Thursday, July 23, 2015

ෂෙල් ගෑස්, සිපෙට්කෝ, ලංකා හොස්පිටල් විකුණන්න සූදානම්.. පිස්තෝල කල්ලි යොදා මහින්ද ඝාතනය කරන්න හදනවා.. පක්‍ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්‍ෂ සාමාජිකයන් දිවිහිමියෙන් රැක ගැනීමට තැත් කළ ‘ඒකීයභාවය’ යන සංකල්පය මෙවර තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ඉවත් කිරීමෙන් අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණට ‘වාර්තාගත නායකත්වයක්’ සපයා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා කොළඹ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.
එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පසුගිය ජනවාරි මස 08 වැනිදාට පසුත් මේ අවස්ථාවේදීත් කටයුතු කරන්නේ ‘දිනූ දේ රැක ගනිමු!’ කියන තමන්ගේ සටන් පාඨයට අනුව. ඒකට අපේ එකතු කිරීමක් තියෙනවා, ‘දිනූ දේ රැක ගනිමු, ඕනෑම කප්පමක් දීලා’ යනුවෙන්. එවිටයි රනිල් වික‍්‍රමසිංහලාගේ සැබෑ ක‍්‍රියාකාරීත්වය කියැවෙන්නේ.
මේ දිනවල සිදු වෙන්නේ දිනූ දේ රැකගන්න, දිනුමට උපකාර කළ සෑම දෙනාටම කප්පම් ලබා දීම. ඉන්දියාවට ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ටික දෙන්න හදනවා. නොරොච්චෝලේ තවත් කට්ටියකට දෙන්න හදනවා. සම්බන්ධන් මහත්තයා කියනවා, ‘ජනවාරි 08 වැනිදාට කලින් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අපට පූර්ණ ස්වයං පාලනය දෙන්න එකග වුණා’ කියලා. මුස්ලිම් කොංග‍්‍රසය කියනවා, ‘අපට නැඟෙනහිර වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් දෙන්න එකඟ වුණා. අපි ඒකට ගිවිසුමක් අත්සන් කළා’ කියලා. ඒ විතරක් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට CTB බස් ලැබෙනවා, රුපියල් ලක්‍ෂ 08කට, අයි. ටී. එන්., ලක්හඬ පැය 04ක සජීවී විකාශන ලැබෙනවා. අපට ආරංචි විදියට ඒ ලක්‍ෂ 08 හා එම උත්සවය පැවැති ස්ථානයට මුදල් ගෙවලා තියෙන්නේ වෙනත් අය. අපට ඊයේ දැක ගත හැකි වුණා, එම උත්සවයට වියදම්කර ඇති ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ සතුව දැන් කොතරම් ධනයක් තිබෙනවාද, කියා. ඒක තමයි ජවිපෙට රනිල් මහත්තයා දුන්නු සන්තෝෂම.
මේ වන විට ඛනිජතෙල් නීතිගත සංස්ථාව ‘භාරත් පෙට්රෝලියම් සමාගමට’ විකුණන්න හදනවා. මීට පෙරත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ඛනිජතෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමට උත්සාහ කළා. එසේම චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ ඇයගේ බලපෑම මත පර්ක් ආයතනයේ(රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසම) සභාපති මනෝ තිත්තවැල්ල ඛනිජතෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමට තැත් කළා. එවකට විෂයභාර අමාත්‍යවරයා වූ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා වැඩ කරන ජනතාවගේ විරෝධය මත එම උත්සාහය ව්‍යර්ථ වූවා. ඒ නිසයි ශ‍්‍රී ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමේ ඒකාධිකාරිය ඉන්දියන් ඔයිල් කෝපරේෂන්(IOC) සතු නොවූයේ. ඒ විදියට එදා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රාජ්‍ය පංගුව ආරක්‍ෂාකර ගැනීමට දේශපේ‍්‍රමී වැඩ කරන ජනතාවට හැකි වුණා. නමුත් අද මොකද වෙන්නේ? මේ යහපාලන ආණ්ඩුව ආයතනයට සිදුවන දීර්ඝකාලීන හානිය ගැන සත පහක හැඟීමක් නැතිව ඡන්ද ලබා ගැනීමේ පටු පරමාර්ථයෙන් ඉන්ධන මිල අඩුකර තිබෙනවා. දැන් ‘පාඩුයි, පාඩුයි’ කියමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව ‘භාරත් පෙට්රෝලියම් සමාගමට’ විකුණා දැමීමට සැරසෙනවා. ඒ විතරක් නොවෙයි, ලංකා හොස්පිටල් සමාගමේ රජය සතු සියලු කොටස් විකුණා දැමීමට සැරසෙනවා. අනෙක් එක ලිට්රෝ ගෑස් සමාගම. එය මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් ෂෙල් සමාගමෙන් යළි රජයට පවරා ගත්තා. අද යහපාලන ආණ්ඩුවෙන් ලිට්රෝ ගෑස් සමාගම යළි මිලදී ගන්න ෂෙල් සමාගමේ ප‍්‍රධානීන් කොළඹට පැමිණ ඇති බව අපට ආරංචි වී තිබෙනවා.
මහින්ද රැක දුන් දේ රනිල් බිල්ලට දෙනවා!
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මේ රටේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම නතර කළා. ෂෙල් සමාගම රජයට ගත්තේ රක්‍ෂණ සංස්ථාවේ අරමුදල් යොදවලා. ඒ විදියට රාජ්‍ය අංශය, රාජ්‍ය සමාගම් ශක්තිමත් කළා. ඒවායේ රාජ්‍යය සතු කොටස් වැඩි කළා. දැන් මේ රනිල් ප‍්‍රමුඛ ආණ්ඩුව මහින්ද ප‍්‍රමුඛ ආණ්ඩුව රැක දුන් සියල්ල බිල්ලට දීමටයි සැරසෙන්නේ.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද මොන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වූවත් මේ වන විට එතුමාගේ සැබෑ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වා ඉවරයි. ඒක තමයි 2002 දී ගෙනා ‘රිගේනින් ශ‍්‍රී ලංකා : යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩපිළිවෙළ. එරාන් වික‍්‍රමරත්න මහත්තයා කොළඹදී පැවැති ව්‍යාපාරික හමුවකදී පවසනවා, ‘මේ මැතිවරණ ක‍්‍රමය නිසා අපට ජනප‍්‍රිය ප‍්‍රතිපත්තිවල ඉන්න වෙනවා. හැබැයි අපේ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව වෙනසක් සිදු කරනවා’ කියලා.
ඔහු කියන මේ වෙනස තමයි, නොමිලේ ලැබෙන ජලය, සහනාධාර ලෙස ලැබෙන පොහොර, රජය විසින් තීරණය කරනු ලබන මිල(සහතික මිල) කියන සාධක තුන වෙනස් කරලා වාණිජ කෘෂිකර්මාන්තයකට මෙරට කෘෂිකර්මාන්තය පරිවර්තනය කිරීම. එතකොට නොමිලේ ජලය ලබා දීම නවතිනවා. සහනාධාර ලෙස පොහොර ලැබීම නතර වෙනවා. ඒ විතරක් නොවෙයි රජය විසින් මිල තීරණය කිරීමත් නතර වෙනවා. මේක තමයි එක්සත් ජාතික පක්‍ෂයේ සැබෑ ප‍්‍රතිපත්තිය. මේ කරුණු එරාන් වික‍්‍රමරත්න මහත්තයා මීට මාස කිහිපයකට පෙර පැවැති ව්‍යාපාරික හමුවකදී පවසා තිබුණා. ඒ බව The Island පුවත්පතේ ආර්ථික කරුණු පිළිබඳ පිටුවේ වාර්තා කොට තිබුණා.
මේ මගින් පැහැදිලි වෙනවා, රටට මොන බොරු පොරොන්දු හදලා ඉදිරිපත් කළත් එජාපයේ පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය, ඔවුන් අතහැර නැහැ කියලා. සතොස ආයතනයේ අද රාක්ක හිස් කරලා හෙට දිනයේ කාර්ගීල්ස් සමාගමට විකුණා දැමීමට මේ ආණ්ඩුව සූදානම් වෙනවා. මේ මාස 06ක අස්වැන්න. මේ අය බැරිවෙලාවත් අගෝස්තු 18 වැනිදා ඒ අයගේ පාලනයක් පිහිටුවොත් මේ රාජ්‍ය ආයතන සියල්ල අපට අහිමි වෙනවා පමණක් නොවෙයි, රට ආර්ථිකමය වශයෙන් දරුණු අගාධයකට ඇද වැටෙනවා.
බලන්න මේ අය රටේ ආරක්‍ෂාව දෙස බලන විදිය. මිරිහානේදී හමු වූ සුදු වෑන් එකේ සිටි ආරක්‍ෂක හමුදා සාමාජිකයන් 04 දෙනා සහ එහි තිබී හමු වූ මේජර් ජෙනරාල් ප‍්‍රසන්න ද සිල්වා මහතාගේ පිස්තෝලය එදාම උසාවියට ඉදිරිපත් කළා එදාම ඇප දුන්නා. සාමාන්‍යයෙන් ගිනි අවි පනත යටතේ එසේ ඇප දීමට බැහැ. කොහොමද එහෙම ඇප ලැබුණේ? පොලීසිය භාර ඇමති ජෝන් අමරතුංග මොකද මේ ගැන කියන්නේ? ඔහු කියනවා, ‘මේ සුදු වෑන් රථය ගෝඨාභයගේ. ඒ ගැන සොයන්න ඕනෙ’ කියලා. නමුත් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියනවා, ‘මේ සුදු වෑන් එක හමුදාවේ. ඒකෙ නොම්බර තහඩුව නම් වෙනස් කරලා’ කියලා. ජෝන් අමරතුංග මහත්තයා එකක් කියනවා, හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියනවා තවත් එකක්. ඇයි ජෝන් අමරතුංග මහත්තයා, මේ වෑන් එක ගෝඨාභයගේ කියලා වෙන කතාවක් හදන්නේ? තමන් කරන්න හදපු දේ වහන්න නේද මේ අය උත්සාහ කරන්නේ? මේ අය මේ වෙන ප‍්‍රබන්ධයක් ගොතන්නේ තමන් කරන්න හදපු දේ හෙළිදරව් වුණු හින්දා නේද? හමුදා ප‍්‍රකාශකවරයාට දේශපාලන න්‍යාය පත‍්‍රයක් නැහැ. ඔහු ඇත්ත කීවා. ‘මේක එල්. ටී. ටී. ඊ. යෙන් අල්ලාගත්තු වාහනයක්. ඒක දැන් හමුදාව සතුයි’ කියලා ඔහු ඇත්ත කීවා. ජෝන් අමරතුංග මහතා ඊට පටහැනි දෙයක් කියලා උත්සාහ කරන්නේ අර සාපරාධී ක‍්‍රියාව යටපත් කරන්න නේද?
මේ අය මරන්න හදන්නේ රට බේරාගත් නායකයා
මේ සිදුවීම සරලව හිතන්න එපා! මාධ්‍යවේදීන් විදියට ඔබට ප‍්‍රබල යුතුකමක් තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ ‘සුදු වෑන් භීතිකාවක්’ ගැන මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක් වුණා. නමුත් පෙනෙනවා, කවුද සැබෑවටම සුදු වෑන් පවත්වාගෙන ගියේ කියලා. මේ සිද්ධියත් සමග කවුද, සැබෑ සුදු වෑන්කාරයෝ කියලා අනාවරණය වී තිබෙනවා.
ඒ විතරක් නොවෙයි මේ අය මරන්න ලෑස්ති වෙන්නේ කවුද, කියලා තේරුම් ගන්න. රට බේරාගත්තු නායකයා සහ ආරක්‍ෂක ලේකම්තුමන්ව. එක පැත්තකින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශන වාර්තාවෙන් මේ දෙදෙනා සමූහ මිනිස් ඝාතන චෝදනාවට කොටු කර ගැනීමට සූදානම් වෙනවා. අනෙක් පැත්තෙන් මෙසේ පිස්තෝල කල්ලි ලවා මරා දැමීමට සැරසෙනවා. මේකද ලැබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහිත යහපාලනය?
ජවිපෙ ‘ඒකීයභාවය’ හලලා
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඊයේ එජාපයේ සාදර අනුග‍්‍රහයෙන් එළිදැක්වූවා. එහි කොතැනකවත් ‘ඒකීයභාවය’ කියන වචනය නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී බලවත් සාධකයක් ලෙස සලකපු දෙයක් ‘ඒකීයභාවය’ කියන්නේ. වමේ පක්‍ෂ සමග බෙදෙන්න, දේශපේ‍්‍රමියා, දේශද්‍රෝහියා හඳුනාගන්න ඉර ඇන්දෙ මේ වචනය හරහා.
රටේ ඒකීයභාවය රකින්න තමයි රෝහණ විජේවීර සහෝදරයා තහනම් පක්‍ෂයක් විදියට ඉඳගෙන යුද්ධ කළේ. දැන් අනුර දිසානායක කියනවා ‘මම දැන් ඒවා ගැන හරියට කම්පා වෙනවා’ කියලා. ඒ කියන්නේ එයා විජේවීර සහෝදරයා ගැනත් ඒ වගේම කම්පා වෙනවා ඇති. මොකද, නිර්මාතෘවරයා ගැන කම්පා නොවී ඒ සිද්ධි ගැන විතරක් කම්පා වෙන්න බැහැනේ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ සුරතලාට රෝහණ විජේවීරගේ නායකත්වයෙන් පැවැති පක්‍ෂයේ අතීතය ගැන කම්පාවක් ඇති වීම ස්වාභාවිකයි. ඒක අපට අරුමයක් නොවෙයි.
එදා 2004 දී චන්ද්‍රිකා මැතිනිය සමග ගිවිසුම් ගහනකොට ජවිපෙ සහ ශ‍්‍රී ලනිපය අතර මේ වචනය පිළිබඳ පුදුම විවාදයක්නෙ තිබුණේ. ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් රාජ්‍ය ප‍්‍රතිපත්තියේද ජනතා විමුක්ති පෙරමුණ ඒකීය රාජ්‍ය ප‍්‍රතිපත්තියේද සිටිමින් ඉදිරියට යනු ඇත’ කියලයි අවසානයේදී ගිවිසුම් ගැහුවේ. මේක රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ තීන්දු වන ඉතා වැදගත් වචනයක්. අද එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට සින්න වුණු ජවිපෙ, ඒකීයභාවය රැක ගැනීමට පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60,000ක් පක්‍ෂ සාමාජිකයන් ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ සටන පාවා දීලා තියෙනවා. අද ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනතා විමුක්ති පෙරමුණේ, ඒකීයභාවය නොමැති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් එළිදක්වා තිබෙනවා. මේක ‘හෘදසාක්‍ෂියේ සම්මුතිය’ නොවෙයි, ‘සිරිකොත සමග සම්මුතියයි’ ඒකීයභාවය නොමැති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් එළිදක්වා අනුර දිසානායක මහතා ජවිපෙට ‘වාර්තාගත නායකත්වයක්’ සපයා තිබෙනවා.’’
– අනුරුද්ධ බණ්ඩාර

No comments:

Post a Comment