Friday, April 17, 2015

රට දැය සමය යළි සුරකිමු

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ කුඩා තිතක්‌ ලෙස සටහන්ව ඇත. ඉන්දියන් සාගරයේ ඉතා කුඩා දිවයිනක්‌ වූවද ශ්‍රී ලංකාව ලෝකයට මහා වැදගත් නමක්‌ ඇති රටකි. ඒ නිසාම විදේශිකයෝ ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ආසියාවේ ධාන්‍යාගාරය, ධර්මද්වීපය, පාරාදීසය ආදී නම්වලින් අතීතයේ සිංහලදීපය වූ ශ්‍රී ලංකාව හඳුන්වා ඇත. එසේ හැඳින්වීමට හේතු වූ මූලික සාධකය කුමක්‌දැයි සිතා ගැනීම බොහෝ දෙනාට අපහසු බව සත්‍යයකි. එහෙත් ඉතිහාසය හා ඉතිහාසය පුරා රටේ පැවැත්ම නුවණින් විමසා බැලුවොත් ඊට හේතු සාධක සොයාගත හැකිය. ශ්‍රී ලංකාව ලොවට වැදගත් වීමට නම් වෙනත් රටවලට වඩා අනන්‍ය වූ ලක්‍ෂණයක්‌ එහි තිබිය යුතුය. එම ලක්‍ෂණය නම් තමා උපන් රට දැය සමය සුරැකීමේ උතුම් පිළිවෙත ලෙස මෙහිදී හඳුන්වමු.

මෙවැනි සංකල්පයක්‌ නිර්මාණය වීමට හේතු වූයේ බුදුසමයයි. බුදුසමයෙහි අවධාරණය කරනුයේ ආත්මාර්ථය සලසා ගෙන පරාර්ථයට යොමු වීමයි. එහි ආත්මාර්ථය යනු ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගනු ලබන දියුණුවයි. එම ආධ්‍යාත්මික දියුණුව එනම් සිත දියුණු කර ගැනීම සලසාගත් පුද්ගලයා නිතැතින්ම පරාර්ථයට යොමු වෙයි. බුදු දහම ජාතියට හඳුන්වා දුන් මිහිඳු මාහිමියන් එදා දෙවන පෑතිස්‌ රජුට වදාළේ "මහරජ ඔබ රටේ භාරකරුමිස අයිතිකාරයා නොවේ. " යන්නයි. එදා සිට සිංහල රජවරු තම භාරකාරත්වය යටතෙහි පවතින කාලය තුළ රට ආරක්‍ෂා කිරීම, සංවර්ධනය කිරීම, වැසියන්ට සුවසේ ජීවත් වීමට මග පෑදීම තම කාර්යභාරය ලෙස සලකා ක්‍රියා කළහ. එසේ පැවතුණු රාජ්‍ය පරිපාලනයට දුටුගැමුණු මහ රජතුමා ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළේය. එතුමා සතුරන්ට එරෙහිව සටනට යද්දී කළ ප්‍රකාශය රාජ්‍ය තන්ත්‍රය හා රට ආරක්‍ෂා කළ ව්‍යවස්‌ථාව විය. මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය (බොහෝ කල් පැවැතීම) පිණිසයි. යනු එම ව්‍යවස්‌ථාවයි. එම ව්‍යවස්‌ථාව එදා සිට සිංහල රජවරුන් හැම කෙනෙක්‌ම සිය දිවි දෙවැනි කොට ආරක්‍ෂා කළහ. අනුගමනය කළහ. එහි ප්‍රබලකම කොපමණද කියතොත් සුද්දන් සිංහල රාජ්‍යය අත් පත් කර ගැනීමට යොදාගත් ගිවිසුමෙහි පස්‌වැනි වගන්තිය ලෙස එය ඇතුළත් කළහ. වර්තමාන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව 9 වැනි වගන්තිය යටතෙහි "බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය." යනුවෙන් සඳහන් වනුයේද එදා දුටු ගැමුණු මහරජතුමාගේ ව්‍යවස්‌ථාව මැයි.

මෙසේ බුද්ධශාසනය පදනම් කර ගෙන බුදු දහමට අනුගතව රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවීමේදී රජු ඇතුළු සියලු රට වැසියන් මෙහෙයවනු ලැබූ වැඩපිළිවෙළ හෙවත් පිළිවෙත වූයේ රට දැය සමය සුරැකීම" යි රජු ඇතුළුව සෑම පුරවැසියෙක්‌ම එම වගකීමට බැඳී සිටියහ. එනිසා ඔවුහු සියලු දෙනාම රට දැය සමය සුරැකීම දිවි දෙවැනි කොට සැලකූහ. මෙවන් පිළිවෙතක්‌, මුළු රටම මෙහෙයවූ, අනුගමනය කළ මෙවැනි පිළිවෙතක්‌ ලොව අන් කිසිදු රටක ක්‍රියාත්මක වී නොමැත. බුදු සසුන සුරැකීමට රජු යන විට භික්‌ෂූන් වහන්සේලාටද එම සටන් පෙරමුණේ වැඩම කිරීමට සිදු විය. උන්වහන්සේලා එසේ වැඩම කළේ රජුගේ ආරාධනයෙන් මිස බලපෑමෙන් නොවේ. බුදු සසුන සුරැකීම තමන් වහන්සේගේද කාර්යයක්‌ බව දැන වදාළ නිසයි. එදා සිට මෙරට පැවි. දිගිහි නුවණැති හැම කෙනෙක්‌ම බුද්ධ ශාසනය ආරක්‍ෂා වීම තම යුතුකම හා වගකීම ලෙසත් ශාසනය රැකෙන්නේ සිංහල ජාතිය සිටියොත් බැවින් ජාතිය රැක දීමටත් බුද්ධශාසනයේ හා ජාතියේ පැවැත්මට රට අවශ්‍ය බැවින් රට රැකීමටත් පෙළඹුණහ. මෙසේ මේ රට තුළ රට දැය සමය සුරැකීමේ පිළිවෙත ඇරඹී තහවුරු වී පැවත එයි.

බටහිර ක්‍රිස්‌තියානි මිෂනාරි අධ්‍යාපන රාමුව තුළ පාසල් උපකාරක පන්ති, විශ්වවිද්‍යාල මෙන්ම පිරිවෙන්වලද ක්‍රියාත්මක වනුයේ එම අධ්‍යාපන ක්‍රමයයි) හික්‌මුණු උගතුන් මෙන්ම සුද්දන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය හා සුද්දන්ගේ රටේම බිහි වූ මාක්‌ස්‌වාදී න්‍යාය මත මනස හසුරුවන බලකාමයෙන් හා ධන කාමයෙන් පෙළෙන දේශපාලකයන්ද රට දැය සමය සුරැකීමේ පිළිවෙත අගය නොකරනු ඇත. ඒ අනුව සිතීම, කතා කිරීම හා ක්‍රියා කිරීම ජාති වාදයක්‌ හෝ ආගම් වාදයක්‌ ලෙස දකිනු ඇත. කියනු ඇත. ඒ නිසා වර්තමාන උගතුන් යෑයි පෙනී සිටින අයගෙන් මෙන්ම දේශපාලකයන්ගෙන්ද රටත් ජාතියත් බුද්ධ ශාසනයත් (රට දැය සමය) ආරක්‍ෂකර ගැනීමට අපේක්‍ෂා කරතොත් එය ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීම වැන්නකි. බටහිර ආක්‍රමණය හා උන්ගේ දේශපාලන ආර්ථික හා ආගමික ක්‍රමවේද නිසා ඒවා රටවැසියන් මත බලෙන් පැටවීම නිසා ජනතාවද ඒ අනුවම හික්‌මෙන නිසා රටක්‌ නොව ලොවක්‌ වටිනා රට දැය සමය සුරැකීමේ උතුම් සංකල්පය මෙරට ජනතාවගෙන් බැහැර වෙමින් පවතී. එහි අවසාන ප්‍රතිඵලය නම් ලොවට මෙන්ම අපටද අපේ රට වැදගත් රටක්‌ නොවීමයි.

අතීතයේ මෙරට තරුණ තරුණියන් විවාහ ජීවිතයට යොමුවීමට පෙර දෙදෙනාම එක්‌ව ප්‍රාර්ථනාවක්‌ කළහ. අප දෙදෙනා විවාහ වී ගත කිරීමේදී අපට අනිවාර්යයෙන්ම පිරිමි දරුවන් තුන් දෙනෙක්‌ ලැබේවා. ඊට වැඩි පිරිමි දරුවන් මෙන්ම ගැහැනු දරුවද පෙර පිනට ලැබෙන ප්‍රමාණයක්‌ ලැබේවා" යනු ඒ ප්‍රාර්ථනාවයි. පිරිමි දරුවන් තුන් දෙනෙක්‌ පැතුවේ කරුණු තුනක්‌ සඳහාය. එක්‌ දරුවෙක්‌ දෙමාපියන් හා දේපළ ද රැක බලාගෙන දරුවන්ද බිහිකරමින් පරපුර හෙවත් ජාතිය ඉදිරියට පවත්වාගෙන යැමටයි. දෙවැන්නා අවශ්‍ය විට දී රට රැකීමට රජුගේ හමුදාවට දීමටයිs. තුන් වැන්නා බුදු සසුන රැකීමේ හා රටටම අනුශාසනා කිරීමේ කාර්යය සඳහා සසුනෙහි පැවිදි කිරීමටයි. මෙම වැඩපිළිවෙළ නිසා සෑම පවුලකින්ම ප්‍රාර්ථනා කර බිහි වු රට රකින දරුවෙක්‌ද එසේම බිහි වූ ජාතිය ඉදිරියට ගෙනෙන දරුවෙක්‌ද සසුනෙහි පැවිදි වීමට සුදුසු දරුවෙක්‌ද රටට ජාතියට බිහි විය. එවැන්නෙක්‌ නිසඟයෙන්ම රට දැය සමය සුරැකීමට යොමු වූහ.

අධිරාජ්‍යවාදී පීඩනයට එරෙහිව ජාතිය අවදි කළ ඇස්‌ මහින්ද හිමියන් කවිය අවියක්‌ කර ගනිමින් කළ මහා ජාතික මෙහෙවර ජාතිය අවදිකරවීම ඉතිහාසයේ කිසිදා නොමැකෙන සිහිවටනයෙකි. ඒ වන විට බටහිර ජාතීන්ගේ බලපෑම් නිසා නිදිවැද සිටි සිංහලයන් අවදි කිරීමට උන්වහන්සේ මෙලෙසින් කවියෙන් සිංහ නාද කළහ.

ජීවත්වුණත් මැරුණත් උන් මට මොකද

මාවත් මගේ අඹුවත් රැකුණොත් මදිද

මෙවන් හිතන මිනිසුන් උසුලන නිබඳ

තිටත් අහෝ මිහිකත විලිබිය නැතිද

ආත්මාර්ථකාමීත්වයෙන් ඉහවහා ගිය මිනිසුන් උසුලා සිටීමට තරම් මහී කාන්තාවනි, තිට ලඡ්ජාවක්‌ බියක්‌ නැද්දැයි උන්වහන්සේ මිහිකතගෙන් මෙසේ විමසා සිටියේ පෙර සිංහලයන් එසේ ආත්මාර්ථකාමීව නොසිටි නිසයි. රට දැය සාමය රැකීම පසෙක තබා ආත්මාර්ථකාමීත්වය තුළ ගිලුණු පිරිසක්‌ ඒ වන විට රට තුළ සිටි නිසයි. පෙර සිංහල රජ දරුවන් බෝසතුන් හෝ දෙවිවරුන් ලෙස ක්‍රියා කළත් බටහිර ක්‍රිස්‌තියානි මිෂනාරි පාලන ක්‍රමය තුළ පාලකයා ජනතාව පෙළන බලකාමය හා ධන කාමය මුල් කරගත් අය වූහ. ඔවුන්ට එරෙහිව ජනතාව පුබුදුවාලීමට ඇස්‌. මහින්ද හිමියෝ මෙසේ වදාළහ.

පාලකයන් කියන මේ කාමුක හැත්ත

දුක්‌ මිස සැපක්‌ නම් නොමදෙන බව ඇත්ත

මක්‌කා සිදුවුණත් නොබලා ඒ පැත්ත

එක්‌වෙමු අපි සැවොම කරනට කළ යුත්ත

මෙසේ ඇස්‌. මහින්ද හිමියන් මෙන්ම මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් අනගාරික ධර්මපාල තුමන් වැනි දේශයේ සුජාතා පුත්‍රයින් තුළ වු ජාතික කාහල නාදයෙන් අවදි වූ සුළු පිරිසක්‌ හෝ රට දැයි සමය සුරැකීමේ අරමුණ මත පිහිට, සිතීමට කතා කිරීමට ලිවීමට හා ක්‍රියාකිරීමට යොමු වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ජාතියේ පිබිදීමත් දක්‌නට ලැබුණි. පාලකයින්ගේ වරදින් විදේශ බලවේගවලට හා ත්‍රස්‌තවාදයට රට ගොදුරු වෙමින් පැවැති සමයක මෙරට රණවිරුවන් ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා යොමු කළ හැකි වූයේ ද ඔවුන් රට දැය සමය සුරැකීමට යොමු වූ නිසායි. වසර 24 ක්‌ පුරා (1985-2009 දක්‌වා) අපටද එම ජාතික මෙහෙවරට උර දීමට හැකිවීම ගැන සිත තුළ ඇත්තේ මහා සතුටකි. දේශයේ සුජාත පුත්‍රයින් විසින් රණවිරුවන් හා පාලකයින් රට දැය සමය සුරැකීමට යොමු නොකරන්න ආයුධ හා පිරිස්‌ බලය තිබුණත් ලොව බිහිසුණුම ත්‍රස්‌තවාදය 2009 මාර්තු 19 දා පරාජය කිරීමට නොහැකි වන්නට ඉඩ තිබුණි.

දේශප්‍රේමී භික්‍ෂූ පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි

No comments:

Post a Comment