Wednesday, June 24, 2015

කොළඹ පදික වෙළඳාමට අපිත් විරුද්දයි.. – හෙළ උරුමය

කොළඹ පදික වෙළඳාමට අපිත් විරුද්දයි.. – හෙළ උරුමය පදික වේදිකාවේ වෙළදාම් කිරිමට ඉඩ දී කොළඹ නගරය අවිධිමත් කිරීමට ඉඩදිය යුතු නැතැයි ජාතික හෙළ උරැමය පවසයි.
එම පක්‍ෂ නායක පූජ්‍ය  ඕමල්පේ සොභිත හිමියන්ගේ අත්සනින් යුක්තව මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
කොළඹ නගරයේ පදික වේදිකාවල නැවත වෙළදාමට වෙළඳුන්ට ලබාදීමට කොළඹ නගරාධිපති මුසම්මිල් මහතා ඉඩලබාදීමට තීරණය කර ඇති බවට ප‍්‍රවෘත්තියක් මාධ්‍ය මගින් වාර්තාකර තිබිණි. එය සත්‍යයක් නම් ජාතික හෙළ උරුමය ලෙස එම තීරණයට අපගේ බලවත් විරෝධය පළකර සිටින්නෙමු. පදිකවේදිකාව ඇත්තේ පදිකයන්ට නිදහසේ ගමන් කිරීමට මිස වෙළදාම් කිරීමට නොවේ.
පසුගිය කාලය තුළ කොළඹ නගරය විධිමත් කරමින් විනයානුකූල කරමින් පිරිසිදු නගරයක් ලෙස අලංකරණය කරන ලදි. එසේ අලංකරණය කරන ලද කොළඹ නගරය පසුගිය කාලයේ ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ දේශිය හා විදේශිය සංචාරයකයන්ගේ ආකර්ෂනය දිනාගත් නගරයක් බවට පත්විය. පදික වේදිකාව වෙළඳුන් ආක‍්‍රමණය කිරීම නිසා කොළඹ නරගයට පැමිණෙන ජනතාව පීඩාවට පත්වූ අවස්ථාත් වෙළඳුන්ගේ ආක‍්‍රමණශීලි බලපෑමට හසුවූ අවස්ථාවත් අපමණය. මේ නිසා මේ හේතුකොට ගෙන සිදුවූ සමාජ විරෝධි කි‍්‍රයාවන් ද, අනතුරු අපරාධ ද බොහෝ විය. රිය අනතුරු සහ පදිකයන්ට සිදුවූ අනතුරුද ඉහළ ගිය අතර ගැට කපන්නන්ට ද මෙය පිටුබලයක් විය. පදික වෙළඳාම හරහා වංචාවට හා රැවටීමට ලක්වූ ජනතාව ද අපමණය.
එබැවින් නගරයේ පදික වේදිකාවල නැවත වෙළදාමට ඉඩ ලැබුණහොත් මීට පෙර පැවති ආකාරයෙන්ම අශෝභන අවලස්සන පීඩාකාරී පරිසරයක් කොළඹ නගරය තුළ නිර්මාණය වනු ඇත. පදික වේදිකාව අයිති පදිකයින්ට මිස වෙළඳුන්ට නොවේ. එය උදුරා ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නැති අතර කොළඹ නගරයේ පුරපතිවරයා කවර හේතුවක් මත හෝ එය උදුරා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය පදිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකිග පටු දේශපාලන වාසි හා ඡන්ද කුට්ටි බලාගෙන මෙවැනි අකටයුතුකම් කිරිමට නගරාධිපතිවරයාට කිසිදු අයිතියක් නැත.
එබැවින් පිරිසිදු කොට විධිමත් කළ කොළඹ නගරය අවිධිමත් කිරීමටත් අවලස්සන කිරීමටත් කවරේකුටවත් ඉඩ නොදිය යුතු බව අවධාරණය කර සිටින අතර මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුකරන ලෙස ද අප ඉල්ලා සිටිමු.
ස්තුතියි..!
ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත නාහිමි
නායක
ජාතික හෙළ උරැමය

No comments:

Post a Comment