Saturday, June 27, 2015

පසුගිය ආණ්‌ඩුවට වඩා තමන් සුජාත බව පෙන්නන්න මේ ආණ්‌ඩුවටත් බැරිවුණා!

 


පසුගිය ආණ්‌ඩුවට වඩා
තමන් සුජාත බව පෙන්නන්න මේ ආණ්‌ඩුවටත් බැරිවුණා!
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක හා
පිවිතුරු හෙටක්‌ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමි

සෑම දේශපාලන පක්‍ෂයකම, සෑම දේශපාලන කණ්‌ඩායමකම සිටින ප්‍රතිපත්ති දේශපාලනයට කැමැති පිරිස්‌ සමඟ එක්‌වී පටු දේශපාලන අරමුණු වලින් තොරව, ඉදිරියේදී රටට බලපාන ජාතික ප්‍රශ්නය පිළිබඳව පුළුල් සංවාදයක්‌ ගොඩනැඟීමට 'පිවිතුරු හෙටක්‌ ජාතික සභාව' හරහා තමන් වහන්සේ කටයුතු කරගෙන යන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක හා පිවිතුරු හෙටක්‌ ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ සාකච්ඡාවකට එක්‌වෙමින් පැවැසූහ. එහිදී උන්වහන්සේ පළකළ අදහස්‌ මෙසේය.

ප්‍ර - පාර්ලිමේන්තුවේ පසුගිය 22 දා පැවැති පක්‍ෂ නායකයින්ගේ රැස්‌වීම අතරමග ඔබ වහන්සේ නැගිට ගියේ ඇයි?

පි - එහිදී ලොකු කාරණයක්‌ නොවෙයි තිබුණේ. පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කිරීමට ඒ ගැන විවාද කිරීමේ සම්ප්‍රදායයක්‌ නැහැ. මම දන්නෙ නැහැ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට වැඩ නැති හින්දා මේක ගත්තද කියලා. පාර්ලිමේන්තුවට ඕන තරම් වැඩ නිර්මාණය කරන්න පුළුවන්. වැඩ තියෙනවා ඕන තරම්. තොරතුරු දැන ගැනීමේ පනත තියෙනවා. විගණන කොමිෂන් සභා පනත ගේන්න තියෙනවා. මේවා දිනක්‌ දෙකක්‌ පමණ විවාදයට ගත හැකියි. එතකොට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය හදාගන්න පුළුවන්. 20 වැනි සංශෝධනය එන්න තව මාසයක්‌ විතර යාවි. ඒ මාසය ගෙනයන එක තමයි අමාරු. දැන් මේ ලොකු පීඩනයක්‌ එල්ල කරනව පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන කියලා.

ප්‍ර -පාර්ලිමේන්තුවට අලුතින් පනත් ගේන්නෙ නැත්තෙ ඉක්‌මනින් විසුරුවා ගැනීමේ ඕනකම නිසා වෙන්න බැරිද?

පි - ඔව්. එහෙම අනුමාන කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය හිස්‌ව තිබෙනකොට වැඩ කටයුතු නැතිව තියෙනකොට වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි කියලා ප්‍රවණතාවක්‌ ඇතිවීමයි. ඒ අතර මුදල් ඇමැතිට හා අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකකුත් ඉදිරිපත් වී තිබෙනවා.

ප්‍ර - ඇයි මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂා කළ කෝප් කමිටු වාර්තාවත් එන්න තියෙනවානේ?

පි - ඔව්. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවානේ. එතකොට ඒ ගැන විවාදයක්‌ ඉල්ලන්න පුළුවන්.

ප්‍ර - දැන් මේ 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට මොකද වෙන්නේ?

පි - අපි 20 වැනි සංශෝධනය ගැන මහජනයා තුළ ස්‌වභාවිකව මතයක්‌ ඇතිකරන්න ඕන. ඒක සම්මත කරලා ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. අවම වශයෙන් මේක සම්මත කරන්නවත් අපි උත්සාහ කරන්න ඕනෙ. මෙවර මැතිවරණයේදී මෙය ක්‍රියාත්මක කරන්න බැරි වුණත් අපි අපේ කාර්යභාරය ඉෂ්ට කරන්න ඕන.

ප්‍ර - මේ 20 වැනි සංශෝධනයට දේශපාලන පක්‍ෂ ගණනාවකින් දැඩි විරෝධයක්‌ තියෙනවා. ඒ අනුව ඒක සම්මත කරගන්න පුළුවන් වේවිද?

පි - දැඩි විරෝධයක්‌ නැහැ. ඔය සුළු පක්‍ෂ අතරින් විරෝධයක්‌ ආවම අපි මුලින් ඒ විරෝධය සංසිඳුවීමට පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 255 ට වැඩිකිරීමට යෝජනා කළා. ආසන 30 ක්‌ වැඩිවුණැයි කියල මිනිස්‌සුන්ගේ ලොකු විරෝධයක්‌ නැහැ. ඒක අපි සටහන් කරගත්ත. මෙතන ප්‍රශ්න කිහිපයක්‌ තියෙනවා. ආසන වැඩිකරනවාට අපිත් කැමැති නැහැ. නමුත් ඒක සමහන් කිරීම සඳහා ආසන ටිකක්‌ වැඩිකරන එක හොඳයි. පසුගිය කාලෙත් ආසන වැඩි කරලා තියෙනවා. 1977 මැතිවරණයට වඩා දැන් ජනගහනය දෙගුණයකින් වැඩිවෙල තිබෙනවා. ඉතින් ඒක නිසා එය එච්චර ලොකු ප්‍රශ්නයක්‌ නොවෙයි. ජනගහනය වැඩිවෙන තරමට පාර්ලිමේන්තු ආසන වැඩි කරන්න ඕන කියල තර්කෙකුත් නැහැ. නමුත් ආසන 255 ට ගෙනාවේ ප්‍රශ්න ඇති නොවීම සඳහායි. ආසන 160 තවත් අඩුකරන්න ගියාම එතැන තව ප්‍රශ්න ඇතිවෙනවා.

ප්‍ර - දැන් එජාපය සහ මුස්‌ලිම් කොංග්‍රසය කියන්නේ 20 වැනි සංශෝධනය ගැසට්‌ කළේ. ඒ ගොල්ලන්ගේ අනුමැතිය නොගෙනයි කියලා?

පි- 19 වැනි සංශෝධනයත් ජාතික හෙළ උරුමය විරුද්ධ වෙද්දි තමයි ගෙනාවෙ. අපි සංශෝධනයට විරුද්ධ වුණේ නැහැ. අන්තර්ගතයටයි විරුද්ධ වුණේ. ඒත් අපි අන්තිමේ ඒක සම්මත කරගත්තනේ. ඒක සංශෝධනය කරලා පාර්ලිමේන්තුවටයි අධිකරණයටයි යටත්ව සම්මත කරගත්තනේ. ඒ වගේ මේකත් සම්මත කරගත හැකිවේවි.

ප්‍ර - සුළුතර පක්‍ෂයක්‌ බලපෑම් කරලා 20 වැනි සංශෝධනය ඔවුන්ට ඕන විදියට සකස්‌ කළ බවට හෙළ උරුමයට අනියමින් චෝදනා කරනවා නේද?

පි - මේක අපේ එකක්‌ නොවෙයිනේ. මේක කාගෙත් උවමනාවක්‌. සුළුතර කණ්‌ඩායමකට ඕන විධියට මේක කළා කියලා කාටවත් කියන්න බැහැ. මේක රටේ ජනතාවගේ උවමනාවක්‌ බව මහජනතාව දන්නවා. අපි මේකට උනන්දුවෙන් කැපවුණු එක ඇත්ත. 19 ගෙනාපු වෙලාවෙ ශ්‍රීලනිපය ඒකට සහාය දුන්නෙ 20 ත් ගෙනැවිත් සම්මත කරන බවට දුන් පොරොන්දුව නිසයි. ජනාධිපතිතුමා මේක ඉදිරිපත් කළේ ශ්‍රීලනිපය විශාල කැපකීරීමක්‌ කරලයි. මේ 20 වැනි සංශෝධනය සකස්‌ කිරීමට වැඩියෙන්ම කැපවුණේ අශෝක අබේගුණවර්ධන මහත්තයා. එයා ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙක්‌ නොවෙයි. ඔහු බලශක්‌ති ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයෙක්‌. ඒ නිසා අපිත් එක්‌ක සමීපව කටයුතු කරනවා.

ප්‍ර - දැන් එජාපය චෝදනා කරනවා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැත්තෙ ජාතික හෙළ උරුමයේ බලපෑම නිසාය කියල?

පි - 20 වැනි සංශෝධනය සම්මත කළාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. 20 සම්මත කළාම අපේ කාර්යභාරය ඉවරයිනේ. ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවන එක අවශ්‍යයි කියලා අපිත් කියනවා.

ප්‍ර - එජාපය සහ ජවිපෙ කියන්නේ මේ ආණ්‌ඩුවට දුන්නු ජනවරම දින 100 න් ඉවරයි ඒක නිසා ආණ්‌ඩුව විසුරුවා හැරිය යුතුයි කියලා.

පි - දින 100 ට නියමිතව තිබූ කාර්යයක්‌ ඒ කාලය තුළ ඉෂ්ට කළා නම් ප්‍රශ්නයක්‌ නැහැ. පෙබරවාරි මාසෙ ඉඳලා පටන් ගත්තනම් 20 සංශෝධනය මේ වනවිට සම්මත කරගන්නත් තිබුණා. දින 100 කියන්නෙ න්‍යාය පත්‍රයක්‌නේ. ඒ කියන ඒවා ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙන්නෙ නැහැනේ. ප්‍රායෝගික ගැටලු නිසා තවත් දින 100 ක්‌ ගියාය කියලා ඒක ප්‍රශ්නයක්‌ නැහැ. සාධාරණ සමාජයක්‌ සඳහා ජාතික ව්‍යාපාරය කිව්වෙ මාස 6 ක්‌ තුළ මේ කාර්ය භාරය ඉෂ්ට කරන්න කියලා. කවුරු හරි මේකට දින 100 කියලා දැම්මා. දින 100 කින් එහාට ගියාට කමක්‌ නැහැ. ඒක නීති විරෝධී දෙයක්‌ වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට ලබන අප්‍රේල් දක්‌වා යන්න පුළුවන්. ඒත් කිසි කෙනෙක්‌ කියන්නෙ නැහැ මේ පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් වෙනකම් ගෙනියන්න ඕන කියාල.

ප්‍ර- හොඳයි අද හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මොකද වෙන්නේ?

පි - එහෙම ප්‍රවණතාවක්‌ එන්න පුළුවන්. විසුරුවන්නෙ නැතෙයි කියන්න බැහැ. අපි කොහොම හරි 20 සංශෝධනය සම්මත කරගෙන මේක විසුරුවාහරින්නයි උත්සාහ කරන්න ඕන.

ප්‍ර-ඒ වුණාට එජාපය කටයුතු කරන්නේ මේ 20 සංශෝධනය සම්මත නොවන අන්දමට නේද?

පි- එහෙම ප්‍රවණතාවක්‌ තියෙනවා. ඒගොල්ලො මන්ත්‍රීවරුන් 255 දක්‌වා වැඩිකරනවාට මුලදී විරෝධයක්‌ දැක්‌වූවේ නැහැ. නමුත් පසුව 225 ඕන කිව්වා. ඒකෙන් සුළු පක්‍ෂ කුලප්පුවෙන බව ඔවුන් දැනගෙන සිටියා. ඒගොල්ලො 225 කතාව කිව්වාට මහජනතාවගේ මතය ඒක නෙවෙයිනේ. 225 ඕන නම් එජාපය කළ යුත්තේ ඒකට සුළු පක්‍ෂ එකඟකරවා ගැනීමයි. ආසන ගණන වැඩිකරන එක අපේ උවමනාවක්‌ නොවෙයි. මේකෙදි ජවිපෙ ඇතුළු සුළු පක්‍ෂ තෘප්තිමත් කරන්න ඕන. අනිත් මහ පක්‍ෂත් තෘප්තිමත් කරන්න ඕන. එහෙම කරගෙන කරනකොට තමයි මේ එජාපය 225 කතාව ගෙනාවේ.

ප්‍ර - දැන් 19 වැනි සංශෝධනය සම්මත කරගෙන තිබුණා. ඒකෙ වැදගත්aම අංශය වන ව්‍යවස්‌ථාදායක සභාව තවම පත්කර ගෙන නැහැනේ. ඒ නිසා කොමිෂන් සභා පිහිටුවීමත් ඇනහිටලා?

පි -ව්‍යවස්‌ථාදායක සභාව නිශ්චිතවම පිහිටුවිය යුතුයි. නමුත් තවමත් ඒක කළේ නැහැ.

ප්‍ර - දැන් මේ ආණ්‌ඩුවෙ සමහර ඇමැතිවරුන්ගේ කටයුතු දෙස බලන විට පසුගිය ආණ්‌ඩුවේ ඇමැතිවරුයි මේ ආණ්‌ඩුවේ ඇමැතිවරුයි අතර වෙනසක්‌ නැහැනේ?

පි - එක්‌සත් ජාතික පක්‍ෂය මේ සුළු කාලය තුළ පෙන්නුවේ නැහැ තමන් රාජ්‍ය පාලනයේදී සන්ධානයට වඩා ගුණාත්මකයි කියලා. මහ බැංකු අධිපතිගෙ ප්‍රශ්නය නරක විධියට එක්‌සත් ජාතික පක්‍ෂයට බලපෑවා. ඒක වහන්න උත්සාහ දැරීමෙන් තව තවත් වියවුලට ගිය එකයි වුණේ. ඊට වැඩිය හොඳයි මහ බැංකු අධිපතිට ඉල්ලා අස්‌වෙන්න කියලා වෙන කෙනෙක්‌ව පත් කළා නම්. ඒක කළා නම් ප්‍රශ්න ගොඩක්‌ විසඳෙනවා.

ප්‍ර - මහ බැංකු අධිපතිගේ මේ බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට රුපියල් කෝටි 5000 ක පමණ පාඩුවක්‌ සිදුවූ බව කියනවා නේද?

පි - මෙහිදී වැරදි ප්‍රතිපත්තියක්‌ ක්‍රියාවට නැංවූවාය කියන එක බොහොම පැහැදිලියි. පටිපාටියට පිටින් ක්‍රියාකළැයි කියන එක බොහොම පැහැදිලියි.

ප්‍ර - පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ඉදිරි මැතිවරණයට ජාතික හෙළ උරුමය තරග කරන්න බලාපොරොත්තු වන්නේ කොහොමද?

පි - සාමාන්‍යයෙන් මෛත්‍රී ජනාධිපතිතුමා සමග එක්‌ව කටයුතු කිරීමට තමයි හෙළ උරුමය උත්සාහ කරන්නේ. හැබැයි ඒක තීරණය වෙන්නේ ඉදිරියේදී හදන ප්‍රතිපත්ති සහ සැලසුම් අනුව තමයි. රටේ තත්ත්වය බලල තමයි අපට තීරණයක්‌ ගන්න වෙන්නේ. දැනට අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. හැබැයි මේ ගැන අපේ පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණයක්‌ අරගෙන නැහැ.

ප්‍ර - ජාතික හෙළ උරුමය මුලදී භික්‌ෂූන් වහන්සේලාගේ පක්‍ෂයක්‌ විධියටයි දේශපාලනයට එක්‌වුණේ. නමුත් දැන් එහි වැඩි බලය ගිහියන්ට නේද?

පි - ජාතික හෙළ උරුමයෙන් භික්‌ෂූන් වහන්සේලා පමණක්‌ තරග කළ යුතුය කියල කොන්දේසියක්‌ තිබුණේ නැහැ. මුලදී භික්‌ෂූන් වහන්සේලා ඉදිරිපත් වුණා. දැන උගත් පිරිසක්‌ මේ ව්‍යාපාරෙ ඉදිරියට ගෙනියන්න ඕන.

ප්‍ර - ඔබවහන්සේ ඉදිරි මැතිවරණයේදී තරග කරන්න බලාපොරොත්තු වෙනවාද?

පි - මගේ ස්‌වභාවය, මම ඒ ඒ කාර්යයන් කරනවා මිසක්‌ ඡන්දෙට ඉදිරිපත් වෙනවාද කියල කල්පනා කරන්නෙ නැහැ. ගම්පහ දිස්‌ත්‍රික්‌කයට මම පසුගිය කාලෙ ගිහිල්ලම නැහැ. මේ ඡන්ද ක්‍රමය හදන්නයි, 19 වැනි සංශෝධනය ගැනයි දිගටම සාකච්ඡා කළා හුස්‌ම ගන්නවත් වෙලාවක්‌ නැහැ. මැතිවරණ ක්‍රමය ගැන රෑ දෙක තුන වෙනකම් පසුගිය කාලෙ සමහර දවස්‌වල සාකච්ඡා කළා

ප්‍ර - ඒ කියන්නෙ ඔබ වහන්සේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ නැහැ කියන එකද?

පි - තාම තීරණයක්‌ ගෙන නැහැ. අපේ පක්‌ෂෙ එක්‌කත් සාකච්ඡා කරන්න ඕන. පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් අපට කාලයක්‌ තියෙනවා. ඒ එන හැඩගැස්‌ම අනුව තීරණය කරන්න ඕන. අපේ භික්‌ෂූත්වයටත්, ගැළපෙන, අපට සාධාරණීකරණය කරන්න ඕන මැතිවරණයට ඉදිරිපත්වෙන හේතුව. නිකම්ම නිකම් දේශපාලනය කරන්න බැහැ. අපි මුලින් දේශපාලනයට ආවේ භීෂණ කාලෙ. ඊට පස්‌සෙ දේශපාලනයට ආවෙ යහපාලනයක්‌ ඇති කිරීමේ අරමුණෙන්. මා හිතනවා තව අවුරුදු 5 ක්‌ 6 ක්‌ ගියොත් මේ වැඩපිළිවෙළ තහවුරු කරන්න පුළුවන්. ඒක තහවුරු කරන්න පාර්ලිමේන්තුවට යන්න ඕනමද නැද්ද කියන එක තීරණය කරන්න ඕන. ඒක මට තනිවම තීරණය කරන්න බැහැ. තවත් කණ්‌ඩායමක්‌ මාත් එක්‌ක වැඩ කරනවා. ඒ අය අතරමං නොකර ඒගොල්ලන් එක්‌ක සුහදව කතා කරල මගේ පුද්ගලික අභිලාෂය නම් පුළුල් බලවේගයකට නායකත්වය දෙනවා මිසක්‌ පටු තැනක හිරවෙන්න මං කැමැති නැහැ. දැන් මගේ පුද්ගලික අභිලාෂය විවෘතව ජනතාවට කියන්න ඕන විසුරුවා හැරියට පසු මොනවද කරන්නෙ කියලා

සාකච්ඡා කළේ දයා ලංකාපුර
 

No comments:

Post a Comment