Thursday, July 23, 2015

බැඳුම්කර නිකුතුවට අදාළ කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පැනවූ තහනම අහෝසියි


බැඳුම්කර නිකුතුවට අදාළ කෝප් වාර්තාව
ප්‍රසිද්ධ කිරීමට පැනවූ තහනම අහෝසියි

සරත් ධර්මසේන

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කථානායකවරයා පත්කළ පොදු දේපළ පිළිබඳ කාරක සභාවේ (කෝප්) අනු කමිටුව විසින් සකස්‌ කර ඇතැයි කියන වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගය ඊයේ (23 දා) අහෝසි කරන ලදී.

කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් ඉකුත්  17 දා එම නියෝගය පනවනු ලැබුවේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කෝප් කාරක සභාවට එරෙහිව නඩුවක්‌ පවරමින් කළ ඉල්ලීමක්‌ අනුවය.

එදා තමා කළ ඉල්ලීම අස්‌කර ගන්නා බව සේනසිංහ මහතා ඊයේ සිය නීතිඥවරයා මගින් දිසා අධිකරණයට දන්වා සිටියේය. කෝප් කාරක සභාවට පැනවූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සලකා බැලීම සඳහා මෙම නඩුව අතිරේක දිසාවිනිසුරු සුමිත් පෙරේරා මහතා හමුවේ කැඳවා තිබිණි.

සේනසිංහ මහතා මෙම නඩුව පැවරුවේ කෝප් කාරක සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා ඇතුළු සාමාජිකයන්ට එරෙහිවය. සේනසිංහ මහතාද 'කෝප්' කාරක සභාවේ සාමාජිකයෙකි.

ඔහු නඩුවෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව දැන් අහෝසි කර ඇති බැවින් එය කවදා හෝ පාර්ලිමේන්තුවේ සභාගත කරන තුරු ප්‍රසිද්ධියට පත් කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක්‌ බවයි.
 

No comments:

Post a Comment