Wednesday, July 22, 2015

ලාංකීය දේශපාලන පක්ෂ ඊළාම්කරණවෙමින් පවතීද ?

ලාංකීය දේශපාලන පක්ෂ ඊළාම්කරණවෙමින් පවතීද ?

කතෘ:යුතුකම     7/21/2015   No comments
ඊළම ලඟා කරගැනීම සඳහා ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දිගුකාලින සැලැස්මක ප්‍රතිපලයක් වශයෙන් ඉතා සුක්ෂම ලෙස බෙදුම්වාදයට නතු කර ගනිමින් සිටිනවා දැයි සැකයක් මතුවෙයි.

90 දශයේ මුල් භාගයේ සිට මෙම ක්‍රියාදාමය සිදුවෙමින් පවතින බව මගේ හැඟීමයි. UNP ය බටහිර අධිරාජ්‍යවාදී පක්ෂයක් වූවත් ප්‍රේමදාස සමයේ එය ජාතිකවාදී මාවතක ගමන් කළේය. පක්ෂය තුළත් ඉන් පිටතත් සිටි අධිරාජ්‍යවාදී ගැත්තන් අභූත චෝදනා නගමින් ප්‍රේමදාස මහතා විනාශ කළේය. අවසාන වශයෙන් ඔහුව LTTE මගින් ඝාතනය විය/කරවීය. ඊට සමගමිව අනෙකුත් UNP නායකයන්ද ඝාතනය වූ අතර ඒ වනවිට පක්ෂයේ සිටි ඇලික් අලුවිහාරේ, ගාමිණී අතුකෝරල, ලොකුබණ්ඩාර වැනි ජේෂ්ඨ නායකයන් පසෙකට කරමින් කිසිඳු පෞර්ෂයක් නැති, කථිකත්වයක් නැති, ජනප්‍රිය නැති, ලාබාල,අධිරාජ්‍යවාදී ගැති රනිල් වික්‍රමසිංහ නායකත්වයට පැමිණීම දක්වා වූ මේ සිද්ධි දාමය හුදෙකලා සිදුවීම් මාලාවක්ද!

රනිල්ගේ ආගමනයත් සමග දෙමල බෙදුම්වාදය සම්බන්ධයෙන් UNP ය දැරූ මතය පැහැදිලි වෙනසකට ලක් කෙරිණි.දෙමළ බෙදුම්වාදයට විසඳුම වශයෙන් UNP ප්‍රතිපත්තිය “බලය බෙදීම” ලෙස වෙනස් කළ අතර, අද දක්වා UNP ය බලය බෙදීමක් සඳහා පෙනි සිටියි.

UNP ය සඳහා ඉහත ක්‍රියාදාමයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහාද නායකත්වය හා ප්‍රතිපත්ති වෙනසකිරීමේ ව්‍යාපාරයක් 90 දශයේ මුල් භාගයේ සිට ම ක්‍රියාත්මක විය. නිදසක් පක්ෂය එහි ආරම්භයේ සිට ම ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි අතර බණඩාරනායක මැතිනිය දේශප්‍රේමී මෙන්ම සමාජවාදී ගුණාංග සපිරි නායිකාවක් වූ අතර නිදහස පක්ෂයේ මුලික ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යමින් පැවතිණි.

එහෙත් ඒ වනවිටත් පක්ෂය තුළ ස්ථාවර වෙමින් සිටි ෆෙඩරල්වාදීහු, NGO කණඩායම් සමග එක්වී චන්ද්‍රිකා ලන්ඩනයෙන් ආනයනය කර නිදසක් පක්ෂයේ නායකත්වයට පත් කළහ. ඒ සමඟ බෙදුම්වාදයට විසඳුම වශයෙන් “බලය බෙදීම” නිදහස් පක්ෂය ඇතුළු පොදු පෙරමුණේ ද ප්‍රතිපත්තිය ලෙස සංශෝධනය වීය. ඊට අමතරව ෆෙඩරල්වාදී සුළු පක්ෂ රෝත්තක්ම නිදහස පක්ෂය වටා එකතුවී පක්ෂයේ ජාතිකත්වය තවත් අඩපන කරන ලදී. කරුණු එසේ සිදු වූයේ සාමාන්‍ය සිදුවීම් මාලාවක් ලෙස ද, එසේත් නැත්නම් බෙදුම්වාදයේ අවශ්‍යතාවය සඳහා ද යන්න සිතා බලනු වටී.

ලංකාවේ ආණ්ඩු බලය හිමි කර ගන්නා ප්‍රධාන පක්ෂ දෙක ම බෙදුම්වාදී අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින මට්ටමට ගෙන ඒමට රටේ සතුරන් සමත්වීම සතුරා ලැබූ විශාල ජයග්‍රහණයකි.

කෙසේ වුවත් ප්‍රභාකරන්ගේ අන්ත පැසිස්ට්වාදය මෙම අවස්ථාවේ රටේ වාසියට සිටි අතර “දැන් ටිකක් පස්සේ ගොඩක්” යන දෙමල ප්‍රභූ දේශපලකයන්ගේ හිවල් ක්‍රියාදාමයට තෙල් මල් පුදමින් සිටි රනිල් - චන්ද්‍රිකා සුසංයෝගයට ප්‍රභාකරන්ගේ “මස් රාත්තලම” ඉල්ලීම පරහට සිටියේ ය.

ප්‍රභා සමග මේ වැඩේ කරගත නොහැකි බව දැනගත් අධිරාජ්‍යවාදීන් හා දෙමල ප්‍රභූ දේශපාලකයන් එතැන් සිට ප්‍රභාකරන්ට එරෙහි විය. ඒ මන්ද යත් වර්තමාන ලෝකයේ යුද්ධ කර රටවල් බෙදීම ප්‍රයෝගිකව සිදු කිරීම අපහසු බව ඔවුන් දැන ගෙන සිටි නිසා ය. සටන් කිරීම සතුරාට පීඩනයක් එල්ල කිරීම සඳහා පමණක් බව යුද්දයෙන් මත්වී සිටි ප්‍රභාට නො තේරිණි.

කෙසේ හෝ රටේ දේශප්‍රේමී කණ්ඩායම් මහින්ද රාජපක්ෂ ගෙන ඒමත් සමග දෙමෙළ බෙදුවාදයේ මිලිටරි උපාය මාර්ගය පරාජය කිරීමට හැකි විය. එහෙත් දෙමල බෙදුම්වාදය පෙරටත් වඩා අරමුණු සහගතව හා සැලසුම සහගතව ක්‍රියාත්මක වන අතර ප්‍රභාකරන්ගෙන් මිදුණු ඔවුන් තම දීර්ඝ කාලීන සැලැස්ම ඉතා සුක්ෂමව ක්‍රියාත්මක කරමින් පවතී. මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමෙන් පමණක් ම 90 දශකයේ සිට ක්‍රියාත්මක බෙදුම්වාදී ඊළාම් සැලැස්ම නැවතත් බලගැන්විය හැකි බව ඔවුහු දනිති. ඒ මන්දයත් UNP ය තවමත් රනිල් යටතේ පවතින අතර, ෆෙඩරල් වාදීන් නිදහස් පක්ෂයේ ප්‍රභල ඇමතිවරුන් වන වන බැවිනි. එහෙයින් නැවත ඊළාම් ගමන බලගැන්වීම සඳහා සැපිරිය යුතු එක ම අවශ්‍යතාව මහින්ද ඉවත් කිරීම පමණි. දැන් යහ පාලන ව්‍යාපාරය හරහා නිදහස් පක්ෂයේ බලය ෆෙඩරල් වාදීන්ට නතුවී ඇත. මහින්ද පරාජය කර ඇත. කුමන්ත්‍රණකරීන් දැන් ශ්‍රී ලංකා දේශපාලනය ෆෙඩරල්කරණය කිරීම වේගවත් කර තිබේ.

මේ අතර කලක් බෙදුම්වාදයට එරෙහි ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ සුළු පක්ෂ ද බෙදුම්වාදය සිය ග්‍රහණයට ගනිමින් සිටියි. යම් තරමක හෝ ජාතිකත්වයක් තිබු සෝමවංශ අමරසිංහ JVP නායකත්වයෙන් පමණක් නොව පක්ෂයෙන් ද නෙරපා දමා ඇත. විමල් වීරවංශ, නන්දන ගුණතිලක වැන්නන් කලින් ම ඉවත් කර ඇත. අනුර දිසානායක JVP නායකත්වය පත්වීමත් සමඟ ඔහුගේ සැබෑ බෙදුම්වාදී ක්‍රියාදාමය ආරම්භ කර ඇත. දැන් ඔහු දෙමළ ජාතියට වී ඇති අසාධාරණය පිළිබඳ කතා කරයි. මෙය සාමාන්‍ය බල පෙරළියකින් සිදූවූ දෙයක්ද නැත්නම් සැලැස්මක ප්‍රතිපලයද යන්න සිතා බලනු වටී. JVP හැරදමා කැළණි ගිය අනුර නැවත JVP යට පුනරාගමනය කර බලය ඇල්ලීම කගේ අවශ්‍යතාවයක් විය හැකිද?

ආසන්නම සිදුවීම වන්නේ මා ඇතුළු නුතන දේශප්‍රේමීන්ගේ සිහින කුමරා වූ චම්පික රණවක හරහා හෙළ උරුමයට සිදුවූ විනාශයයි. චම්පික ගැසූ බල්ටියේ තරමින්ම බෙදුම්වාදී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රබලත්වය හා සුක්ෂම බව කොතෙක් දැයි අදහසක් ගත හැකි බව මගේ හැඟීමයි.

එපමණක් නොවේ වෘත්තීයවේදී සංගම් පවා අධිරාජ්‍යවාදී බෙදුම්වාදී බලවේගයට නතුවෙමින් පවතී. මහාචාර්ය නලින් ද සිල්වා නායකත්වය දැරූ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිර්මාල් රංජිත්ට නතු වීම එක් උදාහරණයකි. නිතිකඥ සංගමයේ ක්‍රියා කලාපය, “නව පරපුර” නමින් හඳුන්වන තරුණ කලාකරුවන්ගේ ව්‍යාපාරය හරහා සිදුවෙමින් පවතින්නේ ද එයයි. බොදුබල සේනාව පවා බෙදුම්වාදී අවශ්‍යතාවන් සඳහා මහින්ද පරාජය කිරීමට නිර්මාණය කළ තාවකාලික උපක්‍රමයක් බව දැන් කාටත් පසක් වෙමින් පවතී.

මේ ආකාරයෙන් රටේ පාලක පක්ෂ සහ සිවිල් සංවිධාන කුමන්ත්‍රණකාරී ලෙස බෙදුම්වාදී ප්‍රතිපත්තීන්ට නතු කර ගත් විට ඊළම පිහිටු වීම කජු කනවාටත් වඩා පහසු වනු ඇත.

-නලින්ද කරුණාරත්න 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments:

Post a Comment