Thursday, July 23, 2015

මං තවමත් අත්නගල්ලේ ශ‍්‍රීලනිප සංවිධායකයි.. – අර්ජුන

මං තවමත් අත්නගල්ලේ ශ‍්‍රීලනිප සංවිධායකයි.. – අර්ජුන තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්  සම කණ්ඩායම් නායක, ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
මහර පිහිටි ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ අත්තනගල්ලේ ත්‍රස්තවාදයද අද වන විට තුරන් කර ඇති බවයි.
“අත්තනගල්ලේ කවදාවත් කොළ කොඩියක් දාන්න දුන්නේ නැහැ. කොළ කොඩියක් දැම්ම කෙනෙක්ගේ අත් කඩනවා. කකුල් කඩනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරයක් කරන්න බැහැ කප්පම්  ගන්නවා. ලොකු ව්‍යාපාරිකයෝ ගැන නෙමෙයි, පාර අයිනේ රඹුටන් විකුණන අහිංසක වෙළෙන්දගෙනුත් රුපියල් 200ක් දවසකට ගත්ත ඇමැතිවරු, සංවිධායකවරු අත්තනගල්ලේ සිටියා. ඒ තත්ත්වය අද අපි වෙනස් කළා. ව්‍යාපාරිකයාට සන්තෝෂයෙන් ව්‍යාපාර කරන්න අවස්ථාව ලබා දුන්නා. භීෂණය නැති කරපු අත්තනගල්ලක් අපි බිහි කළා. අද අත්තනගල්ලේ මහජනතාවට සහනයක් ලැබිලා. භයක් නැතිව කොඩියක් දාන්න පුළුවන් තත්ත්වයක් අත්තනගල්ලේ ඇති වුණේ මම අත්තනගල්ලට ගියාට පස්සේ. අද වුණත් මම අත්තනගල්ලට යන විට නිල් පාට කොඩිත් තියෙනවා. කොළ පාට කොඩිත් තියෙනවා. රතු පාට කොඩිත් තියෙනවා. හැම කෙනාම තමන් කැමැති දේශපාලනය කරනවා. මම තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක. මම තාම අයින් කරලා නැහැ. අයින් කළයි කියලා ලියුමක් එවලත් නැහැ…….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම ජන හමුවේදී අවධාරණය කළේය.
එතුමා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශුද්ධ කිරීම මහමැතිවරණයෙන් පසුව සිදු කරන බවයි. ඒ සඳහා සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දිය යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය.
– තමීර මංජු

No comments:

Post a Comment