Wednesday, July 22, 2015

කවරෙක් ද මේ ගෙවිඳු?

කවරෙක් ද මේ ගෙවිඳු?

කතෘ:යුතුකම     7/22/2015   1 comment
මෙවර මහ මැතිවරණය නිමිති කොට-ගෙන පැවැත්වෙන රූපවාහිනී දේශපාලන සංවාදවල දී අඥාන දේශපාලුවනට සතාර්කික වාක්ප්‍රහාරයෙන් පන්න-පන්නා පහර දෙන හැඩිදැඩි පුරුෂයෙක් බොහෝ දෙනා ගේ අවධානයට පත් විය. පැසුණු හිසින් ද පැසුණු නුවණින් ද යුත් හෙතෙමෙ නමින් ගෙවිඳු කුමාරතුංග ය. සක්‍රිය දේශපාලනයෙන් දුරස් ව වෙසෙන ගැමි දනා ඔහු ගැන නොදැනීම නම් විය හැක්කෙකි. එහෙත් ඔහු කවරෙක් දැ යි සොයා-ගත නො හී භ්‍රාන්තියට පත් වූවන් ජාතික දේශපාලනයේ ද එල්ලී සිටීම කරුමයකි. 2015 ජුලි 21 වැනි දා රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාදයට පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයා ගේ මුග්ධ ප්‍රකාශවලින් එබඳු අය සිටින බව ප්‍රත්‍යක්ෂ විණි. මේ සැකෙවි සටහන ලියැවෙන්නේ ගෙවිඳු යනු කුලියට කහින්නෙකැ යි සිතා සිටින එබඳු ඇත්තනට වැඩ පිණිස යි.

පොත් කියවන උදවියට නම් ගෙවිඳු ගේ හඳුන්වා-දෙන්නට දෙයක් නැත. එහෙත් පොත් නො කියවන අමන දේශපාලුවන් හට ගෙවිඳු වෙසෙසින් හඳුන්වා-දිය යුතු ව තිබේ. මෙය කනගාටුවට කරුණෙකි. පොත් කියවන උදවිය ගෙවිඳු හඳුනන්නේ බොරලැස්ගමුවේ විසිදුනු ප්‍රකාශන ආයතනයේ අදියුරුවන් ලෙසිනි. එහෙත් හෙතෙමෙ හුදු පොත් මුදලාලි කෙනෙක් නො වේ. තමා වෙත උස්සා-ගෙන එන ඕනෑ ම කුණු ගොඩක් ලාභ ඉපැයීමේ අරමුණින් පළ කරන පොත් මුදලාලිලා ගේ කුලකයට ගෙවිඳු අයත් නො වේ. ඔහු මෙතෙක් පළ කොට ඇති දෙසිය පනහකට මඳක් වැඩි පොත් තොගය පිරික්සා බලන්නකුට ඒ බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, සූරිය ගුණසේකර, පියසේන කහඳගම, සිබිල් වෙත්තසිංහ වැන්නවුන් ගේ පොත් සේ ම කුමාරතුංග මුනිදාස, රැ. තෙන්නකෝන්, සෙනරත් පරණවිතාන, රැල්ෆ් පීරිස් ආදි පඬිවරුන් ගේ දුර්ලභ පොත් ද යළි පළ කෙළේ ගෙවිඳු ය. ඊට අමතර ව ලංකා ඉතිහාසය පිළිබඳ ව ඉංගිරිසියෙන් ලියැවුණු අගනා පොත් සමුදායයක් ම සිංහලයට නංවා පළ කිරීම ගෙවිඳු ගේ වෙසෙස් මෙහෙවරෙකි. ඔහු වෙත එන කවර ලේඛකයකු ගේ පොතක් වුව විසිදුනු පොතක් ලෙස පළ වන්නේ බස් දොස් ඉඳුරා ම දුරු කිරීමෙනි. ස්වකීය ප්‍රකාශනවල භාෂා රීතියේ නිරවද්‍යතාව පිළිබඳ මෙබඳු සැලැකිල්ලක් දක්වන අන් එක දු ග්‍රන්ථ ප්‍රකාශකයෙක් මෙරට නැත්තේ ය.

මේ කීවේ බොහෝ දෙනා හඳුනන ගෙවිඳු නම් පොත් පළ කරන්නා ගැන ය. ගෙවිඳු නම් දේශපාලන ක්‍රියාකාරියාට ඇත්තේ පොත් ප්‍රකාශකයාට තිබෙනවාට වඩා දිගු ඉතිහාසයෙකි. විද්‍යාවේදී උපාධිය ලබනු පිණිස ශාස්ත්‍ර හැදෑරීමට 1984 දී කොළොඹ සරසවියේ විද්‍යා පීඨයට පිවිසි ගෙවිඳු ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූයේ ය. ඔහු නියෝජනය කෙළේ ඊනියා පරපීඩක වාමාංශික දේශපාලනය නො වේ. ඔහු නායකත්වය සැපැයූවේ ‘ජාතික චින්තනය’ ව්‍යාපාරයට යි. එවක පැවැති ජනප්‍රිය වාමාංශික ශිෂ්‍ය දේශපාලනයේ පරමාර්ථය වූයේ උතුරේ කැරැල්ල පෝෂණය කොට එය දිනූ පසු උතුර පාදක භූමිය කැරැ-ගෙන දකුණේ කැරැල්ල මෙහෙයැවිය යුතු ය යන්න යි. මේ විනාශකාරී දේශපාලන න්‍යායපත්‍රයට විරුද්ධ වීමේ විපාක විසින් වාමාංශික දේශපාලනයේ නියුතු වූ ‘සහෝදරවරුන්’ ගේ බරපතළ මැර ප්‍රහාරයකට ද ගෙවිඳු ලක් විය. එහෙත් ඉන් ඔහු පසු බට වූයේ නැත. නලින් ද සිල්වා ඇතුළු පිරිස එදා ‘චින්තන පර්ෂදය’ පිහිටුවද්දී ඊට ඇතුළත් වූ ළාබාලතමයා වූයේ ගෙවිඳු ය. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා ආදින් ඇසුරේ ජාතිකත්ව චින්තනය පොහොණි වූ හෙතෙමෙ දැන් ‘යුතුකම සංවාද කවයේ’ සභාපතිත්වය දරයි .

මේ නයින් ගෙවිඳු යනු අද ඊයේ ජාතිකත්වය එන්නත් කැරැ-ගත් අවස්ථාවාදියකු නො වන බව ඊනියා වාමාංශිකයන් හා දක්ෂිණාංශිකයන් දත මනා ය. ජාතික වසයෙන් අර්බුදකාරී වූ අවස්ථාවල මෙරට පුවත්පත්වලට ගෙවිඳු සැපැයූ ලිපියක් වත් දැක නැත්තකු ඔහු ගේ ජාතික චින්තනයේ සුජාත භාවය පිරික්සන්නට යෑම හාස්‍යයට ම කරුණෙකි. හෙළ දෙස බස රැස නංවා-ලීමට යටත් විජිත යුගයේ දී දැවැන්ත මෙහෙයක් සිදු කළ කුමාරතුංග මුනිදාස පඬිතුමා ගෙවිඳු ගේ සීයා බව ද ඌ තුමූ නො දනිති. එබැවින් ගෙවිඳු මේ උර දී සිටින්නේ ලේ උරුමයෙන් තමා වෙත පැවැරුණු සුජාත වගකීමට බව ඔවුන් වටහා-ගත යුතු ය. කුමරතුඟු උරුමයෙන් ගෙවිඳු පෙනී සිටින්නේ ද දෙස බස රැස වෙනුවනි. ගෙවිඳු ගේ මෙන් ම අප ගේ ද පරම පැතුම නම් දෙස බස රැස සුරැකිය හැකි කශේරුකාවක් සහිත ජාතික නායකත්වයෙකි. බෙදුම්වාදී න්‍යායපත්‍ර පරාජය කළ හැක්කේ එවන් සැබෑ සිංහල ජන නායකයකුට විනා නෙළුම් කොළේ මත කඩදාසි පිඟාන තබාගෙන කිරිබත් කන ඇමෙරිකා ගැති සිංහල ප්‍රතිරූපකයකුට නො වේ.

අවසාන වසයෙන් මේ ටික ද කිය යුතු ය. මේ සටහන ලීවේ ගෙවිඳු ගැන මා දන්නා ඇත්ත හෙළි කිරීම මා ගේ යුතුකමක් යැ යි සිතුණු බැවිනි. මා මෙබන්දක් ලියන බවක් ගෙවිඳු දන්නේ වත් නැත. මා ඔහු මුණ ගැසී ඇත්තේ ද හතර පස් වතාවක් පමණි. ඊට අමතර ව නොයෙක් කටයුතු සඳහා ඔහු මට දෙතුන් වතාවක් දූරකථනයෙන් කතා කොට තිබේ. ඔහු ගේ පොත් සාප්පුවට මා ගොඩවැදී ඇත්තේ ද දෙවතාවක් පමණි. එබැවින් ගෙවිඳු ගැන මේ සටහන ලිවීමෙන් මා හට කිසි දු දේශපාලනික හෝ ශාස්ත්‍රීය හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බව අවධාරණයෙන් කියමි. මෙබන්දක් ලිවීමට මා පෙලැඹුණේ ගෙවිඳු ගේ දේශපාලන පරමාර්ථය මා ගේ දේශපාලන පරමාර්ථය හා එහැම පිටින් ම අනුරූප බව හැඟී-ගිය බැවිනි.



මවු බිම දිනේ වා!
මේ වගට,
ක. ක. ගනුෂ්ක රන්දුල



ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වූ "ගිරය" වැඩසටහන තුලදී ගෙවිඳු කුමාරතුංගයන් මේ පිලිබඳ දැක්වූ අදහස මෙතනින් නරඹන්න



-යුතුකම පාඨක ලිපියකි

No comments:

Post a Comment