Tuesday, July 21, 2015

'ක්‍රිකට්‌' ගැටුමට සැකපිට 6ක්‌ අත්අඩංගුවේ මෙවැන්නක්‌ මෙරට සිදුවූ ප්‍රථම අවස්‌ථාව මෙයයි


'ක්‍රිකට්‌' ගැටුමට
සැකපිට 6ක්‌ අත්අඩංගුවේ

මෙවැන්නක්‌ මෙරට සිදුවූ ප්‍රථම අවස්‌ථාව මෙයයි


හේමන්ත රන්දුණු

ශ්‍රී ලංකා පාකිස්‌තාන ක්‍රිකට්‌ තරගය අතරතුරදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්‌ෂකාගාරයේ හටගත් ගැටුමට සම්බන්ධ පුද්ගලයන් හයදෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට කළු පැල්ලමක්‌ එක්‌ කළ මෙම සිදුවීමෙන් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ඇතුළු පුද්ගලයෝ පස්‌දෙනෙක්‌ තුවාල ලැබූහ.

මෙම ගැටුමට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා සී. සී. ටී. වී. කැමරා දර්ශන පරීක්‍ෂා කරන බව ද පොලිසිය පවසයි.

පාකිස්‌තාන කණ්‌ඩායම ජයග්‍රහණය කිරීමට යද්දී ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු පාකිස්‌තාන ධජයක්‌ වනමින් ප්‍රීතිඝෝෂා කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්‌ මෙම ගැටුමට හේතු වී ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මුලින් වතුර බෝතල්වලින් දෙපිරිස ප්‍රහාර එල්ල කරගත් අතර පසුව එය ගුටිබැට හුවමාරුවක්‌ දක්‌වා දුරදිග ගොස්‌ තිබේ.

ඒ අවස්‌ථාවේ ක්‍රීඩා මණ්‌ඩපය වෙත පැමිණි සහකාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි මහතා ඇතුළු පොලිස්‌ කණ්‌aඩායමක්‌ මෙම ගැටුම පාලනය කර එම ක්‍රීඩා මණ්‌ඩපයේ සිටි සියලුම ප්‍රේක්‍ෂකයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ගැටුම පැවති අවස්‌ථාවේ වතුර බෝතල් කීපයක්‌ ක්‍රීඩාංගණය වෙත ද විසි වී ගොස්‌ ඇත. පාකිස්‌තාන ක්‍රීඩකයන් ඒ අවස්‌ථාවේ පන්දු රකිමින් සිටි අතර ආරක්‍ෂාව සඳහා ඔවුන් ක්‍රීඩාංගණය මැදට පැමිණ ඇත.

ගැටුමට මැදි වූ දෙපිරිස ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණ නැවත ගුටිබැට හුවමාරු කරගෙන තිබේ. ඒ අවස්‌ථාවේ ක්‍රීඩාංගණය පිටත සිටි පිරිසක්‌ ක්‍රීඩාංගණය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කළ අතර මාධ්‍ය කුටියට පවා ගල් ප්‍රහාර එල්ල විය.

පසුව එහි පැමිණි කැරලි මර්දන ඒකකය, පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ විසින් කලහකාරී පිරිස්‌ පන්නා දමා ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වය පාලනය කර තිබේ.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චම්පික සිරිවර්ධන, සහකාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පෞද්ගලිකව මෙම ස්‌ථානය වෙත පැමිණ ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළහ.

No comments:

Post a Comment