Monday, April 20, 2015



සෝමවංශ හා ජ වි පෙ වෙස්මුහුණ
                  සෝමවංශ ජ වි පෙරමුණෙන් ඉවත්වීම මෙරට දේශපාලනයට බලපාන කරුණක් නොවන නමුත් ඒ හේතුවෙන් ජ වි පෙ තවදුරටත් හෙළිදරවු වීම අප නොසලකා හැරිය යුතු නො වේ. ඒ සම්බන්ධයෙන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමීන් කියන්නේ ජ වි පෙරමුණේ අද ඇත්තේ දකුණ හා දකුන අතර අරගලයක් බව ය. ඔවුන්ගේ තඹ දොයිතුවකටවත් වැඩක් නැති මාක්ස්වාදය අනුව ජ වි පෙරමුණේ ජාතිවාදී දකුණ හා ලිබරල්වාදී දකුණ අතර අරගලයක් ඇති වී තිබේ. ඔවුන්ට අමතක වන කරුණ නම් වමක් යනුවෙන් අද ඉතිරි වී ඇත්තේ ඇමරිකාවේ ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්‍ෂය හා එංගලන්තයේ එඩ් මිලිබෑන්ඩ්ගේ කම්කරු පක්‍ෂයත් බටහිර රටවල එවැනි රෝස සමාජවාදීනුත් පමණක් බව ය. එහෙත් ඒ පක්‍ෂ සියල්ල ධනවාදී මිස සමාජවාදී පක්‍ෂ නො වේ. 
                 කසිකබල් මාක්ස්වාදය යල්පැන ඇතැයි මම නො කියමි. එය කිසි දිනෙක වලංගු නොවූ පට්ටපල් බොරුවක් පමණකි. මා මෙහි දී පට්ටපල් බොරු යන්න යොදා ගන්නේ බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද සම්බන්ධයෙන් ඒ වචන යොදා ගන්නා ආකාරයට ය. කාල් මාක්ස් සමාජ විකාශය තේරුම් කිරීම සඳහා වියුක්ත පංති සංකල්පයක් සහිත ව පංති අරගලය යන වියුක්ත ප්‍රවාදය හෙවත් කතන්දරය නිර්මාණය කළේ ය. එය කිසි දිනෙක වලංගු නොවූ නමුත් සාර් පාලනය පහ කිරීම සඳහා ලෙනින් මාක්ස්වාදී සංකල්ප මතුපිටින් යොදා ගත්තේ ය. එහෙත් රුසියාවේ මාක්ස්වාදයක් ජයග්‍රහණය නො කළේ ය. එය එසේ වී නම් රුසියාවේ බිහි වූ මාක්ස්වාදියා වූ ලියොන් ට්‍රොට්ස්කි බලයෙන් පහ නොකෙරෙනු ඇත. රුසියාවේ ඊනියා කම්කරු පංතියක් බලයට පත් නො වී ය. ලෙනින් මාක්ස්ගේ අර්ථයෙන් මාක්ස්වාදියකු වී යැයි කිව නො හැකි ය.
                  ජ වි පෙ මුල සිට ම ඔවුන්ට ම ආවේණික වූ මාක්ස්වාදයක් මත පදනම් විය. එය කිසිසේත් ම මාක්ස් ට්‍රොට්ස්කිවාදය නොවේ. එය ලෙනින් ස්ටැලින්වාදයේ (මාක්ස්වාදයේ දරිද්‍රතාව කියවන්න) මාඕ ප්‍රභේදයෙන් ෂන්මුගදාසන් උකහාගත් ප්‍රවාදයක් විය. විජේවීර එය අවස්ථාවාදී ව ජතිකත්වයක් සමග මිශ්‍ර කළේ ය. එහෙත් එහි බර තිබුණේ ජ වි පෙරමුණට ආවේණික වූ මාක්ස්වාදයට ය. ජ වි පෙ තම මාක්ස්වාදය හා ව්‍යාජ ජාතිකත්වයක් අතර දෝලනය වූයේ වැඩි බර මාක්ස්වාදයට එක්වන අයුරෙන් ය.
                  සෝමවංශ අමරසිංහ ලංකාවේ හෝ පිටරට හෝ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා ඇතැයි නො සිතමි. එසේ ඉගෙනුමක් ලබා නැත්නම් එය ඔහුගේ යහපතට හේතු විය. විජේවීරගේ සිට ජ වි පෙ නායකයෝ බොහෝ විට විශ්වවිද්‍යාල උගත්තු වූහ. අද ද ජ වි පෙරමුණට මෙන් ම පෙරටුගාමීන්ට ද නායකත්වය සැපයෙන්නේ විශ්වවිද්‍යාල මගිනි. විශ්වවිද්‍යාල උගත්තු බොහෝ විට සිංහල බෞද්ධ විරෝධී බටහිර අධ්‍යාපනයකින් ඔළුව කුරුවල් කර ගත්තෝ වෙති. ඔවුන් ගමෙන් පැමිණියත් ගැමි උගත්තු නො වෙති. ඔවුන්ට නගරයෙන් පැමිණි අයට ද වඩා හීනමානයක් ඇත. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට මේ කොයි කවුරුත් කුපිත වෙති. ඔවුන්ට බටහිර දැනුම අම්ම අප්පගෙන් ලැබුණු බූදලයක් මෙනි.
                 සෝමවංශ අමරසිංහ ජ වි පෙරමුණෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් මත යැයි පෙන්වීමට ජ වි පෙ නායකයෝ අසාර්ථක උත්සාහයක යෙදෙති. මෙහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකි. සෝමවංශ හෙළිදරවු කරන්නේ ජ වි පෙරමුණේ ව්‍යාජ ජාතිකත්වය ය. අනුර කුමාර දිසානායක යටතේ ජ වි පෙ අද එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය බවට පත් වී ඇත. (එහි නායකයන් තරුණ නොවීම වෙන ම ප්‍රශ්නයකි.) ඔවුන්ගේ ජාතිකත්වය හා රවි කරුණානායකගේ හා රනිල්ගේ ජාතිකත්වය අතර විශාල වෙනසක් නැත.
                  පොල්තෙල් පහන පත්තු කරන විට පන්සිල් ගන්නා විට ජ වි පෙ නායකයන් කැමරාවට පසුපස හරවා ගන්නේ යැයි සෝමවංශ කියන්නේ ජ වි පෙරමුණේ ව්‍යාජ ජාතිකත්වය හෙළිදරවු කරමිනි. ජ වි පෙ නායකයන් සෝමවංශට බිය වන්නේ තම හිනමානය ඔහු අතින් හෙළිදරවු වන බැවිනි.
නලින් ද සිල්වා
2015 අප්‍රේල් 18

සෝමවංශ ඉවත්වෙයි
             තමා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව සෝමවංශ අමරසිංහ කියා ඇත. එහෙත් ජ වි පෙ ඒ ඉල්ලා අස්වීම භාරගෙන ඇති බවක් නො පෙනෙයි. විජිත හේරත්ට අනුව ජ වි පෙ පක්‍ෂයෙන් ඉල්ලා අස්නොවන ලෙසට සෝමවංශගෙන් ඉල්ලා ඇත. සෝමවංශ ඒ ඉල්ලීම පිළිගෙන ඇති බවක් ද වාර්තා නො වෙයි. සෝමවංශ කියා ඇත්තේ තමා ජ වි පෙරමුණෙන් අස් වූ අය ද වෙනත් අය ද එක්කරගෙන අලුත් පක්‍ෂයක් සංවිධානය කරන බව ය.
                   සෝමවංශ ඉල්ලා අස්වීමෙන් ජ වි පෙරමුණටවත් සෝමවංශටවත් වෙනසක් සිදු නො වෙයි. දේශපාලන වශයෙන් පක්‍ෂය ද පුද්ගලයා ද මියගොස් තරමක කලක් ගත වෙයි. සෝමවංශගේ ඉල්ලා අස්වීම අවසානයේ දී පිළිගනු ලැබී ක්‍රියාත්මක වුවත් නැතත් එය රටේ දේශපාලනයට අබමල් රේණුවක තරමින් බල නො පායි. එසේ නම් අප ඒ ගැන ලියන්නේ ඇයි?
             ඒ වෙන කිසිවකට නොව ජ වි පෙරමුණේ බංකොළොත්බව තවදුරත් කියා පෑමට ය.  ජ වි පෙරමුණට වයස අවුරුදු පනහකට වැඩි ය. සෝමවංශ එහි ආරම්භක සාමාජිකයකු යැයි කියැවෙයි. ඒ කුමක් වුවත් ජ වි පෙරමුණට අවුරුදු පනහක් දේශපාලන වශයෙන් පැවතීමට නොහැකි විය. අද එය ඇවිදින මළ මිනියක් පමණකි. එහි අවතාරය පවත්වාගෙන යනු ලබන්නේ ජනමාධ්‍ය විසිනි. එවැනි පක්‍ෂ බොහොමයක් මෙරට ඇත. නව සමසමාජ පක්‍ෂය, සිරිතුංගගේ දේශපාලන පක්‍ෂය ආදිය පමණක් නොව අද වන විට ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය, පෙරටුගාමී පක්‍ෂය ආදී පක්‍ෂ ද ජනමාධ්‍යට පින් සිදුවන්නට පැවැත්වෙයි.
                  සෝමවංශ ඉල්ලා අස්වෙමින් කියා ඇත්තේ රට සමාජවාදය කරා ගෙන යෑමට ජ වි පෙරමුණට තිබූ අවස්ථා මගහැරී ගොස් ඇති බව ය. ජ වි පෙරමුණ ඊනියා කේඩර් පක්‍ෂයකින් ජනතාව මත පදනම් වූ පක්‍ෂයක් බවට පත්විය යුතුව තිබී යැයි සෝමවංශ කියයි. එහෙත් ජ වි පෙරමුණට එවැන්නක් කිරීමට නොහැකි බව සෝමවංශට නො තේරෙයි. ජ වි පෙරමුණ ආරම්භයේ සිට ම සකස් වී ඇත්තේ කිහිප දෙනකු එකතු වී ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට  කැපවීමෙන් වැඩ කළ වහල් සාමාජිකයන්ගේ පක්‍ෂයක් ලෙස ය. ඒ අච්චුවෙන් පිට දේශපාලනයක් ජ වි පෙරමුණට නැත. 
                  ජ වි පෙරමුණ මූලික වශයෙන් චීන කොමියුනිස්ට් පක්‍ෂය අනුකරණය කළේ ය. විජේවීර කැඩී වෙන් වූයේ ශන්මුගදාසන්ගේ  චීන හිතවාදී කොමියුනිස්ට් පක්‍ෂයෙනි. දෙමළ ජනවර්ගයට අයත් වූ ශන්මුගදාසන්ට මෙරට බලයට පැමිණීමට නොහැකි බව විජේවීර තේරුම් ගත්තේ ය. ස්ටැලින්වාදී පක්‍ෂ ආකෘතියේ චීන කොමියුනිස්ට් පක්‍ෂය ට්‍රොට්ස්කිවාදී පක්‍ෂවලට වඩා ජාතිකවාදී විය. නැතහොත් ට්‍රොට්ස්කිවාදී පක්‍ෂ තරමට ඊනියා ජා ත්‍යන්තරවාදී නො වී ය.
                   මේ ඓතිහාසික තත්ත්වයන් යටතේ  ජ වි පෙරමුණ මුල සිට ම මාක්ස්වාදය හා ජතිවාදය අතර දෝලනය විය. එහෙත් එහි වැඩි බර තිබුණේ මාක්ස්වාදය දෙසට ය. එහි සාමාජිකයන්ගෙන් අති මහත් බහුතරය රැකියා විරහිත ගැමි තරුණයන්ගෙන් සමන්විත විය. ඒ හේතුවෙන් ම විජේවීර ඊනියා කම්කරු පංතියට නිර්ධන යන තේරුමෙන් රැකියා විරහිත ගැමි තරුණයන් ද ඇතුළත් වන ආකාරයෙන් නිර්වචනයක් සැපයී ය. එය සම්මත මාක්ස්වාදීන්ගේ ගැරහුමට ලක්වුව ද ජ වි පෙරමුණට තම පක්‍ෂ සාමාජිකත්වය යුක්තියුක්ත කර ගැනීමේ අවස්ථාව ඉන් ලැබිණි.  
                 ජ වි පෙරමුණ  දෙවතාවක් ම ආයුධ අතට ගත්තේ කේඩර පක්‍ෂයක් ලෙස මිස ජනතා පක්‍ෂයක් ලෙස නො වේ. ඒ අවස්ථා දෙකෙහි ම සෝමවංශ පක්‍ෂයේ සාමාජිකයෙක් විය. මා දන්නා පරිදි ඔහු ඒ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වූ බවක් කිසි තැනක සඳහන් නො වේ. තම නිර්වචනවලට අනුව මාක්ස්වාදී වූ ජ වි පෙරමුණ අවස්ථාවාදීව ජාතිකත්වය දෙසට ද දෝලනය විය. ඒ අවස්ථාවාදී ජාතිකත්වය ජ වි පෙරමුණෙන් බිඳී ගිය ජාතික හෙළ උරුමයට ද උරුම වෙයි. අද වන විට ජ වි පෙරමුණ අනුර දිසානායකගේ නායකත්වයෙන් යළි නොඑනා ගමනක් ගොස් ඇත. ඒ ගමන යෑම සඳහා සෝමවංශ නායකත්වයෙන් ඉවත් කෙරිණි. අද ජ වි පෙරමුණට ඊනියා සමාජවාදයක් හෝ ජාතිකත්වයක් හෝ නැත. අද එය එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය  වෙයි. සෝමවංශගේ අස්වීමෙන් එ ජා පක්‍ෂයට වන හානිය කුමක් ද?
නලින් ද සිල්වා

No comments:

Post a Comment