Tuesday, June 30, 2015

මහ මග භීෂණය මැඬලීමට ජාතික ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාව


මහ මග භීෂණය මැඬලීමට ජාතික ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාව

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හා මරණ වාර්තාවීම සුලබ සිද්ධියක්‌ බවට පත්ව ඇත. පසුගිය දින 09 ක්‌ තුළ මාරාන්තික රිය අනතුරු 75 ක්‌ සිදුවී පුද්ගලයන් 88 ක්‌ ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හරහා හෙළිදරව් කළේය. ඉහත දත්තවල සාමාන්‍යය සැලකිල්ලට ගත්විට පසුගිය දින 09 ක්‌ තුළ දිනකට මාරාන්තික අනතුරු 08 ක්‌ මරණ 09 ක්‌ද, හෝ 10 ක්‌ අතර ප්‍රමාණයක්‌ සිදුව තිබේ. ඒ අනුව මහමග ගමනා ගමනය බිහිසුණු මෙන්ම මහජනයා නිරන්තර මරණ භීතියට පත්කරන තත්ත්වයක්‌ බවට පත්වී ඇත.

පොලිස්‌ රථවාහන අංශයේ වාර්තා අනුව 2015 වසරේ ජුනි මස වන විට වාහන අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 1216 ට වැඩි වන අතර සාමාන්‍යයෙන් වාර්ෂිකව මරණ 2500 ක්‌ පමණ සිදු වන බව වාර්තා වේ. නිරන්තරයෙන් සිදුවන මාර්ග අනතුරු හා මරණ පිළිබඳව සැලකිල්ලට ගත්විට ශ්‍රී ලාංකේය මහජන සුරක්‌ෂිතතාව වෙනුවෙන් මාර්ග අනතුරු වැළැක්‌වීම, පාලනය හා අදාළ කටයුතු කළමනාකරණය, ජාතික ක්‍රියාකාරිත්වයක්‌ බවට පත්කර ගනිමින් එය බලගැන්වීමට වගකිවයුත්තන් මෙන්ම පුරවැසි සමාජය සංවිධානය වීම අද දවසේ අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බවට පත්ව තිබේ.

මාර්ග අනතුරු ලෝක තත්ත්වය

මාර්ග අනතුරු පිළිබඳව ලෝක මට්‌ටමේ තොරතුරු වාර්තා අනුව වාර්ෂිකව පුද්ගලයින් මිලියන 1.3 ක්‌ ජීවිතක්‍ෂයට පත්වේ. මාර්ග අනතුරු හේතුවෙන් ලෝකයේ දිනකට සාමාන්‍යයෙන් සිදුවන මරණ ප්‍රමාණය 3287 ක්‌ පමණ වේ. එයට අමතරව මිලියන 20 සිට 50 අතර ප්‍රමාණයක්‌ තුවාලකරුවන් මෙන්ම අංගවිකලතාවයට ද පත්වේ. මෙසේ අනතුරට පත්වී මිය යන්නේ බොහෝ විට අවුරුදු 15 සිට 44 දක්‌වා වයස්‌ කාණ්‌ඩවල රටක ඵලදායී ශ්‍රම බළකායේ පුරවැසියන් වීම ශෝචනීය තත්ත්වයක්‌ වේ. මනුෂ්‍යයාට මරණය ළඟා කරන ප්‍රධාන සාධක අතර 9 වන ස්‌ථානය ගන්නේ මාර්ග අනතුරුය. දියුණු බටහිර රටවල මාර්ග අනතුරුවල පිරිවැය ගණනය කර ඇති අතර, එය ඇමෙරිකානු ඩොලර් බිලියන 518 පමණ වේ.

වෙන් වෙන්ව ලෝකයේ දියුණු රටවල් කිහිපයක මාර්ග අනතුරු සළකා බලන විට, අමෙරිකා එක්‌සත් ජනපදයේ වාර්ෂික මාරාන්තික මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 37,000 ට වැඩි පිරිසක්‌ මරණයට පත්වේ. එසේම බිලියන 2.35 ක්‌ පමණ පිරිසක්‌ තුවාලකරුවන් මෙන්ම අංගවිකලභාවයටද පත්වේ. එක්‌සත් රාජධානියේ මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව 2000 ට වැඩි වන අතර මාරාන්තික තුවාලකරුවන් බවට පත්වන ප්‍රමාණය 23,039 පමණ වේ. චීනයේ 2014 වර්ෂයේ මුල් මාස දහය තුළ අනතුරු 426,378 කින් මරණ 87,218 ක්‌ වාර්තා වී ඇත. චීනය තුළ වසරින් වසර මාර්ග අනතුරු 1.9% ක වර්ධනයක්‌ සිදුවන බව ද දත්ත වාර්තා හෙළිකරයි. 2013 වර්ෂය තුළ ඉන්දියාවේ මාර්ග අනතුරුවලින් 137,000 පමණ මරණයට පත්වී ඇත. ඉන්දියාවේ මාර්ග අනතුරුවලින් දෛනිකව ළමයින් 16 දෙනකු පමණ මරණයට පත්වන බව ද වාර්තා වේ. නෝර්වේහි මාරක අනතුරු අවම ප්‍රමාණයක්‌ සිදුවේ. 2014 වර්ෂය තුළ මාරක අනතුරු 135 ක්‌ වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 147 ක්‌ වේ. ස්‌වීඩනය ද අනතුරු අවම රටක්‌ වන අතර මෙම රටවල විශේෂත්වය වන්නේ අනතුරු වැළැක්‌වීමේ ජාතික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාවට නැඟීමයිs. ඒ ඒ රටවල දියුණුව ප්‍රතිපත්ති, නීති රීති, මාර්ගවල තත්ත්වයන්. වාහනවල තත්ත්වයන්, ජනතාවගේ විනය හා හික්‌මීම ආදී කරුණු අනුව අනතුරු සිදුවීම හා ඊට ඇති ඉඩකඩ පිළිබඳව වෙනස්‌කම් පවතී.

කෙසේ නමුත් සාමාන්‍යයෙන් ලෝකය පුරා මාර්ග අනතුරු හා මරණ ඉහළ යැමේ ප්‍රවණතාවක්‌ ඇත. එසේ හෙයින් මාර්ග අනතුරු වැළැක්‌වීම සඳහා සමාජ අවධානය මෙන්ම ක්‍රියාමාර්ග ගැනීම ලෝක ජන සමාජයට අත්‍යවශ්‍ය වී ඇත. මාර්ග අනතුරු වැළැක්‌වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වේ නම් 2030 වන විට මනුෂ්‍යයාට මරණය ළඟා කරන ප්‍රධාන සාධක අතර 5 වන ස්‌ථානයට මාර්ග අනතුරු පත්විය හැකි බව පුරෝකථනය කොට ඇත.

මාර්ග ආරක්‌ෂාව සඳහා වූ ක්‍රියාකාරී දශකය.

ලෝකයේ රිය අනතුරු වැළැක්‌වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ක්‍රියාකාරිත්වයක්‌ ගොඩනඟා ඇත. ඒ අනුව "2011 - 2020 මාර්ග අනතුරු වැළැක්‌වීම සඳහා වූ ක්‍රියාකාරී දශකය ලෙස නම් කරමින් ඊට වැදගත්වන කරුණු කිහිපයක්‌ අවධාරණය කර ඇත. ඒවානම් ආරක්‌ෂිත මාර්ග පද්ධතියක්‌ සඳහා මාර්ගවල ප්‍රමිතිය, මාර්ග පරිහරණය සඳහා නිසි දැනුවත්භාවය, මාර්ග නීති බලාත්මක කිරීම, මාර්ග විනය, පශ්චාත් අනතුරකදී කාර්යක්‌ෂම ප්‍රතිකාර සේවා සහ වගකීම් පැවරුන බලධාරී ආයතනයක්‌ මගින් මාර්ග ආරක්‌ෂාව සහතික කිරීම හා කළමනාකරණය සිදුකිරීමය. මාර්ග ආරක්‌ෂාව සඳහා වූ ක්‍රියාකාරී දශකයේ අරමුණු වෙනුවෙන් 2011 වසරේදී මුලපිරීමක්‌ සිදුවුවද එය අද දවසේ බලගැන්වීමට දේශපාලන මැදිහත්වීම හා අදාළ ආයතනමය කැපවීම් අත්‍යවශ්‍ය වේ.

දැරිය නොහැකි වාහන බර හා මාර්ග තදබදය

ලංකාවේ භාවිත වාහන ප්‍රමාණය මිලියන 4.5 ක්‌ පමණ වේ. ඉකුත් මැයි මාසය තුළ අලුත් කාර් රථ පමණක්‌ 3,206 ක්‌ ලියාපදිංචි කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත. 2020 වන විට ලංකාවේ භාවිතා වන මුළු වාහන ප්‍රමාණය මිලියන 60 ට ආසන්න වනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

මාර්ගවලට දැරිය නොහැකි ලෙස වාහන ඝනත්වය වැඩිවීම, අනතුරුවලටත්, වාහන තදබදය තීව්‍රර කිරීමටත් හේතුවේ. උදාහරණයක්‌ ලෙස කොළඹ නගරයේ මාර්ග පද්ධතිය දිනකට වාහන ලක්‍ෂයකට පමණ ධාවනයට සුදුසු ලෙස සකස්‌වී ඇති බවත්, විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රථවාහන ද සමඟ දිනකට වාහන ලක්‍ෂ 2 1/2 පමණ ධාවනයට එකතුවන බවත් පැවසේ. මෙය වාර්ෂිකව 25,000 කින් පමණ වැඩිවීමක්‌ ද සිදුවන බව වාර්තා වේ.

1980 දශකයේ කොළඹ ධාවන වේගය පැයට කි. මී. 40 - 60 වූ අතර වර්තමාන ධාවන වේගය පැයට කි. මී. 8 දක්‌වා අඩුවී තිබේ. එය ඉදිරි වසර 5 තුළ පැයට කි. මි. 06 ක්‌ දක්‌වා තවත් අඩුවනු ඇති බවටද වාර්තා වේ. මෙම ප්‍රවණතාව වටිනා කාලය, බලශක්‌තිය අපතේ යැමක්‌ මෙන්ම රටක කාර්යක්‌ෂමතාව හා ඵලදායීතාව හීන කිරීමටත්, පුද්ගල ආරක්‌ෂාව සෞඛ්‍ය හා පරිසර යටත් අයහපත් ලෙස බලපාමින්, අනපේක්‌ෂිත ගැටලු නිර්මාණය කිරීමට හේතුවනු ඇත.

ලංකාවේ මාර්ග පද්ධතිය අනතුරු අවම කරන තත්ත්වයක නැත. මාර්ග සංවර්ධනයට විශාල මුදල් කන්දරාවක්‌ යට කළද මාර්ග නිර්මාණය හා ප්‍රමිතිය දුර්වල මට්‌ටමක පවතී.

යතුරු පැදි, ත්‍රිරෝද රථ හා අනතුරු

පෞද්ගලික බස්‌ රථ වන්දනා වෑන් රථ හා ට්‍රැක්‌ටර්, වැලි ප්‍රවාහනය කරන ටිපර්, යතුරු පැදි හා ත්‍රිරෝද මගින් මාර්ග අනතුරු සිදුවන අතර වැඩි වශයෙන් යතුරු පැදි හා ත්‍රිරෝද රථ මගින් අනතුරු සිදුවන බව පොලිස්‌ වාර්තාවලට අනුව පෙනේ. යතුරු පැදි හා ත්‍රිරෝද රථ මගින් අනතුරු වැඩි වශයෙන් සිදුවීම දැඩිව අවධානයට ගත යුත්තකි. දිනකට යතුරු පැදි ලක්‍ෂ 29 ක්‌ පමණ හා ත්‍රිරෝද රථ ලක්‍ෂ 06 ක්‌ පමණ ධාවනයට එකතු වන බව පොලිස්‌ රථ වාහන අංශයේ පර්යේෂණයකින් පෙන්වා දේ. මෙම ධාවනකරුවන් බොහෝ පිරිසක්‌ මාර්ග නීති කඩකරන හික්‌මීමක්‌, විනයක්‌ නොමැතිව මාර්ග ධාවනයේ යෙදෙන ආකාරය නිරන්තරයෙන් නිරීක්‍ෂණය කළ හැකිය. ත්‍රිරෝද රථයක උපරිම ධාවන වේගය පැයට කි. මී. 40 වුවත්, ඒ පිළිබඳ බොහෝ පිරිස්‌ කිසිදු තැකීමක්‌ නැත. 4 ස්‌ට්‍රොක්‌ ත්‍රිරෝද රථ බොහෝ මාර්ගවල ධාවනය කරන්නේ පැයට කි. මී. 60 ට 80 ටය. ඉකුත් දිනකදී නුවර මාර්ගයේ කඩවතට ආසන්නයේ කහ ඉරෙන් පාර මාරු වූ පාසල් ශිෂ්‍යාවන් ත්‍රිරෝද රථයක ගැටී පෙර වාසනාවකට ජීවිතය බේරා ගත්තේය. කහ ඉර ආසන්නයේ සෙසු සියලු වාහන නවතා තිබියදී මෙම නොහික්‌මුණු ත්‍රිරෝද රථකරුවා සිසුවිය හා ගැටෙමින් නොනවත්වා වේගයෙන් ධාවනයේ යෙදුණේය. බණ්‌ඩාරගම, වෑවිට ප්‍රදේශයේ ඇවිදීමට වෙන්කර තිබූ මං තීරුවේ ත්‍රිරෝද රථයක්‌ ධාවනය කළ පිරිසකට අවවාද කළ වැඩිහිටි පුරවැසියකු විපතට පත්වූ බව වාර්තා විය.

මහ මග විනයානුකුලව රියෑදුරන් ධාවනයේ යෙදෙන විට නොහික්‌මුණු ත්‍රිරෝද රථ හා යතුරු පැදි රියෑදුරන්ගේ දෝෂ දර්ශනයට පත්වන අවස්‌ථා දැකිය හැකිය. ඔවුන් හඟවන්නේ මාර්ගය ඔවුන්ගේ බවත්, ඉස්‌සර කිරීම් වලින් හෝ රිංගමින් ධාවනයට ඉඩදෙන ලෙසත්ය. එයට බාධා වන විනයානුකූල රියෑදුරන්ට රවමින් දේහ සංඥා ප්‍රහාර කරමින් අශෝභන ධාවනයේ යෙදෙනු නිරන්තරයෙන් දැකිය හැකිය. ප්‍රධාන මාර්ගවල සංඥ නොදල්වා ක්‍ෂණිකව සිදු කෙරෙන හැරවීම් ත්‍රිරෝද රථ විසින් බොහෝ විට සිදුකරති. එය විනයානුකූල රියෑදුරන්ට මහත් අපහසුතාවක්‌ වන අතර අනතුරු ඇතිවීමටද හේතු විය හැකි තත්ත්වයකි. ත්‍රිරෝද, යතුරුපැදි හා බස්‌ රථවලට අමතරව සුපිරි වාහන පදවන බොහෝ පිරිස්‌ සිය වාහනයේ ගැම්ම මහ මගද පෙන්වති. වේග සීමාවන් නොසලකති. නීතිය රකින නිලධාරීන් අපහසුතාවට පත්කරති. ඔවුන්ගේ අශෝභන හැසිරීම් ද කියාපාන්නේ මාර්ගය ඔවුන්ගේ කියාය. මහ මග සුළු අනතුරුවලදී වැරදි කරන පිරිස්‌ විනීත රියෑදුරන්ට වැරැද්ද පටවමින් ඇඟට ගොඩවැදීම ද ඉතාම අසික්‌කිතය. අධික වේගයෙන් ධාවනය, අපරික්‌ෂාකාරී ලෙස ඉස්‌සර කිරීම, සංඥා භාවිත නොකිරීම, ක්‍ෂණික හැරවීම, බීමත්කම, තත්aත්වයෙන් ගරා වැටුණු වාහන ධාවනය, ජංගම දුරකථන භාවිතය, සංවරබව, විනය, හික්‌මීම, නොමැතිකම මාර්ග අනතුරු ඇතිවීමට සෘජුව බලපායි. එසේම පදිකයන්ගේ අපරික්‌ෂාකරී හැසිරීම් හා නොසැලකිල්ල ද අනතුරුවලට හේතු වේ. ඒ අනුව රියෑදුරන් ඇතුළු සියලු පුරවැසියන් ශිෂ්ට ලෙස මාර්ග විනය සකස්‌කර ගැනීම අත්‍යාවශ්‍යය.

මාර්ග ආරක්‌ෂාව හා ජාතික ප්‍රතිපත්තිය

පොදුවේ ගත්විට කවර තරාතිරමක පුද්ගලයකු වුවද කවර රථයක්‌ ධාවනය කළද මාර්ග නීති අකුරටම පිළිපැදීම හා ස්‌වයං විනය පවත්වා ගැනීම සිදුකළ යුතුය. නෝර්වේ, ස්‌වීඩනය හා ජපානය වැනි රටවල මාර්ග අනතුරු අවම වීම කෙරේ ප්‍රතිපත්ති මෙන්ම පුරවැසි විනය ද හේතු වී ඇත.

මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්‌ෂාව පිරිහුණු මමත්වය හා තරගය විසින් මනුෂ්‍යයන් මෙහෙයවන නූතන සමාජයේ කවර ක්‌ෂේත්‍රයක වුවද, විනය, හික්‌මීම, ආචාරධර්ම ගොඩනැඟêම පහසු කාර්යයක්‌ නොවේ. මාර්ග අනතුරු හේතුවෙන් මනුෂ්‍යයන් මියයැම යම් ආකාරයක ජනගහන පාලනයක්‌ ලෙසට අහක බලා සිටීමට මානවවාදයට මෙන්ම ශිෂ්ටත්වයට ගැළපෙන්නේ නැත. තිස්‌ අවුරුදු යුද්ධයෙන් මිය ගිය පිරිසට වඩා වැඩි ප්‍රමාණයක්‌ එම කාලය තුළ මාර්ග අනතුරුවලින් මිය ගිය බවත්, ඩෙංගු මරණවලට වඩා රිය අනතුරු මරණ වැඩි බවත් වාර්තා වේ. ඩෙංගු නිවාරණයට සාමජය දක්‌වන උනන්දුව ඉතා හොඳය. නමුත් එවැනි උනන්දුවක්‌ මාර්ග අනතුරු නිවාරණය සම්බන්ධයෙන් සමාජය තුළ හඳුනාගත නොහැකිය. මිනිස්‌ ජීවිත බිළිගන්නා කවර ප්‍රවණතාවයකදී වුවද ඒවා වැළැක්‌වීමට සමාජ සංවේදිතාව, අවධානය හා උනන්දුව පැවතිය යුතුය. මාර්ග ආරක්‌ෂාව, පාසල් විෂයට ඇතුළත් කිරීම කඩිනම් කිරීමත්, පොදු ජනතාව මාර්ග ආරක්‌ෂාව පිළිබඳව නිසි දැනුවත්භාවයකින් කටයුතු කිරීමත්, මාර්ග ආරක්‌ෂාව කළමනාකරණයත්, මාර්ග අනතුරු නිවාරණයට අත්‍යවශ්‍ය වේ. එසේම මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ක්‍රියාකාරී දශකයේ මූලික අරමුණු පදනම් කරගත් ජාතික සැලැස්‌මක්‌ නොවලහා රටට අවශ්‍යම බව මෙහිදී අවධාරණය කළ යුතුය.

දීපාල් ද සිල්වා

No comments:

Post a Comment