Tuesday, June 23, 2015

බඩු මිල අඩු කලා කියා කොළඹ පුරා බෝඞ් ගහලා.. මොන ලැජ්ජ නැති වැඩක්ද.. කොහෙද බඩු මිල අඩු..

බඩු මිල අඩු කලා කියා කොළඹ පුරා බෝඞ් ගහලා.. මොන ලැජ්ජ නැති වැඩක්ද.. කොහෙද බඩු මිල අඩු.. වත්මන් රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට බඩු මිල පාලන කිරීම සදහා ක‍්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැති බවත් කොළඹ බෝඞ් ගැසීමෙන් පමණක් බඩු මිල අඩු කළ නොහැකි බව ආණ්ඩුව වටහා ගත යුතු බවත් බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ බඩු මිල අඩු කරනවා යැයි කෑ ගැසූ ආණ්ඩුව අද ඇටි කෙසෙල් කෑ උගුඩුවන් තත්වයට පත්ව ඇති බවයි.
සංවර්ධනය නතර වී ඇති බවත් රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවත් පෙන්වා දෙන බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා තමන් රැවටූ ආණ්ඩුවට නිසි පාඩම් ඉගැන්වීමට අවස්ථාව ලැබෙන තුරු ජනතාව පුල පුලා බලා සිටින බවද පෙන්වා දෙයි.
රුපියල් ලක්ෂ 560 ක වියදමින් අත්තනගල්ල දිවිනැගුම සතිපොළ විවෘත කිරීම පැවැති උත්සවයේදී මහ ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙම සති පොළ ඉදි කරන ලද්දේ පසුගිය රජය විසින් කි‍්‍රයාත්මක කළ දිවිනැගුම සති පොළ සංවර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේය.
උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
‘ආණ්ඩු එනවා. යනවා. නමුත් මහජනතාවට කරන සේවාව අතර මග නතර නොවිය යුතුයි. පවතින ආණ්ඩුවේ වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි. නමත් වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට චෝදනා කර කර ඉන්නවා මිස කරපු දෙයක් නෑ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ජනවාරි 08 මේ රටේ ජනතාව ඡුන්දය දුන්නා. මැතිවරණ ව්‍යපාරයේදී එතුමා කිව්වා රනිල් අගමැති කරනවා කියලා. ඒ සදහා ඔවුන් ඉදිරිපත් කළේ දින 100 ක වැඩ පිළිවෙලක්. ඒ සදහා රනිල්ව අගමැති කළා. දැන් ආණ්්ඩුවේ දින 100 ඉවරයි. යන්නේ බෝනස් කාල සීමාව.  දින 100 තුළ මේ ආණ්ඩුව කරපු එක සංවර්ධන වැඩක්වත් නෑ.  කළේ මහින්දෝදය නම ගලවන එකයි. අපි හදපු ගොඩනැගිලි විවෘත කරන එකයි. කවුරු හරි මගෙන් ඇහුවොත් අපේ රටේ බිහිවුණුු දැක්මක් නැති ආණ්ඩුව මොකක්ද කියලා මගේ උත්තරේ තමයි ඒ රනිල්ගේ යහපාලන ආණ්ඩුව කියලා.
මම දැක්කා කොළඹ පුරා බෝඞ් ගහලා තියෙනවා බඩු මිල අඩු කලා කියලා. මම අද පොළට ඇවිත් නිකමට වගේ වෙළෙන්දන්ගෙන්  ඇහුවා බඩු වල ගණන් හාල් / පරිප්පු/ සීනි විතරක් නෙවේ මහ ලොකුවට ආණ්ඩුව අඩු කළ කොත්තමල්ලීත් අපහු ගණන් වැඩි වෙලා.
කිව්වේ නම් කොහොමද අපි ආපුහම බඩු මිල අඩු කරලා, රට සංවර්ධනය කරනවා කියලා. ආපු ගමන් බඩු කිහිපයක මිල අඩු කළා. අපි නෑ කියන්නේ නෑ. හැබැයි ඒ මිල පවත්වාගෙන යන්න ආණ්ඩුවට නිසි ක‍්‍රමවේදයක් නෑ. දැන් අඩු කරපුවා ආපහු වැඩි වේගෙන යනවා. මුදල් ඇමතිතුමාගෙයි අගමැතිතුමාගෙයි රූප දාලා කොළඹ බෝඞ් ගහලා බඩු මිල අඩු කරන්න  බෑ කියලා මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වටහා ගත යුතුයි.
අද මේ ආණ්ඩුව කටයුතු කරන්නේ බටහිර රටවල න්‍යාය පත‍්‍රයට අනුව. ඔවුන්ට  ඕන වෙලා තියෙන්නේ මේ රට ඔවුන්ගේ යටත් විජිතයක් කර ගන්න. මොනවා වුණත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්නකොට අපිට අපේම කියලා රටක් තිබුණා. එතුමා අපේ රට හැදුවා. අවුරුදු 30 ක් තිබුණු යුද්ධයෙන් රට ගලවා ගත්තා. හැබැයි අපි නිදහස් කර ගත්ත මේ රට රනිල් වික‍්‍රමසිිංහ නැවත කොටියට පාවා දෙමින් සිටිනවා. අපි මෙහෙම කිව්වහම ආණ්ඩුව හදනවා ජාතිවාදී ලේබල් අලවන්න. අපි කතා කරන්නේ රටේ ඇත්ත තත්වය. ඒ ඇත්ත තත්වය ජනතාව දැන ගත යුතුයි.
යුද්ධ කාළේ වැඩි වශයෙන්ම පීඩාවට පත් වුණේ කාන්තාවන්, දරුවන්. අපේ දෙමව්පියන්ට සිද්ධ වුණා පාසල් වලට ගිහිල්ලා ගේට්ටු ළ`ග මුර කරන්න. සමහර දාට නෝනයි, මහත්තයයි වැඩට ගියේ බස් දෙකක. ඒ ප‍්‍රභාකරන්ගේ බෝම්බෙට අපි බයවෙලා හිටපු කාළේ. යුද්ධය ඉවර කරන්න බලයට පත් වෙච්ච් හැම දේශපාලනඥයෙක්ම උත්සාහ කළා. හැබැයි බැරි වුණා. චන්ද්‍රිකා මැතිණිය සාකච්ඡුා කලා, පේ‍්‍රමදාස ආයුධ දුන්නා, රනිල් රට කඩලම දුන්නා. ඒත් යුද්ධය නතර වුණේ නෑ. මහින්ද මහත්තයා දැනගෙන හිටියා කොටීන්ට උත්තර දෙන්න  ඕනේ භාෂාව.ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා කතාවක් තියෙනවා. ඒ ඒ ප‍්‍රශ්නය හදුනාගෙන දිය යුතුු පිළිතුරු මොකක්ද කියලා හිතන්න තරම් කොන්දක් අපේ ජනාධිපතිතුමාට තිබුණා. ඒකයි අපේ ජනාධිපතිතුමාට පුලූවන් වුණේ විවිධ බලපෑම් එද්දී ඒවට අවනත නොවී යුද්ධය අවසන් කරන්න.
අපි ඒ ලබා ගත් ජයග‍්‍රහණ සියල්ල රනිල්ගේ හොර නඩය ආපහු පාවා දෙමින් සිටිනවා. ඒකයි අපි කියන්නේ නැවත රටට මහින්ද මහත්තයා අවශ්‍යයි කියලා. මහින්ද මහත්තයාට දේශපාලනයට එන්න කියලා ආරාධනා කරන්නේ මේ රටේ ජනතාව. අපි කරන්නේ ඒකට  ඕන කරන පසුබිම සකසන එක. මේ ආණ්ඩුව තව පෝය දෙක, තුනකින් ඉවරයි. එදාට බිහි වෙන්නේ මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවක් මිස මෛතී‍්‍ර – රනිල් ආණ්ඩුවක් නෙවේ. රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවකට තවදුරටත් මේ රටේ ඉඩක් නෑ.
– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment