Tuesday, June 30, 2015

දිවයින කතුවැකිය




මැතිවරණ යුද්ධය ආසන්නයේ සිට ලියමු

ඊයේ රත්නපුරයේදී ප්‍රධාන පක්‍ෂයක පුද්ගලයකු ඝාතනය වී බැනර් කටවුට්‌ කපා දැමූ බවක්‌ වාර්තා වී තිබිණි. ආරංචියේ හැටියට එය අර්ථගන්වා තිබුණේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා ආරම්භවීමක්‌ ලෙසය. එහෙත් ඊයේ දහවල් වනවිට පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට පවසා තිබුණේ එය කිසිසේත්ම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ නොවන බවත් වෙනත් ආරවුලක්‌ හේතුවෙන් සිදුවූ ඝාතනයක්‌ බවත්ය.

පුවතේ හැටියට එය කවරාකාර ඝාතනයක්‌ වුවද මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා "ලිස්‌ට්‌" එකට යැමේ වැඩි ඉඩකඩක්‌ තිබුණු බව පෙනෙයි.

එහි අනෙක්‌ අර්ථය වන්නේ සුපුරුදු ලෙසට මැතිවරණය සමගින්ම ප්‍රචණ්‌ඩ ක්‍රියාද බලාපොරොත්තු විය යුතු බවය. දශක දෙකක තුනක කාලයක සිට රටේ ජනතාව හැඩගැසී සිsටින්නේ මැතිවරණය යනු ප්‍රචණ්‌ඩත්වයට සමාන බව සිතන්නටය. එයට විවිධ හේතු කාරණා තිබේ. පසුගියදා ආණ්‌ඩුව විසුරුවා හරින ලද වහාම අපි මේ ගැන සටහන් කළෙමු. අවශ්‍ය වන්නේ භීතිය වැපිරීම නොව පරිණත දේශපාලන ක්‍රියාදාමයක්‌ බව අපි එහිදී කීවෙමු.

අහක යන "ක්‍රයිම් කේස්‌" පවා මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා බවට පෙරළන්නේද මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලම දිගුවක්‌ ලෙසය. ප්‍රශ්නය වගා කළ හැකි එක්‌ උපක්‍රමශීලී පිළිවෙතක්‌ ලෙස එය හැඳින්විය හැක. කෙසේ හෝ අගෝස්‌තු 17 වැනිදා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී, පිsරිසිදු හා සාමකාමී එකක්‌ බවට පත්කිරීම සියලුම දේශපාලන පක්‍ෂවල වගකීම බව අපි නැවතත් සිහිපත් කර සිටිමු. "කටකතාවක්‌" නිසා ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායමට "රිටර්න්" එක දෙන්නට යැමේ මුග්ධ ක්‍රියාවලියෙන් අත්මිදිය යුතුය. මේ සඳහා සිය පක්‍ෂ ආධාරකරුවාගේ සිට සියලුම අපේක්‍ෂකයන් මෙහෙයවිය යුත්තේ පක්‍ෂ නායකයන්ය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට මැතිවරණ නීතියට අනුව නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන් කැමැති ජනතා නියෝජිතයෙක්‌ පත් කර ගැනීමට ජනතාවට අයිතියක්‌ තිබිය යුතුය. එකී ශුද්ධ වූ අයිතියට බාධා කිරීමට කිසිදු දේශපාලනඥයකුට හෝ ඔවුන් ළඟ දණින් වැටී බත් බැලයන්සේ කටයුතු කරන "ආධාරකරුවා" යෑයි හඳුන්වන රහමෙර කටේ උලාගත් තක්‌කඩියන්ට අවසර නැත. එහෙත් මැතිවරණයක්‌ ආසන්න වන විට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාව ඉදිරියට ගොස්‌ ඔවුන් ලබා දෙන තීන්දුව පිළිනොගන්නා මේ ආධාරකාර තක්‌කඩි සහ දේශපාලනඥයන් ප්‍රචණ්‌ඩත්වය වැපිරීමට පටන් ගනී.

හොර මත්පැන් පෙරන්නන්, කුඩු ජාවාරම්කරුවන්, පාතාල මැරයන් මේ ජනතා නියෝජිතයකු වීම සඳහා කැසකවන්නේ සිය කළු සල්ලි මිටි ගණනින් විසි කරමිනි. පක්‍ෂ විපක්‍ෂ සියලු කණ්‌ඩායම්වලට මේ මැර දේශපාලනය රිංගා ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මෙවැනි මජර චරිතවලට නාමයෝජනා ලබා නොදෙන්නෙමු යෑයි කීවද පසුගිය කාලවකවානුව පුරාම සිදුවූයේ පළාත්a පාලන ආයතනවල සිට පාර්ලිමේන්තුව දක්‌වාම "නොසුදුස්‌සන්" ට අපේක්‍ෂකත්වය ලබාදීමය.

 


 පසුගිය දවස්‌වල අන්තර්ජාල සමාජජාල වෙබ් අඩවියක අපූරු කාරණයක්‌ සටහන් වී තිබිණි.

"වෙන රටකදී, නූගතුන් පාසලට යවති. ලෙඩුන් රෝහලට යවති, කුඩුකාරයන් පුනරුත්ථාපනයට යවති. දූෂිතයන් ගෙදර යවති. හොරුන් සිරගෙට යවති. මිනීමරුවන් පෝරයකට යවති.

"අපේ රටේ........ මේ හැමෝම පාර්ලිමේන්තුවට යවති."

සරල උපහාසාත්මක "යාන්" එකක්‌ වුවද එහි ඇත්තේ අප කියන්නට උත්සාහ දරන දේම ගැඹුරින් කියෑවීමකි. මේ මැතිවරණයේදී සෑම පක්‍ෂයකින්ම තරග කරන අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ දියත් කිරීමට අන්aතරායකාර ඖෂධ පාලක මණ්‌ඩලයට තීරණය කර තිබීම ගැන අපි සතුට පළකරමු.

නාමයෝජනා ලබන අපේක්‍ෂකයන් පමණක්‌ නොව ඔවුන්ගේ සමීපතව ඥතීන් පවා යම්කිසි අන්දමකින් විෂමාචාර සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධදැයි පක්‍ෂනායකයන් දැනුම්වත් කිරීම මෙහිදී සිදු වේ.

වෙනත් ආයතනයකට එවැනි කැක්‌කුමක්‌ වුවමනාවක්‌ ඇතිමුත් රටේ දේශපාලන පක්‍ෂවලට එවැනි වුවමනාවක්‌ හෝ වැඩපිළිවෙළක්‌ නැත්තේ මැතිවරණ ප්‍රචණ්‌ඩත්වයට අත වනන ක්‍රියාවලියකට ඔවුන් එකඟ නිසා දැයි අපි අසමු.

No comments:

Post a Comment