Friday, June 26, 2015

පාර්ලිමේන්තුව ජනතාවගෙන් දුරස්‌ථවේද?

පාර්ලිමේන්තුව ජනතාවගෙන් දුරස්‌ථවේද?

පාර්ලිමේන්තුව යනු රටේ පරමාදර්ශි කේන්ද්‍රස්‌ථානයයි. ආර්ථික, සාමාජික, සංස්‌කෘතික, ආචාර ධර්ම, ප්‍රඥව, නිහතමානිකම, සංවේදිත්වය ආදිය ප්‍රකට කරන භූමිකාවයි. මේ සියල්ලම රැකගැනීම පාර්ලිමේන්තුවේ අභිප්‍රාය විය යුතුය.

නිදහස ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසි නියෝජිතයන්ගේ කාර්ය පද්ධතිය දෙස බලන විට කොතරම් පරමාදර්ශයක්‌ ඒ අයගෙන් මතුවූවාද යන්න අතීතය ආවර්ජනය කිරීමෙන් මනාව සනාථ වෙයි.

එදා පාර්ලිමේන්තුව නියෝජනය කළේ උගත් පරපුරකි. නීතිඥයන්, ආර්ථික විද්‍යාඥයන්, උගතුන්, වියතුන් ආදීන්ගෙන් සමලංකෘත පිරිසකගෙන් කරගත් පාර්ලිමේන්තුව පරිපූර්ණ විය. ඔවුන්ගේ කතාව ගැඹුරුය. හාස්‍ය රසයෙන් පිරුණි. එමෙන්ම උපහාසය ද මතුවිය. එහෙත් අද්‍යතන සමාජයේ පාර්ලිමේන්තුවේ හැසිරීම් රටාව ඉතාම පහත් තත්ත්වයට ඇදවැටීම ඉතාම ශෝචනීය තත්ත්වයකි.

සමාජ ප්‍රගමනයට බලපාන මෙබඳු තත්ත්වයක්‌ මතුවීම මත සමාජාර්ථික වශයෙන් පහත් මට්‌ටමකට රට යැම අතිශය ෙ€දයකි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කතාබහේ කිසිදු ගැඹුරක්‌ නැත. පාතාලයේ වෙසෙන පිරිසක්‌ මෙන් හැසිරීම ඉතාම අප්‍රසන්නය. මේ තත්ත්වය පාර්ලිමේන්තුව නැරැඹීමට එන අයට මහත් මදිපුංචිකමකි.

පාර්ලිමේන්තුව නරඹන්න එන්නේ කිසියම් දෙයක්‌ උකහාගන්නටය. මන්ත්‍රීවරුන්ගේ කතා බහේදී අපට බොහෝ දේවල් ඉගෙනගන්නට ලැබේ. ඉතාම නිරහංකාර, අන් අයට හානි නොවන අන්දමට එම කතාව පරිපූර්ණ විය යුතුය. සංවේදී මනසකින් තමයි ඒ අය පාර්ලිමේන්තුවේදී කතා කළ යුත්තේ, එසේ නොමැතිව පාතාලයේ කල්ලියක්‌ මෙන් පාදඩයන්ගේ ස්‌වරූපයට පාර්ලිමේන්තුවේ හැසිරුණොත් එය පාර්ලිමේන්තුවට කරන නිග්‍රහයකි.

මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ කතා කරන විට කවුරුන් හෝ බාධා නොකළ යුතුය. එහෙත් අද සිදුවන්නේ මන්ත්‍රීවරයෙක්‌ කතා කරන විට ඊට එරෙහිව බාධා කිරීම, 'හූ' කීම කොතරම් අප්‍රසන්නද? සමහරවිට කථානායකටවත් පාලනය කර ගන්න බැරි තත්ත්වයට මන්ත්‍රීවරු හැසිරෙන්නේ නම් එම මන්ත්‍රී ධුරයෙන් කිසිදු පරමාදර්ශයක්‌ නොමැත.

තම තමන්ගේ අදහස්‌ ප්‍රකාශ කරන්නට නිදහස ඇත. ඒ නිදහසට බාධා කිරීම පාර්ලිමේන්තුවේ කාර්ය නොවේ. මන්ත්‍රීවරයාගේ අදහසින් පසු ඊට ප්‍රති පිළිතුරු දිය හැකිය. රටක ජීවනාලිය ලෙස සැලකෙන පාර්ලිමේන්තුව යක්‍ෂයන්ගේ භූතයන්ගේ, කඩදොරක්‌ බවට පත්වුවහොත් එතැන පාර්ලිමේන්තුවක්‌ නිර්මාණය වන්නේ නැත.

මහජනතාව නියෝජනය කරන තැන්න වන්නේ පාර්ලිමේන්තුවයි. මන්ත්‍රීවරයා 'හැබිචෝල්කාරයෙක්‌' ලෙස මැතිසබේ හැසිරෙන්නේ නම් එය තමන් පත් කළ නියෝජිතයන්ට කරන මහත් අගෞරවයකි. මේ යථාර්ථය පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන් තරයේම සිතට ගතයුතු කරුණකි. මහජන නියෝජිතයාගේ ආවේගශීලිත්වය එතැන ආරෝපණය කරන්නට යැමෙන් සිදුවන්නේ මහජනයාට අවමානයක්‌ සිදු කිරීමය.

වසර ගණනාවක සිට පාර්ලිමේන්තුවේ සිදුවන දඩබ්බර තත්ත්වය හේතුවෙන් අද මැතිසබයේ අන්තර්ගත ප්‍රෙෘඪත්වය, ගාම්භීරත්වය හීන වී යන තැනට පත්ව තිබීම අතිශය කනගාටුවට කරුණකි.

අපට තවමත් සිහියට නැගෙන්නේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කේනමන්, ලෙස්‌ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, එන්. යූ. ජයවර්ධන, ඡේ. ආර්. ජයවර්ධන, එµa. ආර්. සේනානායක, ආර්, ජී. සේනානායක යන අයගේ හැසිරීම් රටාව නූතන යුගයේ මන්ත්‍රීවරු තරයේ සිතට ගත යුතුබවය.

මේ අයගේ කතා තවමත් 'හැන්සාඩ්වල' වාර්තා ගත වී ඇත. එම හැන්සාර්ඩ් වාර්තා පරිශීලනයෙන් බොහෝ දේ අපට උකහාගත හැකිය. ඉගෙන ගත හැකිය. සමාජාශ්‍රිත හා පුද්ගලාශ්‍රිත පැවැත්ම මත රැඳෙන තැන්න වන්නේ පාර්ලිමේන්තුවයි.

ඉතාම නිර්දය අන්දමට අගමැතිට බැණවදින තත්ත්වයට අද පාර්ලිමේන්තුව පත්ව ඇත. අගමැති යනු පාර්ලිමේන්තුවේ උත්තරීතර චරිතයකි. ඒ චරිතයට අවමං කරන්නට යොමුවීමෙන් සිදුවන්නේ අගමැති නොව තමන් හෑල්ලුවට, උපහාසයට, හාස්‍යයට පත්වීමය.

අම්බලමක තත්ත්වයට පාර්ලිමේන්තුව අද පත්ව ඇත. රාත්‍රියේ නිදාගෙන ඉතාම අප්‍රසන්න අයුරින් එහි හැසිරීම පෙර නොවූවිරූ තරම්ය. එදා 'අම්බලමක' තත්ත්වයට වැටෙන්නට පාර්ලිමේන්තු භූමිකාව සැකැසුවේ නැත. එහෙත් අද අම්බලමක මෙන් හැසිරෙන්නට යැම අතිශෝචනීය තත්ත්වයකි.

බලය ගිලිහී යැම මත මෙබඳු තත්ත්වයක්‌ උද්ගත වන්නේද? බලය අත් වූ විට එක ස්‌වරූපයකුත්, බලය නොමැති කල තවත් ස්‌වරූපයකුත් වන්නට බැරිය. බලය ලැබීම, බලය නොලැබීම යන අන්ත දෙකම එකම ස්‌වරූපයක්‌ ගත යුතුය.

මෙතනදී සිදුවිය යුත්තේ ඉතා අමානුෂිකව හැසිරෙන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර නොඑවීමය. මේ අය පරාජය කරන්නට වග බලා ගත යුතුය. එසේ පරාජය කිරීම නරක අයුරින් පාර්ලිමේන්තුවේ හැසිරෙන අයට කදිම පාඩමකි. මේ හැසිරීම් රටාව නොතකා යළිත් පාර්ලිමේන්තුවට ඒ අය පත්කර එවුවොත් එහි නරක නාමය ජනතාවට මිසක්‌ වෙන කාටද.

යහපත් නියෝජිතයකු ලෙස පත්කර එවීම ජනතාවට අතිශය ගෞරවයකි. මෙයින් ජනතාවගේ බුද්ධිය කෙබඳු තලයක පවතින්නේද යන්න තේරුම්ගත හැකිය. එසේ නොමැතිව පටු පරමාර්ථවල පිහිටා කටයුතු කිරීමෙන් අවාසිය මහජනතාවටය.

ගෙවී ගිය කාල පරිච්ඡේදයේදී සිදු වූ අනුවේදනීය සිදුවීම් කෙරෙහි අවධානය යොමුකොට, අවලෝකනය කොට යළිත් එවන් සිද්ධි ඇති නොවන්නට වග බලා ගත යුතුය.

තවද පාර්ලිමේන්තුව යනු රසාකරයකි. ඒ රසය උකහා ගන්නට නොමඳවම දැඩි උනන්දුවක්‌ දැක්‌වූ සමයක්‌ද තිබිණි. එහෙත් ඒ සමය අද දොaරේ ගොස්‌ ඇත.

ප්‍රසාදාත්මක භූමිකාවක රැඳුණු පාර්ලිමේන්තුව අප්‍රසාදාත්මක තලයකට පත්කළේ කවරෙක්‌ද? එය නියෝජනය කරන අය අතින් නොවේද. මේ දෙසද අපේ මහජන නියෝජිතයන් බැල්ම හෙළිය යුතුය.

මහජනතාව පටු දෘෂ්ටි කෝණයක පිහිටා වපර ඇසින් ඒ දෙස බලන සමයක එහි වගකීම කා සතුද? පාර්ලිමේන්තුව නියෝජනය කරන අය මත ඒ වගකීම පැවැරී ඇත. එයද අපේ නියෝජිතයන් තේරුම් ගත යුතුය.

මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව ක්‍රියාකරන ආකාරය අප නෙතට හසුකරගත යුතුය. ඉතාම පරමාර්දර්ශි ආකාරයෙන් මහජන නියෝජිතයන්ගේ හැසිරීම් රටාව ප්‍රසාද ජනකය. අපට ඒ තත්ත්වයට පත්වන්නට බැරි ඇයි?

ආචාර්ය ආර්. ඇල්. අබේවික්‍රම

No comments:

Post a Comment