Thursday, July 23, 2015

එකවරක්‌ පැරදුණු මහින්ද ගෙදර යායුතු නම් 19 වරක්‌ පැරදුණු රනිල් රට හැර යා යුතුයි

එකවරක්‌ පැරදුණු මහින්ද ගෙදර යායුතු නම් 19 වරක්‌ පැරදුණු රනිල් රට හැර යා යුතුයි
- නිමල් ලන්සා

ආනන්ද නිශ්ශංක - කටුනායක

අද වනවිට කුඩු, එතනෝල් කන්ටේනර් පිටින්ම බහිනවා. මේ අය කරන්නේ අපිට හොරු දූෂිතයෝ කියා කියන එක මතුර මතුර ඉන්නවා විතරයි. මේවා ගැන කථා කිරීමට මා ඕනෑම මාධ්‍යයකින් විවාදයකට ඒමට සැදී පැහැදී සිටිනවා, යෑයි බස්‌නාහිර පළාත් ඇමැති නිමල් ලන්සා මහතා පැවැසීය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් මෙවර මහ මැතිවරණයේ අපේක්‍ෂකයන් වන ප්‍රසන්න රණතුංග, සරත් කුමාර ගූණරත්න, නිමල් ලන්සා, උපුල් රජිත ප්‍රනාන්දු යන අයගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක්‌ කටාන ආසනයේ ජ.නි.පෙ. මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතාගේ සංවිධානයෙන් මහින්ද දිනවමු තේමාව යටතේ කටුනායකදී පැවැති අවස්‌ථාවේදී ඊට සහභාගි වෙමින් නිමල් ලන්සා මහතා මෙම අදහස්‌ දැක්‌වීය.

එහිදී ලන්සා මහතා මෙසේ ද කීවේය. මෙවර බස්‌නාහිරෙන් පාර්ලිමේන්තුවට යැමට හැකි ඉතා දක්‍ෂ තරුණ තරුණියන් විශාල පිරිසකගේ නම් කුහක ලෙස කපා දැම්මා. පාරම්පරික මන්ත්‍රීවරුන් යෑයි සිතාගෙන සිටින දේශපාලකයන් පිරිසක්‌ මහවැලි කේන්ද්‍රයේ සිට දින හතරක්‌ පුරාවටම නිදිමරාගෙන ඒ කටයුත්ත කළා.

ඒ සියලුදෙනා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය සමඟින් එක්‌ව ඒ කටයුත්ත කළ බවට දැනගැනීමට ලැබිලා තිබෙනවා. මෙහෙමත් දේශපාලනයක්‌ මොකටද.

කටානෙන් එ.ජා.ප.යෙන් එළියට පැමිණි 'වන්සොට්‌' කටානේ ජනතාවටත්, පැදුරටත්, නොකියාම රත්නපුරයට පැන්නා.

සැබැවින්ම ඔහු වන්සොට්‌ කෙනෙක්‌මයි. කටානෙන් එකවරයි, රත්නපුරෙන් එක්‌වරයි. මෙවර ගම්පහින් දිවුලපිටියෙන් 'වන්සොට්‌ම' ගෙදරම තමයි.

ඒ මදිවට මේ යෝධයා හැමතැනම කියනවා මහින්ද පැරදුණා නම් ගෙදර යන්න ඕනේ කියා. එහෙමනම් දහනව වතාවක්‌ එක දිගටම පැරදුන රනිල් වික්‍රමසිංහ රටත් අත් හැරලා යා යුතුයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා - පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් අගමැති කරවීම ගැන කථාකරන මෛත්‍රීපාල ජනාධිපතිවරයා තම සභාපති කමත් පක්‍ෂයත් පාවාදෙමින් කටයුතු කරමින් සිටිනවා. එදා 'නහී වේරේන වේරානි' උතුම් බුද්ධ වචනය ඉදිරියට ගෙන එමින් ජනාධිපතිවරණයෙන් ජයගෙන බුද්ධ වචනයටත් පයින් ගහලා වෛරයෙන් ඒකාධිපතියෙක්‌ බව ඔප්පුකරමින් එක්‌ මොහොතකින් රනිල්ව අගමැති කළා.

එදා ජනාධිපතිවරණයේදී මුහුණු පොත හරහා තරුණ මනසට බොරු පොම්ප කරලා තරුණයන් මංමුලා කළාට නැවත ඔවුන් රැවටෙන්නේ නැහැ. රනිල්ලා මෙවර මහින්ද භීතිකාව මත වැඩ අරඹා ගෑස්‌වලින් රුපියල් සීයක්‌ තවත් අඩු කරලා. තව ටික කලකට මැතිවරණය කල්ගියානම් ගෑස්‌ සිලින්ඩරයකින් රුපියල් පන්සීයක්‌ විතර අඩුකර ගන්නත් තිබුණා.

තව ඉදිරියේදී තව මොනවා හෝ අඩුකරයි. හැබැයි බැරිවෙලාවත් රනිල් දිනුවොත් අඩු කරන හැමදේම ක්‍ෂණයකින් ගෑස්‌ වේගයෙන් වැඩි වෙනවා නිසැකයි.

මෙම ජනහමුවේදී මෙවර සන්ධාන අපේක්‍ෂක සරත් කුමාර ගුණරත්න, උපුල් රජිත ප්‍රනාන්දු යන මහත්වරුද වත්මන් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්‌චන්ද්‍ර, ලලන්ත ගුණසේකර, මෙරිල් පෙරේරා යන අයද අදහස්‌ දැක්‌වූහ.

No comments:

Post a Comment