Thursday, July 23, 2015

මහින්ද නිසා වරායට පුදුම පාඩුවක් වුණේ..

මහින්ද නිසා වරායට පුදුම පාඩුවක් වුණේ.. පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් 581 ක් යොදාගෙන ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග හෙළි කළේය.
ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ හිටපු ජනාධිපතිතුමාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා නිදහස් කළ එම සේවකයින්ගේ වැටුප් පමණක් නොව අතිකාල දීමනාද ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගෙවා ඇති බවයි. එයින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට වූ පාඩුව ලක්ෂ 441 ක්වූ බවද ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මැතිවරණ නීතිය අනුව තමන් පරිහරණය කරන නිල රථය සඳහා වූ මුදල් වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතාට බාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මේ රටේ සම්පත් අරගෙන තමයි මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලයේ දේශපාලනය කළේ. රාජ්‍ය සම්පත් පුදුම විදියට පාවිච්චි කරලා එයින් මැතිවරණ ජයග්‍රහණයක් කළා. අද මේ රටේ මහජනතාවට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු හුඟක් අඩපණ වෙලා තියෙන්නේ රජයේ දේවල් පාවිච්චි කරන්න බැරිනිසා. අපි විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවක් වෙනුවෙන් පෙන්නන්න ඕන අපි කරන වෙනස. ඒ වගේම අපි දැක්කා පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් වරායේ සේවකයෝ 581 ක් නිදහස් කරලා තිබුණා පූර්ණකාලීනව මහින්ද රාජපක්ෂ මහත්තයව දිනවන්න. ඒ සඳහා අපේ ආයතනයට ලක්ෂ 411 ක පාඩුවක් විඳගන්න සිද්ධවෙලා තියෙනවා. අද වෙනකොට අපේ ආයතනය කිසි කෙනෙක්ව නිදහස්කරන්නේ නැහැ දේශපාලන වැඩවලට. ඒ අයට නිවාඩු දාලා ගිහින් දේශපාලනය කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ අයට රාජකාරියෙන් එපිට වෙලාවල්වල දේශපාලනය කරන්න අයිතිය ලබාදීලා තියෙනවා. මං හිතනවා මේක පූර්වාදර්ශයක් අපි හැමදෙනාටම’ යැයි ද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.
– තමීර මංජු

No comments:

Post a Comment