උපරිම උත්සාහ දරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා සෝමවංශ සහෝදරයා නැවත පක්‍ෂයට එක්‌වේවි කියලා.

ප්‍ර - ඒත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා අලුත් පක්‍ෂයක්‌ පිහිටුවීමට යන බව?

පි - සෝමවංශ සහෝදරයාගේ මුළු ජීවිතයම ජනතා විමුක්‌ති පෙරමුණ සමග බැඳී තිබෙනවා මුළු ජීවිත කාලයම පක්‍ෂය වෙනුවෙන් කැප කරපු ඔහුගේ ඇට මස්‌ මිදුළු පුරා ජනතා විමුක්‌ති පෙරමුණ කාවැදී තිබෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරියට ගෙන යැමට මුළු ජීවිත කාලයම කැප කළ කෙනෙක්‌ ඔහු. ඒ නිසා ඔහුට ජවිපෙන් තොර දේශපාලන පක්‍ෂයක්‌ ගැන හිතන්නවත් බැරි බවයි අපේ හැඟීම.

ප්‍ර - සෝමවංශ අමරසිංහ මහතාගේ මෙම තීරණය කිසියම් බලපෑමක්‌ අනුව සිදුවුණා යෑයි සිතන්න බැරිද?

පි - අපි හිතන්නේ නැහැ. ඔහුට එවැනි කිසිම බලපෑමක්‌ තිබුණෙත් නැහැ. අනික මේ සිද්ධියෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ බිඳීයාමක්‌ හෝ දෙදරීමක්‌ සිදුවන්නේත් නැහැ. මේක ඔහුගේ පෞද්ගලික තීරණයක්‌.

ප්‍ර - සෝමවංශ අමරසිංහ මහතාගේ ඉල්ලා අස්‌වීම ගැන ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලයේ තීරණය කුමක්‌ද?

පි - දේශපාලන මණ්‌ඩලය තීරණය කළා සෝමවංශ සහෝදරයා හමුවී මේ ගැන ඔහු සමග සාකච්ඡා කොට ඔහු යළිත් පක්‍ෂය සමග සම්බන්ධ කර ගැනීමට. අපි ඊයේ (16 දා) ත් සෝමවංශ සහෝදරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් වුණත් එතැන මාධ්‍යවේදීන් සිටි නිසා එය කළ නොහැකි වුණා. අපි කෙසේ හෝ ඉක්‌මනින්ම ඒ සහෝදරයා හමුවෙනවා.

ප්‍ර - මේ ඉල්ලා අස්‌වීම ගැන ජ.වි.පෙ. සාමාජිකයන් මොකද කියන්නේ?

පි - අපි පක්‍ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් දැනුම්වත් කළා ඔවුන්ට මේ ඇතිවූ තත්ත්වය ගැන විස්‌තර කර දුන්නා. සෝමවංශ සහෝදරයාගේ ඉවත්වීම පිළිබඳව පක්‍ෂයට යම් කම්පනයක්‌ තිබෙනවා ඔහු යළිත් පක්‍ෂයට එක්‌කර ගැනීමට කටයුතු කරන ලෙසයි අපේ සාමාජිකයනුත් ඉල්ලා සිටින්නේ.

No comments:

Post a Comment