Saturday, June 27, 2015

ඇමරිකානු වාර්තාව හා ජාතික ආරක්‍ෂාව

ඇමරිකානු වාර්තාව හා ජාතික ආරක්‍ෂාව
කොටි සංවිධානය පරාජය කර ලත් අත්දැකීම් බෙදාගැනීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ නිරන්තරව කටයුතු කළ බව රහසක්‌ නොවේ. එනිසාම ලෝකයේ බලවත්ම හමුදා නියෝජනය කරමින් මෙරට පැමිණි කණ්‌ඩායම් ඒ අත්දැකීම් තම රටට රැගෙන යැමට නොපැකිලි වූහ. එනිසාම මේ දිනවල හමුදා සාමාජිකයන් මෙන්ම නාවික හමුදා විශේෂ බළකා සාමාජිකයන්ද චීන හමුදා සමඟත් ඇමරිකානු සීල් භටයින් සමඟත් ඒකාබද්ධ පුහුණු සැසි අරඹා ඇත. 2011 දී පකිස්‌තානයේ ඇබොටාබාද් නගරයේ දී බින් ලාඩන් ඝාතනය කළ සීල් භටයෝ ඉකුත් ජුනි 19 වැනිදා සිට නාවික හමුදා විශේෂ බළකාය සමඟ ත්‍රිකුණාමල මුහුදේදී ඒකාබද්ධ පුහුණු සැසියක්‌ පවත්වති. චීනයේ සිට මෙරටට පැමිණි පනහකට අධික චීන මහජන හමුදාවේ භට කණ්‌ඩායමක්‌ සමඟ හමුදා කමාන්ඩෝ බළකායත්, විශේෂ බළකායත් ඒකාබද්ධ පුහුණු සැසි ආරම්භ කිරීම පසුගියදා බුත්තල දී සිදුකෙරිණි. සීල් භටයෝ ත්‍රිකුණාමල මුහුදේ සටන් පුහුණු වෙද්දී චීන හමුදාව මාදුරුඔය විශේෂ බළකා කඳවුරේදී සටන් පුහුණුව ලබති. "දීර්ඝ කරන ලද සබඳතා වැඩසටහන" නම් ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු භටයින් මෙරට පුහුණු සැසිවලට සහභාගිවන අතර ලුතිනන් කර්නල් කී කින්ගේ නායකත්වය යටතේ මෙරට පැමිණි චීන හමුදා කණ්‌ඩායම ඒකාබද්ධ පුහුණු සැසි සිදුකරන්නේ "සේද මාර්ගය - 2015" යන කුඩා සටහනට අදාළවය. මේ වැඩසටහනට අදාළව මෙරට කමාන්ඩෝ බළකා සාමාජිකයින් මෙන්ම විශේෂ බළකා සාමාජිකයින් පිරිසක්‌ මීට මාස කිහිපයකට පෙර චීනයේද පුහුණු සැසිවලට සහභාගි වූහ.

යුද්ධයක්‌ පැවතුනත් නැතත් හමුදාව නිරන්තරව යුද සූදානමකින් සිටිය යුතුය. ඒ සඳහා පුහුණුවීම් අනිවාර්යවේ. එබැවින් සීල් භටයන් මෙන්ම චීන හමුදාව සමඟද පවත්වන ඒකාබද්ධ පුහුණු සැසි ඉතා වැදගත් බව සටහන් කළ යුතුය. මේ පුහුණුවීම් සිදු කෙරෙද්දී ත්‍රස්‌තවාදය මෙරටින් තුරන් කිරීමට ප්‍රමුඛ කාර්යයක්‌ සිදුකළ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශය ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ඔහුගේ ප්‍රකාශයට පදනම්ව තිබුණේ ඉකුත් 19 වැනිදා ඇමරිකානු එක්‌සත් ජනපද ත්‍රස්‌තවාදයට එරෙහි කාර්යාංශය නිකුත් කළ නිවේදනයකි. එහි සඳහන්ව තිබුණේ 2009 දී කොටි සංවිධානය පරාජය කළද ඔවුනගේ ජාත්‍යන්තර මූල්‍ය ජාලය හොඳින් ක්‍රියාත්මක වන බවය. මේ නිවේදනය පදනම්ව සිය නිවේදනය නිකුත්කර ඇති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරන්නේ රටේ ජාතික ආරක්‍ෂාව අනතුරට පත්ව ඇති බවයි. යහපාලන ආණ්‌ඩුව කොටි සංවිධානය යළි හිස එසවීමට ගන්නා උත්සාහයක්‌ පිළිබඳව නිසි අවධානය යොමුකර නැති බව රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි. ඇත්තෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ධුරයේ කටයුතු කරන සමයේ මෙරට බුද්ධි අංශ ඉතා ශක්‌තිමත්ව ක්‍රියාත්මකවූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ ක්‍රියාදාමයන් නිසියාකාරව ක්‍රියාත්මක වූ නිසාම කුමාර් පද්මනාදන් හෙවත් කේ. පී. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකිවිය. මෙවැනි සුවිශේෂ අත්අඩංගුවට ගැනීමක්‌ ක්‍රියාත්මක කළ එකම ආසියානු රට ශ්‍රී ලංකාව විය. මේ සිද්ධිය පිළිබඳව එක්‌ ඉංග්‍රීසි පුවත්පතක්‌ ලියූ කර්තෘ වාක්‍යයේ සඳහන්ව තිබුණේ "ආසියාවේ ඊශ්‍රායලය" ශ්‍රී ලංකාව බවයි. එනිසාම අපට මැලේසියාවේ ක්‍රියාත්මක කොටි ජාලය අඩපණ කිරීමට හැකිවිය. නමුත් දේදුනු සන්ධානයෙන් බිහිවූ යහපාලන ආණ්‌ඩුව බුද්ධි තොරතුරු ගැන එතරම් උනන්දුවක්‌ දක්‌වන්නේ නැතිද? මෙය බරපතළ තත්ත්වයකි. එනිසාම ඇමරිකානු වාර්තාව ගැන වැඩි අවධානයක්‌ යොමු කිරීම ඉතා වැදගත්ය.

යහපාලන ආණ්‌ඩුවේම නියෝජ්‍ය ඇමැතිවරියක්‌ වන විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සැකකරුවන් නිදහස්‌ කරන්නැයි ඉල්ලද්දී අනෙක්‌ පසින් ඇමරිකාව ජාත්‍යන්තර කොටි ජාලය ක්‍රියාත්මකව පවතින්නේ යෑයි ප්‍රකාශ කරයි. මේ නියෝජ්‍ය ඇමැතිනිය කිහිපවිටක්‌ම මියගිය ප්‍රභාකරන්ගේ අවතාරයට පණදෙන්නට උත්සහ ගත් බව රහසක්‌ නොවේ. යාපනයේ 'විද්‍යා' සිසුවියගේ ඝාතනයෙන් පසුවද මේ නියෝජ්‍ය ඇමැතිනිය උත්සහ කළේ හමුදාවට මඩ ගැසීමටය.

ඔයෑ ෂික්‌බා පුවත්පතේ කර්තෘට ලියුම් තීරයට ලිපියක්‌ එවමින් හිටපු තානාපතිවරයකු වූ කේ. ගොඩගේ මහතා ප්‍රකාශකර කර තිබුණේ යහපාලන ආණ්‌ඩුව ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධව පිහිටුවා තිබූ මූලෝපායික අධ්‍යයන කේන්ද්‍රය වසා දැමීමට ගත් තීරණය ඉතාම වැරදි සහගත බවයි. රටේ ආරක්‍ෂාව සම්බන්ධව නිවැරදි නිර්දේශගුනික තීන්දු ගත් මෙවැනි ඒකකයක්‌ වස දැමීමට තීරණය කිරීම මගින් රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළන බව හිටපු තානාපතිවරයාගේ අදහස විය. ඇත්තෙන්ම අපත් ඒ අදහස අනුමත කරන්නෙමු.

ආණ්‌ඩු මාරු සිදුවුවද රටේ ආරක්‍ෂාව සම්බන්ධව ඇති ජාතික ප්‍රතිපත්ති වෙනස්‌විය යුතු නැත. ලොව අති බිහිසුණු ත්‍රස්‌ත සංවිධානය වූ එල්.ටී.ටී.ඊ. ය මර්දනය කිරීමට හැකිවූයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිවැරැදි මෙහෙයුම් ක්‍රියාවලිය නිසාය. ඒ ක්‍රියාවලිය මේ යහපාලන ආණ්‌ඩුව යටතේ අඩපණවීමට ඉඩදිය යුතු නැත. ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳව වඩා හොඳ අවධානයක්‌ යොමුකිරීම ඉතාම වැදගත් බව සඳහන් කළ යුතුය. රටේ නායකයා ලෙස ජාතික ආරක්‍ෂාව ඇති කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ ඔහුටය. ජාතික ආරක්‍ෂාවට ප්‍රශ්නයක්‌ ඇති වුවහොත් එහි දේශපාලනික අවාසියද කෙලින්ම එල්ල වන්නේ ජනපතිවරයා වෙතය.

රජය දේශීය යුද අපරාධ කොමිසමක්‌ ඇති කිරීමට කටයුතු කරන බව කියයි. එය තවම පිහිටුවා නැතත් ඉදිරියේදී පත්කරනු ඇත. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පීඩනයෙන් මිදෙන්නට මෙම කොමිසම පත්කෙරෙනු ඇත. ඒ අනුව යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසන්නේ කවුරුන්ද? දැනටමත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට තරුණයින් පැහැරගැනීම පිළිබඳ චෝදනා එල්ලවී ඇත. මේ සිදුවන්නේත් යුද අපරාධ කොමිසමට කලින් සිදුවන වික්‍රමයන්ද? ඩයස්‌පෝරා සැණකෙළිය පැවැත්වෙද්දී හිටපු නාවික හමුදාපතිවරයා බන්ධනාගාරයට යවන්නට යහපාලන ආණ්‌ඩුව සූදානම් වන්නේද? හංසයාට ඡන්දය දුන් පිරිස බලාපොරොත්තු වූ වෙනස මෙයද? ඩයස්‌පෝරා සැණකෙළියේ මූලිකයා වන විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ මේ කටයුත්ත සඳහා ජනපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි. ලංකා රජය සංහිඳියාව වෙනුවෙන් කවරක්‌ සිදුකරන්නේද යන්න පිළිබඳව ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය හොඳින්ම ඇස්‌ යොමාගෙන සිටී. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අවශ්‍ය යෑයි කියමින් ඇමරිකාව 2015 ජනවාරි 09 වැනිදා සිදුවූ "රෙජීම" වෙනසට පුළුල්ව දායකවූ බව රහසක්‌ නොවේ. 2008 දී මාලදිවයිනේ සිදුවූ රෙජීම වෙනසකටද ඇමරිකාව ප්‍රමුඛ දායකවිය. නමුත් මාලදිවයිනේ තත්ත්වය දැන් කුමක්‌ද? වෙනසෙන් ජනපති වූ මොහොමඩ් නෂීඩ් දැන් සිරගත කර ඇත. දැන් මාලදිවයින වේගයෙන් මුස්‌ලිම් අන්තවාදය කරා ඇදීයයි. මාලදිවයින් වැසියන් දෙසීයක්‌ ඉස්‌ලාමික රාජ්‍යය වෙනුවෙන් සිරියාවේ සටන්වදින මාලදිවයිනේ වෙනස අපටත් ලැබෙයිද? මෙය බරපතළ අර්බුදයකි.

චතුර පමුණුව

 
Powered By -

No comments:

Post a Comment