Saturday, June 27, 2015

ජනාධිපතිවරයාගේත් එජාපයේත් විරසකයට රනිල් වග කියන්න ඕනෙ...


ජනාධිපතිවරයාගේත් එජාපයේත් විරසකයට
රනිල් වග කියන්න ඕනෙ...

- ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති එස්‌. බී. දිසානායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ගම්බද හා නගරබද ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් අදත් ආදරෙයි. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌ වී සන්ධානයට නායකත්වය දිය යුතුයි. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා නොවිය යුතුයි" යෑයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ "දිවයින" සමඟ සාකච්ඡාවකට එක්‌වෙමිනි. එහිදී ඇසූ ප්‍රශ්නවලට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍ර - ඔබ කියල තිබුණා ඔබ විපක්‍ෂයෙ ඉන්නවද ආණ්‌ඩුවෙ ඉන්නවාද දන්නෙ නැහැ කියලා. ඒකෙන් හැඟෙන්නෙ රටේ දේශපාලනයේ අවුල් සහගත තත්ත්වයක්‌ තිබෙන බව නේද?

පි - මෙහෙමයි. අලුත් දෙයක්‌ කරන්න ඕන වුණාම අලුත් තැනකට යන්න ඕන වුණාම, පරණ තිබ්බ දේවල් තීරණාත්මකව වෙනස්‌ කරන්න හිතපුවාම ඒ ඇතිවෙන තත්ත්වය සංක්‍රාන්තික තත්ත්වයක්‌. ඕකට බෞද්ධ ධර්මයේ කියන්නෙ ගන්ධබ්බ අවධිය කියලා. දැන් තියෙන්නේ ගන්ධබ්බ තත්ත්වයක්‌. මේක අපි බලාපොරොත්තු වෙන්න ඕන නේ. ශ්‍රීලනිපයේ කොටසක්‌ ආණ්‌ඩුවේ ඉන්නවා. තව කොටසක්‌ විපක්‍ෂෙ ඉන්නවා. තව කොටසක්‌ කැබිනට්‌ එකේ ඉන්නවා. කොටසක්‌ ආණ්‌ඩුවෙ කැබිනට්‌ එකේ ඉන්න ගමන් අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක්‌ ගේනවා. රටේ අගමැතිවරයා එක පක්‍ෂෙක. ජනාධිපතිවරයා තව පක්‍ෂෙක. හැබැයි මේ තත්ත්වයන් තුළ තමයි අපි 19 ගේන්නෙ. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. මේ අත්තනෝමතික ස්‌වාධීන බලතල අඩු කරන්න නේ ඇත්තටම මෛත්‍රීට ඕන කරල තිබුණේ. ජනාධිපතිගේ සමහර බලතල අගමැතිට පවරා තිබුණා. ඒවා උසාවියෙන් නැවැත්තුවා. ඇමැතිවරු පත්කිරීම, මාරු කිරීම ආදිය අගමැතිට දෙන්න තමයි ලෑස්‌ති වුණේ. හැබැයි උසාවිය කිව්වා ඒක කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕන කියලා.

අත්තනෝමතික ජනපති බලතල වෙනස්‌ කරනවා කියල කොබ්Eකඩුව, බණ්‌ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා ඉන්පසු මහින්ද රාජපක්‍ෂ යන මේ අයගෙ හැම රැස්‌වීමකදීම අපි කිව්ව නේ. හැබැයි ඒක වුණේ නැහැනේ. ඒත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒක කළා. එතුමාට ඒකට ශක්‌තිය ලැබුණේ රට ඉස්‌සරහට හිටි නිසා. 20 ගේන්න උත්සාහ කරන්නෙත් ඒ වගේ තත්ත්වයක්‌ තුළ නේ. ඒක නිසා ඇත්තටම මගේ විශ්වාසය එජාපය ජනාධිපතිතුමාට පොරොන්දු දුන්නා වගේම ඡන්දයක්‌ ඉල්ලන ඝෝෂාව පැත්තකින් තියල මේක පාස්‌ කරගන්න ජනාධිපතිතුමාට ඉඩ දෙන්න ඕන. නැතිනම් ඉදිරි කාලයේදී මේක පාස්‌කරගන්න පුළුවන් පාර්ලිමේන්තුවක්‌ බිහි නොවෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අත්තනෝමතික ජනාධිපති බලතල, ස්‌වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අත්හැරීමට වඩා රටේ මිනිස්‌සු බලාපොරොත්තු වුණේ මනාප ඡන්ද ක්‍රමය නැති ඡන්දයක්‌. ආසනයට මන්ත්‍රීවරයෙක්‌. සල්ලි විසි කරල ඡන්දෙ දිනන ක්‍රමය නැති එකක්‌. ඡන්දයකදී ජාතිවාදය, ආගම්වාදය, ප්‍රදේශවාදය, කුලවාදය නැති ගෝත්‍රිකවාද නැති ඡන්ද ක්‍රමයක්‌. කාගෙත් යුතුකම මේ නව ඡන්ද ක්‍රමයට සහයෝගය දෙන එකයි.

ප්‍ර - මේ 20 සංශෝධනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ගැටුමක්‌ පවතිනවා නේද?

පි - එහෙම ගැටුමක්‌ ඇතිවෙන්න ඕන නේ. යු. එන් පීය හිතුවේ දින 100 න් ආණ්‌ඩු විසුරුවා හැරගන්න. හැබැයි දවස්‌ 100 තුළ මේ අය 19 ගේන්නෙ නැහැ නේ. 20 ගේන්නෙත් නැහැනේ. ඒ අතර ජනාධිපතිතුමාත් අවබෝධයක්‌ දැනුමක්‌ නැති කෙනෙක්‌ නොවෙයි නේ. යූ ඇන්පියේ ඉන්න හැම කෙනාටම වඩා. රනිල්ගෙ ළඟට මේ රටේ ඇමැතිකම් කරපු පුද්ගලයා නේ. අනික ඔහු පක්‍ෂයේ මහලේකම්. යූ එන් පියට අගමැතිකම, මුදල් ඇමැතිකම බාරදීමෙන් රට අර්බුදයකට ගිය බව ජනාධිපතිතුමාට නොතේරෙන්නෙ නැහැ නේ. එතුමා 19 ගේන්නෙ 20 ගේන බවට පොරොන්දු වෙලා නේ. එතුමා ඒ පොරොන්දුව ගත්තෙ යූඑන්පියෙන්. යූ. එන්.පි.ය 20 ගේන්නෙ නැතුව ඡන්දයක්‌ ඉල්ලා සිටීම සදාචාරාත්මක නැහැ.

දැන් යූ. එන්. පි.ය මන්ත්‍රීන් 225 කින් යුත් ඡන්ද ක්‍රමයක්‌ ගැන තර්ක කරනවා. ඒක මීහරක්‌ තර්කයක්‌. ඒකෙ කිසිම තර්කයක්‌ නැහැ. අපි 254 ක්‍රමයට ගියේ මාස ගණනක්‌ මැතිවරණ කොමසාරිස්‌ සමඟත් කතා කරල ගණන් හදල බලලයි. මේ නිකම් 225 ක්‌ ගැන යූ. එන්. පී කතා කරනවා. එයින් ආසන 125 ක්‌ කොට්‌ඨාස ක්‍රමයට. ඒකෙන් වෙන්නෙ ආසන ගණන අඩුවීමයි. ජනගහනය අනුව ආසන වැඩිවිය යුතුයි. කඩුවෙල වගේ ආසනයක්‌ ආසන 2 ක්‌ කරන්න ඕන. එසේ තිබියදී ආසන අඩු කිරීමට යැම කරන්න පුළුවන් වැඩද? මේවා ප්‍රායෝගික නැහැ. මේක කපටිකමක්‌. ඉතා පහත් උපායක්‌. මේකෙ මතභේදයක්‌ ඇතිවෙන්න තරම් කිසි දෙයක්‌ නැහැ. දින 100 ට මේ 20 ත් දාල තිබුණා. අපි මේ යෝජනාව ගේනවා කියල තිබුණා ගෙනාවෙ නැහැනේ. ඒකට මෛත්‍රී පලි නැහැ. ඒක නොගෙනීම ගැන වගකියන්න ඕන රනිල් වික්‍රමසිංහ. ඒ නිසා මේ මතභේදයට මෛත්‍රී වගඋත්තරකරුවෙක්‌ නෙවෙයි.

ප්‍ර - සමහරු කියනවා 20 සම්මත කර ගත්තත් ඡන්දය දැන් තිබෙන ක්‍රමයටම පවත්වන්න කියලා.

පි - ඒකෙන් අපට එච්චර වැදගත්කමක්‌ නැහැ. මම මේ 20 වෙනුවෙන් ආණ්‌ඩුව තුළත් කැබිනට්‌ මණ්‌ඩලය තුළත් වැඩ කරපු කෙනෙක්‌ නේ. හැබැයි මට අලුත් ඡන්ද ක්‍රමයට වඩා මේ තිබෙන ක්‍රමයෙන් වාසියි. මම ගියවර ආසනෙත් පරාදයි. උඩුනුවර ආසනය මෙවර මම දිනනවා කියලයි මම හිතන්නෙ. එහෙම වෙන්නෙ නැහැනේ පරාද වූ පක්‍ෂයක්‌ ඊළඟ ඡන්දෙදි විශාල පරාජයක්‌ ලබනවා නේ. ඒ නිසා අපට උඩුනුවර වගේ ආසනයක්‌ දිනාගැනීම අභියෝගයක්‌. ඒ අභියෝගය මා බාරගන්න කැමතියි. හැබැයි අපි කාටත් ඒ අභියෝගය තිබෙනවා. විපක්‍ෂ නායකතුමා බදුල්ල පරාදයි. ඒක අපට වැදගත් නැහැ. 20 පාස්‌ කරගෙන මේ ඡන්දෙදි ක්‍රියාත්මක කරනවද ඊළඟ ඡන්දෙදි ක්‍රියාත්මක කරනවද කියන එක මට නම් වැදගත් නැහැ. මොන ක්‍රමයකට යන්න හරි මේක අපි පාස්‌ කර ගමු කියන එකයි මම කියන්නේ.

ප්‍ර - එක්‌සත් ජාතික පක්‍ෂය මේකට කැමැති නැහැ. ඒ නිසා නේද දැන් මේ 225 කතාවක්‌ ගෙන එන්නේ?

පි - 225 ට කිසිම තර්කයක්‌ නැහැ. මනාප ඡන්ද ක්‍රමය අයින් කරනකොට අපට අවශ්‍ය මූලික කාරණා කිහිපයක්‌ තිබෙනවා. එකක්‌ තමයි මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම. ආසනයකට මන්ත්‍රීවරයෙක්‌ ලබාදීම, බලයට පත්වන ආණ්‌ඩුවට ජනාධිපති රැකවරණය යටතේ තමයි මෙතෙක්‌ කාලයක්‌ ආණ්‌ඩු රැකුණේ. ඒක දැන් නැහැ. ඒ නිසා බලයට පත්වන ආණ්‌ඩුවට පැහැදිලි ජනවරමක්‌ තිබෙන්න ඕන. එමෙන්ම සුළු ජාතික පක්‍ෂවලට කිසිම අසාධාරණයක්‌ නොවෙන්න ඕන. සුළු පක්‍ෂවල නියෝජනයත් ඒ විධියටම තියෙන්න ඕන. මේ සියලුම දේවල් සපුරන ඡන්ද ක්‍රමයකට යන්න අපි හදල බලන කොට අපට 225 තියාගෙන මේක කරන්න බැහැ. ආසන ක්‍රමයක්‌ තිබුණාට මන්ත්‍රීවරු වෙන් කරන්නේ මනාප ක්‍රමයටයි. එහෙම වෙන් කරනකොට දිස්‌ත්‍රික්‌කයට වෙන්කරපු ගණනට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක්‌ සමහර දිස්‌ත්‍රික්‌කවලට දෙන්න වෙනවා. එතකොට ඒ සංඛ්‍යාව ජාතික ලැයිස්‌තුවෙන් අදින්න වෙනවා. මුස්‌ලිම් කොංග්‍රසය ඉල්ලන ඡන්ද පත්‍රිකා දෙකේ ක්‍රමය අනුව මන්ත්‍රීන් 100 ක්‌ විතර ජාතික ලැයිස්‌තුවෙන් දෙන්න වෙනවා. මොකද හුඟක්‌ තැන්වල ආසනවලින් දිනන්නෙ වෙන කට්‌ටියක්‌. දිස්‌ත්‍රික්‌ මනාපයෙන් තේරෙන්නෙ වෙන කට්‌ටියක්‌.

අපි මන්ත්‍රීන් 254 ගණනට ආවේ හේතු සාධක ඇතිවයි. එජාපය කොට්‌ඨාස 160, 125 ට අඩු කරන්න කියන එක කරන්න පුළුවන් එකක්‌ නොවෙයි. ඒක ලේසි නැහැ. මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය කියන්නෙත් අපට වැඩි කරන එක ලේසියි කියලයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ 20 ගෙන ඒම සම්බන්ධයෙන් එජාපයත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතරත් යම් විරසකයක්‌ තියෙනවා නම් ඒක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැරැද්දක්‌ නිසා ඇති වූ එකක්‌ නෙවෙයි. මොකද ජනාධිපතිතුමාට ඕන වෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය එක්‌ක හදපු දින 100 වැඩසටහනේ ප්‍රධානම කරුණු දෙක වන 19 හා 20 ක්‍රියාත්මක කිරීමටයි. 19 ඉල්ලුවේ මේ රටේ බුද්ධිමතුන්, උගතුන්. ඒත් 20 ඉල්ලුවේ සාමාන්‍ය ජනතාව. ඔවුන්ට දුන් ඒ පොරොන්දුව ඉෂ්ට කළ යුතුයි. ඒ නිසා මේ විරසකයට වගකිවයුත්තා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නෙමෙයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.

ප්‍ර - 'මේ ගැනත් හිතන්න' කියන ඔබේ පොතේ දෙවැනි කොටසකුත් තියනවාලු? ඒක කවදද පිට කරන්නේ?

පි - මම ඒක හරිගස්‌සල ඉවරයි. මම ඒකෙ පිටපත් පක්‍ෂයේ එක එක අයට දීල තිබෙනවා බලන්න.

ප්‍ර - ඒකෙ පිටපතක්‌ දෙන්න බැරිද?

පි - බැහැ බැහැ ඒක මාධ්‍යයට දැන්ම දෙන්න බැහැ. ඒකෙ තියෙන ඒවා තමයි මම දැන් කිව්වේ. මෛත්‍රී ඡන්ද ලක්‍ෂ 62 1/2 ක්‌ ගත්තු විධිය සහ මහින්දට ඡන්දය වැටුණු විධිය මම ඒ පොතේ ලියල තියෙනවා. මා එහි සඳහන් කරල තියෙන්නෙ ජය පැරදුම හරියට කියවා ගන්න කියලයි. ඒක කියෙව්වොත් ඊළඟ ඡන්දය ජයග්‍රහණය කිරීමට කළ යුතු දේ එහි සඳහන් වෙනවා. මහින්ද හා මෛත්‍රී එකතු වීම, පක්‍ෂය හා සන්ධානය එකට තබාගැනීම ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම අපෙන් ගිලිහුණු, හැමදාම අප සමඟ සිටි සුළු ජාතික, සුළු ආගමික පිරිස්‌ අපට ආපසු එකතු කරගත යුතුයි. එසේම මහින්ද අගමැති අපේක්‍ෂකයා නොවිය යුතුයි. මහින්ද අගමැති අපේක්‍ෂකයා බව කීම පවා අපට අවාසියි. මේක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමත් තේරුම් ගන්න ඕන. ශ්‍රීලනිපයේ අනික්‌ අයත් තේරුම් ගන්න ඕන.

සාකච්ඡා කළේ - දයා ලංකාපුර

No comments:

Post a Comment