Tuesday, July 21, 2015

විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි විශේෂ දීමනාව හමුදාවන්ට අහිමිවේ


විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි
විශේෂ දීමනාව හමුදාවන්ට අහිමිවේ


සමන් ගමගේ

තමන් රාජ්‍ය සේවයට අදාළ නොවන බව පවසමින් රජය මගින් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති විශේෂ දීමනාව හමුදාවන් වෙත ලබා නොදීමට ආරක්‍ෂක අමාත්‍යංශය කටයුතු කර ඇතැයි ත්‍රිවිධ හමුදා නිලධාරීහු පවසති.

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය සඳහා වන අමාත්‍යංශයේ චක්‍රලේඛයකට අනුව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ විශේෂ දීමනාව හමුදා සේවයට අදාළ නොවන හෙයින් එම දීමනාව ලබා නොදෙන බව පවසා ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරෛ¨ක ලේකම් එස්‌ හෙට්‌ටිආරච්චි මහතා අමාත්‍යංශ ප්‍රධාන ගණකාධිකාරිවරයාට දැනුම් දී ඇත.

අතිරේක ලේකම්වරයා විසින් ඉකුත් 15 දා සිය අත්සනින් යුතුව යොමු කරන ලද අදාළ ලිපියේ පිටපත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ටද යවා තිබේ. අමාත්‍යාංශයේ සේවය කරන බවලතියන් තිදෙනකු විසින් ලේකම්වරයාට කරන ලද දැනුම් දීමකින් පසු මෙම දීමනාව ගෙවීමට මුදල් වෙන්කර තිබියදීත් එකී තීරණය ගෙන ඇතැයිද හමුදා නිලධාරීහු සඳහන් කරති.

මෙම දීමනාව ත්‍රිවිධ හමුදාවන් වෙත ලබා දෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කළ බවට පෙරේදා (19දා) ජනාධිපති කාර්යාලය මගින් නිවේදනය කර තිබුණි. නමුත් මේ දක්‌වා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් කටයුතු කර නොමැති බවද එම හමුදා නිලධාරීහු දැඩි කලකිරීමෙන් යුතුව පවසා සිටිති.

හමුදා සේවය රාජ්‍ය සේවයට අදාළ නොවන බව පවසා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මෙවන් තීරණයක්‌ ගැනීමට ආරක්‍ෂක අමාත්‍යංශ කටයුතු කළ ප්‍රථම අවස්‌ථාවද මෙය වන බව ආරක්‍ෂක අමාත්‍යංශය අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

ආරක්‍ෂක අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ මහා භාණ්‌ඩාගාරය මගින් හමුදා නිලධාරීන්ට අදාළ දීමනාව ගෙවීම සඳහා මුදල් ලබාදීමෙන් පසුව බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූ හමුදා නිලධාරින් විශාල පිරිසකට මේ හේතුවෙන් අදාළ දීමනාව අහිමි වී ඇති අතර "අපි වෙනුවෙන් අපි" ලෙස සලකමින් හමුදා නිලධාරින් අරබයා ක්‍රියාත්මක වූ ආරක්‍ෂක අමාත්‍යංශයේ කටයුතු වර්තමානයේ මෙවන් ආකාරයෙන් බාලවීම පිළිබඳව ඔවුහු දැඩි අප්‍රසාදය පළ කර සිටිති.

No comments:

Post a Comment