Saturday, July 18, 2015

එජාපය පරාද කල යුත්තේ ඇයි?

එජාපය පරාද කල යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     7/16/2015   2 comments
එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ වූයේ 1946 සැප්තැම්බර් 6 වන දින දීය. ඒ ඞී.එස්. සේනානායකගේ මූලිකත්වයෙනි. ඉංග‍්‍රීසින්ගෙන් රට, දැය, සමය නිදහස් කර ගැනීම උදෙසා 1818,1848 අරගල දෙකක් ඒ වන විට සිදුවී හමාරය. මෙම අරගල ඔස්සේ යමින් මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමියන්, අනගාරික ධර්මපාලතුමා ආදී වූ යුග පුරුෂයෝ සැබෑ ලෙසම රට, දැය සමයෙහි නිදහස උදෙසා ජාතික අරගලයන් සිදු කළහ. ඕල්කොට්තුමාගේ පැමිණීමත්,බටහිර අධ්‍යාපනය රටතුල ව්‍යාප්ත වීමත් ආදිය හේතුවෙන් නිදහස් අරගල වෙනත් අතකට තල්ලූ වූ ගිය අතර, රට දැය සමයෙහි නිදහස උදෙසා අරගලය පසෙක දමා බි‍්‍රතාන්‍යයන්ගේ යටතේ හිදිමින් පාලන තන්ත‍්‍රයේ බලතල ලබාගැනීම සදහා පමණක් වූ ව්‍යාපාරයක් බවට පත් විය.

ජාතික සංගමය බිහිවන්නේ මේ පසුබිම තුළය. බටහිර සංස්කෘතිය සහ අධ්‍යාපනය වැදගත් ලාංකික ප‍්‍රභූ පන්තියකින් ජාතික සංගමය සමන්විත විය. මේ අය නිදහස් අරගලයේ නායකයින් ලෙස අද දවසේ හැඳින්වුවද, එය සැබෑ නිදහස් අරගලයක් නොවීය. ඉංග‍්‍රීසින්ගේ සංස්කෘතික හා අධ්‍යාපනය ආධිපත්‍ය පිළිගනිමින්ම ලංකාවේ පාලන තන්ත‍්‍රය සියතට ගැනීමේ උවමනාව පමණක් ජාතික සංගමයේ අරමුණ විය. ඒ අනුව ජාතික සංගමය 1947 මැතිවරණයේ සඳහා එක්සත් ජාතික පක්‍ෂය නමින් ඉදිරිපත් විය. ඒ බි‍්‍රතාන්‍ය කිරීටයේ ආධිපත්‍යයට යට වෙමින් ඩොමිනියන් තත්වයට යටතේය. ඉතාම සරලව කියන්නේ නම් ඉංග‍්‍රීසින් වෙනුවෙන් ලංකාව පාලනය කිරීමට භාර ගැනීම එක්සත් ජාතික පක්‍ෂයේ මුලිකම අභිප්‍රාය විය.

එක්සත් ජාතික පක්‍ෂයේ ආරම්භය එසේ සිදුවීමත් සමඟ 1951 දී සිංහල මහ සභාව පිහිටවා සිටි එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී ගියේය. ඊට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ සුළුතරයක් වූ දෙමළ, මුස්ලිම් ජාතීන්ට බහුතරයක් වූ සිංහලයට වඩා අධිකතර වරප‍්‍රසාද එක්සත් ජාතික පක්‍ෂයෙන් හිමි වීමයි. ඉංග‍්‍රීසින්ට විරැද්ධව සටන් වැදුණු සිංහලයන් ඉංග‍්‍රීසින්ගේ වෛරයට ලක් වී තිබියදී ඔවුන්ගේ දේශීය සේවකයන් වූ එක්සත් ජාතික පක්‍ෂයෙන් සිංහලයන්ට අසාධාරණයට ලක් වීම පුදුමයට කාරණයක් නොවේ.

මෙලෙස ආරම්භවූ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් මුල සිටම ක‍්‍රියා කළේ විජාතික ගැති ප‍්‍රතිපත්තියක් සහ සිංහල විරෝධී ප‍්‍රතිපත්තියකට අනුවය. ආරම්භයේදී ඉංග්‍රීසීන්ට ගැති වූ ප‍්‍රතිපත්තියක් සිටි එක්සත් ජාතික පක්‍ෂ නායකයෝ ලෝක දේශපාලන බලය ඇමෙරිකාව අතට පත්වීමේදී ඉතා දරුණු ඇමෙරිකන් ගැති ප‍්‍රතිපත්තියක්ද අනුගමනය කරන්නට විය. ජේ.ආර්. සහ ඔහුගේ බෑනා වන රනිල් වික‍්‍රමසිංහද උග‍්‍ර ඇමෙරිකන් හිතවාදීන් වනුයේ මේ අනුවය.නොබැදි ජාතීන්ගේ සම්මුතිය පවා උල්ලංඝනය කරමින් ජේ ආර් ඇමෙරිකාව වෙනුවෙන් පෙනී සිටියේය. ඒ අතර විටින් විට ඉන්දියාවේ ආධිපත්‍යයටද එක්සත් ජාතික පක්‍ෂ නායකයෝ දීන ලෙස යටත් විය. වඩමාර්ච්චි මෙහෙයුම සහ ඉන්දු ලංකා ගිවිසුම ඒ බව ප‍්‍රකට වූ අවස්ථා ය.

එජාපයේ ඉහළ සිට පහළ දක්වා පාලනය වන පක්ෂයකි. ඇමරිකාව එංගලන්තය මගින් පක්‍ෂයේ ඉහළ නායකත්වය පාලනය වන අතර පක්‍ෂ නායකත්වය ඒ අනුව සාමාන්‍ය එජාප පාක්‍ෂිකයා මෙහෙයවනු ලබයි. 29 වතාවක් පැරදුණු රනිල් වික‍්‍රමසිංහ තවමත් නායකත්වයේ සිටින්නේ පක්ෂ නායකත්වයට බලපෑමක් නොකෙරෙහිය හැකි ආකාරයේ ආකෘතියක් එජාපය තුල ක්‍රියාත්මක වන බැවිනි.ඒ සදහා සරිලන ආකාරයේ මානසිකත්වයක් එජාප පාක්ෂිකයා අභ්‍යන්තරයේ කාලයක් ති‍ස්සේ නායකත්වය විසින් පැලපදියම් කොට ඇත.පක්ෂයේ අවශ්‍යතාව හා පැවැත්ම උදෙසා පක්‍ෂයේ සභාපති ද රටෙහි ජනාධිපති ද වන මෛත‍්‍රිපාල සිරිසේන හැර දමා ශ්‍රීලනිප පාක්ෂිකයෝ මහින්ද රාජපක්‍ෂ වටා එකතු වූහ. ශ්‍රීලනිපය පාලනය වන්නේ ප්‍රධාන වශයෙන්ම පහළ සිට ඉහළටය.එජාපයේ ආකෘතිය ශ්‍රීලනිපය සමග සංසන්දනය කළ හැකිය. පක්‍ෂයක් තම නායකත්වයට ගෞරවයක් සහිතව පාලනය වීම වරදක් නොවේ. නමුත් නායකත්වයේ රෑකඩයක් ලෙස පාලනය වීමද නායකත්වයට බලපෑමක් කිරීමට පාක්ෂිකයාට නොහැකි නම් ද පාක්‍ෂිකයා යම් ආකාරයේ වහලෙකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පරමාධිපත්‍යය ගැන කතා කරන එජාපය පාක්‍ෂිකයා කෙරෙහි දක්වන්නේ එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි.

ලංකාවේ සංස්කෘතිය සහ සම්ප‍්‍රදායට පක්‍ෂ දේශපාලන, පාර්ලිමේන්තු ක‍්‍රමය ආදිය අවශෝෂණය කර ගැනීමට නොහැකි විය. එහි ප්‍රථිඵලයක් ලෙස පක්‍ෂ දේශපාලනය අද වන විට මඩ ගොහොරුවක් බවට පත්වී ඇත. ඒ කෙසේ හෝ වේවා ලංකාවේ දේශපාලන පක්‍ෂ සඳහා ජනතාව වෙන්වීම සඳහා බලපාන ප‍්‍රධාන සාධකය පරම්පරාවෙන් පක්‍ෂ අනුව වෙන් වීමයි. ඊට අමතරව වෙනත් පෞද්ගලික හා සාමාජීය කාරණාද කෙනෙක් පක්‍ෂකට වෙන් වී යෑම සදහා බලපෑ හැක. නමුත් ඊට අමතරව එජාපය කරා යොමු වීමට බලපාන ප‍්‍රධානතම අදහස් මතවාද කිහිපයක් ම හඳුනාගත හැකිය.

බටහිර දැනුම් හා දේශපාලන ආධිපත්‍යයට යට වීම

බටහිර දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍යය පිළිගන්නා බොහෝ දෙනෙකුට ගෝචර වන සහ එකඟ විය හැකි පක්‍ෂය එජාපයයි.  නීතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම්, සමානාත්මතාවය යහපාලනය ආදි බටහිර ප්‍රෝඩාකාරී සංකල්ප වල කරවටක් ගිලි ඇති බොහෝ දෙනෙක් අද මෙරටින් සොයා ගත හැක. බටහිර ගැති  එජාපයට  මේ අය කත් අදිති.නමුත් ඉතිහාසය පුරා යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ආදිය ප්‍රයොගික තලයේදී අඩුවෙන්ම කියාත්මක කලේ එජාපය යි.ජවිපෙ මර්ධනය,ජේ ආර් පේමදාස සමයේ පාතාලය,ආදි දහසකුත් අතීත උදාහරණද පසුගිය මාස හය තුල සිදුකරණ ලද අගමැති කම පිට්පොකට් ගැසීම, අගවිනිසුරැ ඉවත් කිරීම ,මහ බැංකු මංකොල්ලය ආදීය එජාපයේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය මොනවට කියා පායි. මේ බටහිර දැනුමේ දාසයන් සහ එජාපය අතර ඇති සම්බන්ධයට ප්‍රධානම හේතුව බටහිර ගැති පොදු සාධකය විනා අන් කිසිවක් නොවේ. රනිල්ගේ බටහිර ගැති ස්වරූපය මේ අය මහ ඉහළින් අගය කරති. රනිල්ව ඇමෙරිකාව අඳුනනවා. රනිල්ව තමා ජාත්‍යන්තරය පිළිගන්නේ ආදී නොයෙකුත් හීනමානි අදහස් බොහෝ එජාප පාක්‍ෂිකයන් තුළින් දැකගත හැකිය. රනිල්ව බටහිර විසින් පාවිච්චි කරනු ලබන්නේ බළල් අතක් ලෙස මිස රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස නොවන බව පාක්‍ෂිකයන්ට නො වැටහේ.රනිල්ගේ නායකත්වයේ දුර්වලතාය නොහැකියාව ආදී නොයෙකුත් අඩුපාඩු වසා දමන්නේ පාක්ෂිකයා තුලට එවැනි අදහස් එන්නත් කිරීම මගිනි.

සිංහල බෞද්ධ විරෝධය
 
ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්‍ෂ සිංහල බෞද්ධ සංස්කෘතිය නොසලකා හිඳීමේ හෝ සිංහල බෞද්ධ විරෝධි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. බණ්ඩාරනායක මහතා එජාපය හැර යන්නේද  මූලික වශයෙන් ඒ හේතුව නිසාය. විද්‍යාලංකාර ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙස යක්කඩුවේ පඤ්ඤාරාම මාහිමියන්ට ඞී.එස්.සේනානායක බලපෑම් කළේය. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාව ජාතික දේශපාලනයෙන් ඉවත් කර තැබීමට එජාපය අතීතයේ සිට උත්සාහ කලේය.අද මහින්ද රාජපක්ෂ මහතාට භික්ෂුන් වහන්සේලාගෙන් වීශාල සහයෝගයක් ලෑබිම එජායට දිරවා ගත නොහැකි වී ඇත්තේ ඒ අනුවය. වර්තමාන එජාප නායක රනිල් වික‍්‍රමසිංහ දරුණු ආකාරයේ සිංහල බෞද්ධ විරෝධියෙකි. රනිල්ගේ පියා ඇංග්ලිකන් ක‍්‍රිස්තියානි වූ අතර බාප්පා ඇංග්ලිකන් ක‍්‍රිස්තියානි පූජකයෙකු විය.

ලේක් හවුසිය හරහා ධර්මපාලතුමාට දරුණු ලෙස අවලාද නගමින් පහර දුන්නේ රනිල්ගේ මවගේ පරම්පරාව බව බොහෝ දෙනාට අමතකව ගොසිනි. රනිල් බෞද්ධයෙකු ලෙස පෙනී සිටියද ඔහුගේ සංස්කෘතිය හා පසුබිම ඇංග්ලිකන් ක‍්‍රිස්තියානිය. සිංහලයන් දහස් ගණනාවක් ඝාතනය කළ පෘතුගිසින් ලංකාවට පැමිණීම සැමරීමට රනිල් වරක් උත්සාහ කළේය. විජයදාසලා රෝසිලා මේ රට සිංහලයන්ට අයිති නැති බවට දොඩවන්නේ රනිල් වික‍්‍රමසිංහ ඒවා පිටුපස සිට අනුමත කරන නිසාය.
ආරම්භයේ සිටම එජාපයට විශාල සුලූ ජන වර්ග පදනමක්  විය. එජාපය එම ඡන්ද ආරක්‍ෂා කර ගැනීම උදෙසා සෑම විටම සිංහල විරෝධි පදනමක් භාවිත කලේය.වර්තමානයේදී සිංහලයන්ගෙන් අනෙකුත් ජාතීන්ට අසාධාරණයක් වී ඇති බවට අමුලීක චෝදනා නගමින් සුලු ජනවර්ග ඉතාමත් අවස්ථාවාදී ලෙස එජාපය විසින් භාවිතා කරනු ලබයි.එය එසේ සිදුකරද්දී තමන් ජාතිවාදී නොවන බවටද දොඩවමින් එජාපය ජනතාව රවටමින් සිටී.
 
එජාපය පරාද කල යුත්තේ ඇයි

ආරම්භක අවධියටත් වඩා මෙරට ඒකීයත්වයටත්,සම්ප්‍රදායටත් සංස්කෘතියටත් ජාතිකත්වයටත් එරෙහි මාවතක අද වන විට එජාපය ගමන් කරමින් සිටී.සේනානායකලා තුල තිබු ජාතිකත්වයෙන් ඉහදක් තරම්වත් වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ තුලින් දැක ගත නොහැක.ආරම්භක නායකයින් දෙස බලා අද දවසේ එජාපයට ජන්දය ලබා දෙන්නේ නම් එය තමා විසින්ම තමන්වම රවටා ගැනීමකි. සිරිකොත අද වන විට බටහිර ඒජන්තයින්ගේද දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ගේද සිංහල බෞද්ධ විරෝධීන්ගේද ගුබ්බෑයමක් වී හමාරය.

තම බලය උදෙසා දෙමළ ජාතීවාදීන්ට කප්පන් දීමට රනිල් වික්‍රමසිංහ සූදානම්ය.2002 දී මෙන් උතුරැ නැගෙනහිර දෙමළ ජාතීවාදීන්ය බෙදා වෙන් කර දීම කාලය පිලිබද ප්‍රශ්නයක් පමණි.විදේස ආධිපත්‍යයට යටවෙමින් රටෙහි ස්වෙරීත්වයට පයින් ගසා බටහිරයන්ගේද ඉන්දියාවේද පිළිකන්නක් බවට ලංකාව පත් කිරීමට එජාපය සූදානම්ය.ඒ අතර එජාපයේ මේ දේශද්‍රෝහී ක්‍රියාවන්ට විරැද්ධව සටන් වදින සිංහල බෞද්ධයන් මර්ධනය කිරීම එජායේ අද දවසේ කාර්යභාර්ය ය වී ඇත.

මේ කිසිත් නොදන්නා ග්‍රාමීය සිංහල බෞද්ධ පාක්ෂික පිරිසක්ද එජාපයට නැත්තේ නොවේ.ඒ අයගේ ජන්ද එජාප නායකත්වය විසින් භාවිතා කරනු ලබන්නේ ඔවුන්ගේම සංස්කෘතිය සහ අයිතීන්ට එරෙහිවය.මේ අවාසනාව නොතේරෙන තරමටම පාක්ෂිකයාගේ ඔලු සේදී දීමට තරම් එජාප නායකත්වය දක්ෂ වී ඇති බවත් කිව යුතුය.

එළඹෙන මැතිවරණයේදී එජාපය ජරාද කිරීම හුදෙක් ‍එක් දේශපාලන පක්ෂයක් පරාද කිරීමක් පමණක් නොවේ.මෙරට ජාතිකත්වයට එරෙහි බලවේග පරාජය කිරීමකි.මාතෘභූමියේ ඒකියත්වය සහ ස්වෙරීත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමකි.දේශ හිතේෂි සියලුදෙනා ඉදිරි මැතිවරණයේදී එජාපය නියත ලෙස පරාද කිරීමට වග බලා ගත යුතුය.

-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments:

Post a Comment