Friday, June 26, 2015

'බැඳුම්කරය' ගැන කෝප් වාර්තාව ජුලි 7 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු කතානායක නියෝග කරයි

'බැඳුම්කරය' ගැන කෝප් වාර්තාව
ජුලි 7 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු

කතානායක නියෝග කරයි

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී මූල්‍ය අක්‍රමිකතාවක්‌ සිදුව ඇත්ද යන්න පිළිබඳ වාර්තාවක්‌ හෝ ප්‍රකාශයක්‌ මීළඟ රැස්‌වීම පවත්වන ජුලි 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට කතානායක චමල් රාජපක්‍ෂ මහතා කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතාට ඊයේ (26 දා) නියම කළේය.

මේ පිළිබඳ අතුරු වාර්තාවක්‌ ඊයේ (26 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට කර තිබූ ප්‍රකාශ නිසා මන්ත්‍රීවරු ඒ සඳහා සූදානම්ව සිටියහ.

එහෙත් එවැනි වාර්තාවක්‌ ඉදිරිපත් නොවීම නිසා විපක්‍ෂ මන්ත්‍රීවරු කතානායකවරයාගේ අවධානයට එය යොමු කළහ.

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී .සිදුව ඇති වංචාවන් හෙළිදරව් වී ඇති නිසා අදාළ වාර්තාවට බියෙන් ආණ්‌ඩු පක්‍ෂය පාර්ලිමේන්තුව විසුරුවීමට සූදානම් වන බව විපක්‍ෂ මන්ත්‍රීවරු කීහ.

මෙම වංචාව පිළිබඳ සොයා බැලීමට කථානායකවරයා විසින් පත් කරන ලද කෝප් අනුකමිටුවේ සති දෙකක නිල කාලය අවසන්ව ඇති බවද අදාළ වාර්තාවේ තත්ත්වය හෙළිකරන ලෙසද එජනිස මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා කීවේය.

මෙම විමර්ශනය සති දෙකක්‌ තුළ පවත්වා පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙසට කථානායකවරයා දැනුම් දුන් බවද එහෙත් මාසයකට අධික කාලයක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත් කථානායකවරයාගේ තීරණය ක්‍රියාත්මක කර නැතැයි ද කී දිනේෂ් ගුණවර්ධන මහතා වහා අදාළ කාරණය සඳහා මැදිහත් වන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මහ බැංකුවේ මහ දවාලේ වූ කෝටි ප්‍රකෝටි ගණනක මහා වංචාව ගැන මන්ත්‍රීවරු විමර්ශනයක්‌ කළා. පාර්ලිමේන්තුව විසුරුවන්නේ හෙටද, අනින්දා ද කියා නියමයක්‌ නෑ. පාර්ලිමේන්තුව විසුරුවන්නේ මේ කෝප් අනුකමිටු වාර්තාවට බියේ නම් ජනතාවට පාර්ලිමේන්තුව ගැන අවිශ්වාසයක්‌ ඇතිවෙනවා. වහාම මේ වාර්තාව ඉදිරිපත් කරන්නැයි බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

වාසුදේව නානායක්‌කාර මහතා - මේ වාර්තාව ඉදිරිපත් කරන දින ගණන පසුවෙලා. දැනගන්න ලැබුණා පසුව දින දීර්ඝ කළා කියා. දැන් අවසානයකට ඇවිත්. අද පාර්ලිමේන්තුව රැස්‌වන අවසන් දිනයද දන්නේ නෑ. මේ විමර්ශනයේ ප්‍රගතිය ගැන කෝප් සභාපති වාචික වාර්තාවක්‌ හෝ ලබාදීමට මැදිහත්වන්න. නැතිනම් මේක මත පාර්ලිමේන්තුව විසුරුවන්න ඉඩ දෙන්න එපා.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා - අපි මේ වාර්තාව නතර කළේ නෑ. කෝප් සභාපතිවරයා විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌. එතුමාගෙන් අහන්න අපි වැළැක්‌වූයේ නෑ.

අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා - මේ බැඳුම්කර සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක්‌ ලබා දුන්නා. වංචාවක්‌ සිදුවී නෑ කියලා.

විපක්‍ෂයේ සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතා - මේ කෝප් අනුකමිටුවේ විමර්ශනවලට මොනවද වුණේ.

කථානායක චමල් රාජපක්‍ෂ මහතා - මේ පිළිබඳව අදාළ කමිටුවේ සභාපතිගෙන් විමසලා ලබන මාසයේ 07 වැනිදා රැස්‌වුණාම පිළිතුරක්‌ හෝ වාර්තාවක්‌ ලබාදීමට උපදෙස්‌ දෙනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා - එදාට රැස්‌වුණේ නැත්නම්.

කථානායකවරයා-රැස්‌ නොවුනොත් ඉතිං මම මොනවා කරන්නද?

 

No comments:

Post a Comment