Sunday, June 28, 2015

මැති සබය විසුරුවා හැරියේ බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව යට ගැසීමටයි

මැති සබය විසුරුවා හැරියේ
බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව යට ගැසීමටයි

ඇමැති පාඨලී චම්පික


දයා ලංකාපුර

පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරියේ මහ බැංකු අධිපතිගේ බැඳුම්කර සිද්ධිය ගැන පරීක්‍ෂණ පැවැත්වූ කෝප් කමිටුවේ වාර්තාව යටපත් කිරීමට බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

කවුරු කෙසේ කීවත් එම බැඳුම්කර සිද්ධියේදී දූෂණයක්‌ සිදුවී තිබෙන අතර එය රටේ මූල්‍ය ස්‌ථාවරත්වයට තදින්ම බලපාන බවත් ඉදිරි කාලයකදී හෝ මේ ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේ පෙරේදා (27 වැනිදා) බත්තරමුල්ල හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී තවදුරටත් කතා කළ රණවක මහතා තොරතුරු දැන ගැනීමේ පනත තිබුණා නම් බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට කෝප් වාර්තා හෝ විගණන වාර්තා අවශ්‍ය නොවන බවත් කීය.

මුදල් ඇමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් කොට තිබූ විශ්වාස භංග යෝජනාව ජුලි 7 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එයත් හේතුවක්‌. නමුත් ආණ්‌ඩුවට අවශ්‍යතාව තිබුණා නම් ඊට පෙර විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට හැකියාව තිබුණා. යෑයි ද හෙතෙම කීය.

මනාප ක්‍රමය නැතිකොට කොට්‌ඨාස ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගන්නා මැතිවරණ ක්‍රමයක්‌ ඉදිරි කාලයේදී ඉදිරි පාර්ලිමේන්තුවකදී සම්මත කර ගැනීමට අවස්‌ථාවක්‌ ලැබේදැයි සැක සහිත බවද ඇමැතිවරයා කියා සිටියේය.

රටේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාකළ කිසිදු පුද්ගලයකුට දඬුවම් දීමට ඉඩදිය යුතු නෑ. රටක්‌ හැටියට අද අපි සිටින්නේ රණවිරුවන් කළ කැප කිරීම් නිසායි. යුද අපරාධ චෝදනාවලට ජාතියක්‌ ලෙස මුහුණ දිය යුතුයි.

1983 සිට අතුරුදන් වූ පුද්ගලයන් ගැන සෙවීමට පත්කළ මැක්‌ස්‌වෙල් පරණගම කොමිෂන් සභාවේ ඒ කාලේ සිට අද දක්‌වා අතුරුදන් වූ අය පිළිබඳව සම්පූර්ණ විස්‌තරයක්‌ තිබෙනවා.

යුද කාලයේදී අතුරුදන් වූ අය පිළිබඳව සොයා බැලීමට පත්කළ ඩෙස්‌මන් සිල්වා මහතාගේ වාර්තාවත් ළඟදීම නිකුත් වේවි. ඒ පිළිබඳව අපේ රටේ තිබෙන අධිකරණය යොදාගෙන පරීක්‍ෂණ පැවැත්විය හැකියි. විදේශ රටවල බලපෑම අනුව ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට යාමත් බලවත් වරදක්‌ බවද රණවක මහතා පැවැසීය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික හෙළ උරුමය තරග කරන්නේ කුමන සන්ධානයෙන්දැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රණවක මහතා "අපි තවමත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ තමා ඉන්නේ. ඉදිරි දිනවල එළඹෙන තත්ත්වයන්වලට අනුව අපේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කොට මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳ දැනුම් දෙනවා" යෑයි ද කීය.

ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝද මෙම අවස්‌ථාවට එක්‌වූහ.
 

 
Powered By -

No comments:

Post a Comment