Friday, April 17, 2015


ශ්‍රීලනිපය දැන් කාගේ හරි අතකොළුවක් වෙලා - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන හෝ නොදැන කාගේ හෝ අතකොළුවක් වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රීලනිපය ඇත්තේ ඩාර්ලි පාරේ අංක 301 දරන ගොඩනැගිල්‍ලේ පක්ෂ කාර්යාලයේ නොව අපේ හදවත් තුළ බවද කී මහින්ද රාජපක්ෂ මහතා හදවතේ ඇති ශ්‍රීලංකා නිදහස් පක්ෂය උදුරා ගන්න ඉඩ තබන්නේ නැතැයිද කීවේය.
දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්, එම පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරු 327 දෙනෙකු නාරාහේන්පිට අභයාරාමයේදී පසුගිය 9 වැනිදා හමු වූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීය.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෆර් එක ලෙසයි අපි ඔබව සැලකුවේ. ඉතිහාසයේ කවදාවත් නැති විදියට අපි ප්‍රාදේශීය සභාවලට මුදල් දුන්නා සංවර්ධන කටයුතු සඳහා. නමුත් මේ සංවර්ධන වැඩකටයුතු සම්බන්ධව එජාපය ගොබෙල්ස් න්‍යාය භාවිතා කරමින් බොරු එන්නත් කළා. ඉතාම සංවිධානාත්මකව අපට පහර ගැසුවා. තරුණයන් අතර ෆේස්බුක් මගින් අලුත් වෙනසක් ගැන කතා කළා. රුපියල් 5000 ක් දෙනකොට රුපියල් 10,000 ක් දෙනවා කිව්වාම ඇතැම් රාජ්‍ය සේවකයන් අනිත් පැත්තට ගියා. වත්මන් රජය දුන්නු ‍පොරොන්දු ඉටු නොකරන බව පේන්න තියෙනවා.

දින 100 තුළ පළිගැනීම් සිදුවෙනවා. අදත් එය වෙනවා. මීට වසර 10කට පෙර සිදු වූ සිද්ධි, දේශපාලනයට එරෙහි යටගිය පැමිණිලි වහාම ක්‍රියාත්මක කොට නීතිය ඉදිරියට ගේන්න හදනවා. මේ ලෙස දේශපාලනික වශයෙන් අපේ ක්‍රියාකාරීන් අඩපණ කරන්නට, ඔවුන්ගේ හොඳ නාමය නැති කරන්නට ක්‍රියා කරමින් ඉන්නවා. ආණ්ඩුවක් තියෙන්නේ ජනාධිපතිවරයා යටතේයි. සියලු ඇමැතිවරු කරන වැඩ සම්බන්ධව උත්තර දෙන්න එදා සිදුවුණේ අවසාන වශයෙන් මට. ඒ කාර්යය වෙන කෙනෙකුට, ජවිපෙ අනුර කුමාර දිසානායකට භාරදෙන්න පුලුවන්කමක් නෑ. මම එහෙම භාර දුන්නේ නෑ. එනිසා සියලු චෝදනා අපට භාරගන්න සිදුවුණා. ළඟදී ඇමති ධුර ගත්තු අය එදා නිල්පාට කොඩිය යටින් ගොස් අද කොළපාට කොඩිය යටින් යනකොට මට දැනුනේ කනගාටුවක්. මේ මොකක්ද වෙන්න යන්නේ කියා දුකක් ඇතිවුණා. අපේ පක්ෂය නොදැනුවත්වම අපි කාගෙදෝ අතකොළුවක් වී තිබෙනවා.

ඔබ මට කිව්වා ශ්‍රීලනිපය දාලා යන්න එපා කියලා. මම කවදාවත් පක්ෂය ඇරලා යන්නේ නෑ. මම කවදාවත් ගිහිල්ලත් නෑ. දුව, පුතා, බෑණා, ‍ලේකම්ලා යද්දී අපි පක්ෂය අතහැරලා ගියේ නෑ. අපි පක්ෂයට හොඳ වෙලාවෙත්, නරක වෙලාවෙත් හිටියා. කවුරුවත් එළියට එන්නේ නැති වෙලාවක ශ්‍රීලනිපය වෙනුවෙන් මට සිදුවුණා පාද යාත්‍රා ගොස් පක්ෂයට ජන බලය ගොඩනගන්න. පාද යාත්‍රා ගොස් පැවැති ආණ්ඩුව පෙරලන්න මූලික වැඩපිළිවෙළ ඇති කළේ අපිය. එදත් අපි සමග වමේ පක්ෂ හිටියා. මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක් වගේම මං විශ්වාස කරන දෙයක් තමයි අනෙකුත් ප්‍රගතිශීලී කණ්ඩායම්වලට ජනතාවාදී, වාමවාදී කොටස්වලට දේශපාලනය කරන්නට එකතු වෙන්න තිබෙන තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව. ශ්‍රීලනිපය එජාපය සමග එකතු වුණාම තිබෙන ගැටලුව තමයි අපට අද විසඳාගන්න තිබෙන්නේ. අපි විශ්වාස කරනවා ශ්‍රීලනිපය තියෙන්නේ ඩාර්ලි පාරේ තියෙන 301 ගොඩනැගිල්‍ලේ පක්ෂ කාර්යාලය නොවෙයි කියලා. ශ්‍රීලනිපය තියෙන්නේ අපේ හදවත් තුළයි. කාටවත් එය අපෙන් උදුරාගන්න බෑ. කාටවත් එය උදුරාගන්න අයිතියකුත් නෑ. උදුරාගන්න හැදුවොත් අපි උදුරාගන්න දෙන්නේත් නෑ.

ජනාධිපතිවරයා ශ්‍රීලනිපය භාරගෙන තිබෙන අවස්ථාවක මැයි දිනය හොඳින් කරන්න කියා මම ඉල්ලුවා. හයිඩ් පාර්ක් පිටිය තියෙන්නේ 2500 ක් 3000 ක් පිරෙන තැනක්. සෙනග ගේන්න බැරි වූ විරුද්ධ පක්ෂයේ සිටින කා‍ලේ 1978 දී අපි තෝරාගන්නේ මේ පිට්ටනිය. මොකද දාහක් දෙදාහක් දැම්මම මේ පිටිය පිරෙන නිසා. එනිසා මෙතන මෙවර මැයි රැළිය නොපවත්වා දැවැන්ත තැනක් වෙන් කර ගෙන වමේ පක්ෂත් සියලු වෘත්තීය සමිති එකතු කරගෙන කරමු කියා ශ්‍රීලනිප අනුශාසක ලෙස මැයි දින සංවිධායකයන්ට මම කිව්වා.

දින සියයට කරන දේ ඔබ දන්නවා. ගෙවල්වලට පනිනවා. වංචා දූෂණ සොයමින් මන්ත්‍රීවරුන්ට අපහාස නගනවා. මේ නිසා මේ දේශපාලන පළිගැනීම් මේ ආකාරයට වෙන්න දෙන්න එපා කියා ශ්‍රීලනිපයේ ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් ගත් අයගෙන් ඉල්ලනවා. මේ ඇමැතිකම් ගන්නවා නම් ශ්‍රීලනිපය රැක ගැනීමේ වගකීමත් ඔවුන් භාරගත යුතුයි.

අද සංවර්ධනය නෑ. මහ බැංකුවේ වූ දූෂණය බිලියන ගණනක්. මේ දූෂණවලට හොඳම ආවරණය ලෙස අපව ඉදිරියට දානවා. පසුගිය ආණ්ඩුව යටතේ අපි ගත් සෑම තීන්දුවක්ම වැරදි නම් එයට කැබිනට් මණ්ඩලයත් අනිවාර්යයෙන්ම වගකියන්න ඕන. නොවැම්බර් 21 වනදා තෙක් ඉඳ අනිත් පැත්තට ගිහින් ආණ්ඩුව දූෂිතයි කියලා කියන්න කාටවත් අයිතියක් නෑ. අප තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්ත පසුයි. මේ අය කැබිනට් එකේ හිටියා කියා මෙයාලට අමතකයි. දැන් කතා කරන්නේ මොකුත් දන්නෙ නෑ වගේ. කැබිනට් එකේ හිටියා නම් කැබිනට් එකේ හැම තීරණයකටම මෙයාලා වගකියන්න ඕන. එනිසා අද තිබෙන ආණ්ඩුවේත් හැම ඇමැතිවරයෙක්ම වගකිවයුතුයි ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට. මිනිහෙක් රස්සාවෙන් ඉවත් කරනවා නම්, සංවර්ධනය නතර කරනවා නම් මේ හැම එකකටම කැබිනට් ඇමැතිවරු වගකිව යුතුයි. වගකීමෙන් මිදෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ.

ඔබ මගෙන් ඇහුවා දේශපාලනයට පැමිණීම ගැන. මම කියන්නේ නියමිත වේලාවට රාජකාරියට වාර්තා කරන බවයි.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා
දෙවියන් වහන්සේ නැති තැන පෙරේතයෝ කරනම් ගහනවා කියනවා. එදා ජනාධිපති මහින්ද රාජපක්ෂට වඩා පැරදුණු ජනාධිපතිට මේ අය බයයි. ගමේ ජනතාව ඔබ සමග ඉන්නවා. ඒ ජනතාව වෙනුවෙන් ඔබතුමා දේශපාලනයට එන්න.

දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරළ මහතා
මේ නවවැනිදාට ඔබතුමාගේ රැකවරණයෙන් මිදිලා මාස 3 යි. මංජුල පීරිස් ජෝතිෂ්‍යවේදියා කියන පරිදි ඔබතුමා 10 වැනිදා නැගිටින්නේ අලුත් ශක්තියකින්. මහින්ද රාජපක්ෂ කියන නායකයාට අපි කවදත් ආදරෙයි. සටන්කාමී මහින්ද රාජපක්ෂටත් ජනාධිපති මහින්ද රාජපක්ෂටත් ආදරෙයි. ඊටත් වඩා අද ඉන්න මහින්ද රාජපක්ෂට අපි ආදරෙයි. ඔබතුමා අපිට වැඩපිළිවෙලක් දෙන්න. අපි හැටන් පාරෙන් සිරිපාදෙන් යන්න කැමතියි. නමුත් හැටන් පාර වැහුවොත් අපි රත්නපුර පාරෙන් සිරිපාදේ යන්න කැමතියි.

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්
ඔබතුමාගේ යාන්ත්‍රණය සියලු ආගමික මධ්‍යස්ථානවලින් අරඹන්න

රත්ගම ප්‍රාදේශීය සභා වැඩ බලන සභාපති
පසුගිය ජනාධිපතිවරණය අපට ජයගන්න තිබුණා. නමුත් බොහෝ දෙනෙක් ඒක ගණන් ගත්තේ නෑ. රට වැටෙනා මේ අවස්ථාවේදී ඔබතුමා නායකත්වයට එන්න ඕන. එයට අපි කර ගහන්න සූදානම්. නමුත් එදා ඔබතුමා පැරදවීමට කටයුතු කළ අය ළං කර ගන්න එපා.

දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි
අද යහපාලනයේ ලක්ෂණ කිහිපයක් දකින්න පුළුවන්. ජනාධිපති බලතල පාවිච්චි කොට සුළුතරයෙන් අගමැතිවරයෙක් පත්කළා. ශ්‍රීලනිපයේ ඇමැති ධුර ගන්න කොට ශ්‍රීලනිපයෙන් විපක්ෂ නායක කමත් කරනවා. මේක ලෝකේ කොහෙවත් නැති තත්ත්වයක්. ඉතිහාසයේ නරකම තැනට අපි ඇවිත් තියෙනවා.

මම සම සමාජ සාමාජිකයෙක් වුණත් ඇයි අපි ඔබතුමා ඉල්ලන්නේ. කිසියම් හේතුවකින් ශ්‍රීලනිපය බෙදුනොත් අපට එජාපයට යන්න බෑ. පැරදුණු කොයි අගමැති, ජනාධිපති පස්සෙද මෙහෙම රොද බැඳගෙන ජනතාව ගියේ. ලෝකෙ කොහෙවත් නෑ. මම කිසි දවසක ජාතිවාදය සමග කටයුතු කරන්නේ නෑ. ඔබතුමා බැබළෙන්නේ සියලු දෙනා වෙනුවෙන් ඔබ සිටින නිසයි. යම් යම් සේනාවන් යොදවමින් ඇතැමුන් කුමන්ත්‍රණය කළා.

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක්
හංසයා දිනවන්න ‍නෙවෙයි එදා ආණ්ඩුවේ බලය හීන කරන්න එදා කතිරය ගැහුවා. නමුත් ඔවුන් අද දුක්වෙනවා. සන්ධානයේ මන්ත්‍රීවරයෙකුට ඇමැතිකමක් ලැබුණාම එදා සතුටු වුණත් අද ඇමැතිකමක් ලැබුණාම හූ කියන තත්ත්වයක් ඇතිවෙලා. මහින්ද රාජපක්ෂ නැති ඇමැතිකම් ගැන ජනතාවගේ හැඟීම එයයි.
මංජුල ප්‍රදීප් වීරසූරිය
http://www.rivira.lk/onlinenews/images/2015/04/13/Mahinda%20rajapaksa%201.jpg
http://www.rivira.lk/onlinenews/images/2015/04/13/Mahinda%20rajapaksa%202.jpgහිටපු ජනපති දකුණු පළාත් සභා මන්ත්‍රීවරු හමුවේදී කතා කළ අයුරු හා රැස්ව සිටි පිරිසෙන් කොටසක්



No comments:

Post a Comment