Monday, June 29, 2015

රතන හිමිගේ ‘එක්ටසි’ ලේකම් බොරු කතාවක්.. ඉඳහිට යන එනවා විතරයි..

රතන හිමිගේ ‘එක්ටසි’ ලේකම් බොරු කතාවක්.. ඉඳහිට යන එනවා විතරයි.. මත්පෙති ජාවාරමට රතන හිමිගේ ලේකම්වරයෙකු සම්බන්ධ බවට පල වූ වාර්තා සාවද්‍ය යයි ජාතික හෙළ උරැමය පවසයි.
මේ බව පවසමින් එම පක්‍ෂ මාධ්‍ය ලේකම් පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
මත්පෙති ජාවාරමේ නියැලි 4දෙනෙක් රිමාන්ඞ් ගත කර ඇති බවත්, එයට ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ලේකම්වරයෙකු සම්බන්ධ බවට පසුගිය දින කිහිපයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලත්, සමාජ වෙබ් අඩවි වලත් ප‍්‍රවෘත්තියක් වාර්තා කර තිබුණි.
එම ප‍්‍රවෘත්තියේ සඳහන් ආකාරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් යැයි කියාගන්නා තැනැත්තා සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන වැඩසටහන්වලට සියදහස් ගණන් සහභාගි වන පිරිස් අතර එක් අයෙක් පමණක් වන අතර ඔහු කිසිසේත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ කාර්ය මණ්ඩලයේ හෝ එම ආයතනයේ නිලධාරියෙක් නොවන බව වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු. ඔහු ජාතික හෙළ උරුමයට හා එහි කාර්ය මණ්ඩලවලට කිසි සම්බන්ධයක් නැත. සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයට හා ජාතික හෙළ උරුමයේ වැඩසටහන් වලට සහභාගි වන පුද්ගලයින් පෞද්ගලිකව කරන කියන දෑ සම්බන්ධයෙන් වගකීම් භාරගත නොහැකි බව යථාර්තවාදීව තේරුම් ගතයුතුව ඇත.
මත්උවදුර පිටුදැකීමේ සටනේ නියමු කාර්යභාරයක් ඉටු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා ජාතික හෙළ උරුමය ඉලක්ක කරගෙන උන්වහන්සේගේත් ජාතික හෙළ උරුමයේත් කීර්තිනාමය විනාශ කිරීමේ අභිමතාර්ථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන ඒ මත යැපෙන ඇතැම් දුෂිත නිලධාරින්ගේ උවමනාව මත චරිත ඝාතනය කිරීම අරමුණු කරගෙන කි‍්‍රයාවට නගන ලද පහත් පෙළේ දේශපාලන මෙහෙයුමක් බව අප ජනතාවට අවධාරණය කරමු. මත්පෙති හෝ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කවරෙකුට වුවද නීතිය කි‍්‍රයාත්මක කර දඩුවම් කළ යුතුය.
එවැනි නීතිය කි‍්‍රයාත්මක කිරීමකට අපගේ පූර්ණ සහය හිමිවනවා පමණක් නොව කිසිවිටෙකත් එවැන්නකට මැදිහත්වන්නේ හෝ බලපෑම් සිදුකරන්නේ නැති බව වගකීමෙන් අප ප‍්‍රකාශ කර සිටිමු. පවතින දේශපාලන වාතාරවරණය තුළ මෙවැනි කුමන්ත‍්‍රණකාරී මඩ ප‍්‍රහාර හා ප‍්‍රතිරූප විනාශ කිරීම සඳහා තවත් නින්දිත උත්සාහයන් දියත්විය හැකි බැවින් එවැනි ප‍්‍රවෘත්ති දෙස විචාරශීලි මනසින් අවධානය යොමු කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙවැනි සාවද්‍ය ප‍්‍රවෘත්ති අප පිළිකුලෙන් බැහැර කරන බවද ප‍්‍රකාශ කර සිටිමු.
ස්තුතියි
නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරැමය
3,464 Viewers

No comments:

Post a Comment