Sunday, July 19, 2015

සමලිංගික ව්‍යාප්ත වාදය ඉදිරියේ ශ්‍රී ලංකාව දනගැස්වීම

සමලිංගික ව්‍යාප්ත වාදය ඉදිරියේ ශ්‍රී ලංකාව දනගැස්වීම

කතෘ:යුතුකම     7/19/2015   No comments
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ මහ ලේකම් බැංකිමූන්ගේ පරිපාලන චලේඛයට එකඟ වී, යහපාලනය විසින් ශ්‍රී ලංකාව සමලිංගික ව්‍යාප්තවාදය ඉදිරියේ දනගැස්වීම
2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ පැවති ජන්ද විමසීමකදී සිදුවී ඇති සිද්ධියක් නිසා, පසුගිය දිනයක එක්තරා සුළු දේශපාලන පක්‍ෂයක ලේකම්වරයෙක් විසින් සමලිංගික සහවාසය සම්බන්ධව ශ්‍රීලංකා රජයේ ප්‍රතිපත්තිය කුමක්දැයි ප්‍රශ්නකර තිබුණි. එයට පිළිතුරු වශයෙන් රජයේ ගරු නියෝජ්‍ය විදේශ ඇමතිවරයා විසින් දී තිබුණු ලිස්සායන සුළු උත්තරය ඔබවහන්සේ විසින්ද මාධ්‍ය මගින් දැනගන්නට ඇතැයි සිතමු. ඇමතිවර‍යාගේ උත්තරය කෙසේ වෙතත් ජාත්‍යන්තරව පලවන ප්‍රවෘත්ති විමසීමේ දී, මෙම සිද්ධියෙන්, ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් සදාචාරවත් සාරධර්මවලට ගරු කරන රටක් ලෙස සෙසු ලෝකයා ඉදිරියේ මෙතෙක් පවත්වාගෙන ආ ගෞරවනීය තත්වයට තවත් එක් විශාල කැලලක් සිදූවී ඇති බව නම් පැහැදිලිය.
ජාත්‍යන්තරව පළකර ඇති ප්‍රවෘත්ති විමසීමේ දී, මෙම සිද්ධියට මූලික වී ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් වල අවශ්‍යතාව පරිදි, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වන බැන් කි මූන් මහතා විසින් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලවල සිටින ශිෂ්ඨ සමාජය පිළිගන්නා වූ සදාචාරමය ලෙස විවාහපත් වූ නිලධාරීන්ගේ කලත්‍රයන්ට හිමිවන වරප්‍රශාද හා අයිතිවාසිකම්වලට සමානවම, තම විවාහක/අවිවාහක තත්වය(Civil Status), සමලිංගික සහවාසය බවට ප්‍රකාශ කර ඇති නිලධාරීනගේ කලයන්ටද ලබාදීම පිණිස, එතෙක් පැවති චක්‍රලේඛය (පෙර වලංගු චක්‍රලේඛයට -: http://undocs.org/ST/SGB/2004/13: “the status was determined by the laws of the staff members’ country of origin”.) අබිභවමින් නව චක්‍රලේඛයක් (නව චක්‍රලේඛයට -: http://www.un.org/ga/search/view_doc.asp?symbol=ST/SGB/2004/13/Rev.1 :“ the personal status of staff members is determined by the laws established by the competent authority ” ) නිකුත් කිරීම නිසා බව පෙනේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නව පරිපාලන චක්‍රලේඛයේ මතුපිටින් බලන විට සමලිංගික සහවාසයක් ගැන ඍජුවම සඳහනක් නැති වුවද එහි සැබෑ යටි අරමුණ කවරේදැයි හඳුනාගත් රුසියාව, සමලිංගික චර්යාවන් පිළිගැනීම, නොයෙක් රටවල පවතින සමාජ සාරධර්ම වලට පටහැනිවන නිසා නව චක්‍රලේඛය නිකුත්කිරීමට පෙර මේ පිළිබඳව සෑම රටක් හා සමගම සාකච්ඡා කළයුතු බවත් එමනිසා මහ ලේකම්වරයා තම තනිමතයට නිකුත් කර ඇති නව චක්‍රලේඛය අවලංගු කළ යුතු බවත් පවසමින්, 2015 මාර්තු මස පැවති එක්සත් ජාතීන්ගේ සංගමයේ 69 සැසියේ 33 වන රැස්වීමේ අයවැය සාකච්ඡාවේ දී රුසියාව විසින් නව චක්‍රලේඛය අවලංගු කළ යුතු යැයි යෝජනාවක් ‍ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා චන්ද විමසීමේ දී ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල්, රුසියාවේ යෝජනාවට විරුද්ධවන ලෙස බොහෝ රටවලට බලපෑම් කර ඇති බවද පැවසේ.(BBC report) අවසානයේ දී රුසියාවේ යෝජනාව පරාජය වී ඇත. සමලිංගික ක්‍රියාකාරිත්වයන් පිළිගැනීම සමාජ සාරධර්ම වලට පටහැනි බව පවසමින් රුසියාවේ එම යෝජනාවට පක්‍ෂව චීනය, ඉන්දියාව ඉන්දුනිසියාව, සවුදි අරාබිය අදී රටවල් 43 ක් චන්දය දී ඇති අතර තවත් රටවල් 37ක් චන්දය දීමෙන් වැළකී සිට ඇත. නමුත් ශ්‍රී ලංකාවද ඇතුළුව ඇමරිකාව, එංගලන්තය ආදී රටවල් 80 ක් රුසියාවේ යෝජනාවට විරුද්ධව ජන්දය දී ඇත. එයින් පෙනෙන්නේ මෙම රටවල් 80 ම වක්‍රාකාරයෙන් සමලිංගික චර්යාවන් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා බව නොවේ ද? මෙම චන්දය දීමේ දී ශ්‍රී ලංකා නියෝජිතයා පළකර ඇති ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් පිටුවේ පළකර ඇත්තේ මෙසේය.
“NILUKA PRABHATH KADURUGAMUWA (Sri Lanka) said that he would not support the draft decision, which seemed to circumscribe the role of the Secretary-General. However, he noted that his country’s vote was without prejudice to any substantive matters.”
මහින්ද රාජපක්ෂ රජය සමයේ රටේ සංස්කෘතිය හා සදාචාරය වලපල්ලට ඇර තිබුණු බව පවසමින් එය නැවතත් ගොඩගන්න කටයුතු කරණ බවට කෑමොර දෙන යහපාලන ඇමතිවරුන්ගෙන් පුවත්පත් සාකච්ඡා වලදී සහ මාධ්‍ය වාදපිටි වලදී මෙම චන්දය දීම පිළිබඳව විමසන අවස්ථාවලදී ඔවුන් පවසන්නේ මහ ලේකම්ගේ එම චක්‍රලේඛයේ සමලිංගික කථාවක් නොමැති බවත් හුදෙක්ම එය පරිපාලනමය චක්‍රලේඛයක් නිසා එයට චන්දය දීමෙන් ශ්‍රී ලංකාවේ කිර්තිනාමයට කිසිදු හානියක් සිදුවී නැති බවය. අපේ ඇමතිවරුන්ට එම චක්‍රලේඛයේ සමලිංගික කථාව නොතේරුනාට, එංගලන්තයේ BBC යට නම් එහි තේරුම හොඳින් වැටහී ඇත. මේ චන්ද විමසීමේ දී රුසියාවේ යෝජනාව පරාද වීම ගැන පසුදා BBC යේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කර තිබුනේ මෙසේය.
From: http://www.bbc.com/news/world-europe-32031238
“ UN thwarts Russia over gay staff rights ” 24 March 2015
සදාචාරවත් යහපාලන ගැත්තනේ, දැන් මොකද කියන්නේ ?. “gay staff rights” කියන්නේ වෙනත් සෙල්ලමක්ද ? කෙසේ වෙතත් මෙම නව සංශෝධිත චක්‍රලේඛය නිකුත්කිරීමේ අරමුණ සමලිංගික චර්යාවන් පිළිගෙන එහි හැසිරෙන්න්ට වරාප්‍රශාද ලබාදීම වක්‍රාකාරයෙන් සිදුකිරීමයි. එංගලන්තයේ BBC ය එහි අරමුණ “gay staff rights” ලෙස ඍජුවම ප්‍රකාශකර ඇත්තේ එහි සැබෑ අරමුණ ඔවුන් සොඳාකාරවම දන්නා බැවිනි.
මේ සම්බන්ධයෙන් පළවූ BBC ප්‍රවෘත්තියේ වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. “UN thwarts Russia over gay staff rights” “The United Nations has voted to extend staff benefits to same-sex couples working for the UN, defeating Russian-led opposition to the measure. The UN Budget Committee recognised gay spouses, regardless of whether or not gay marriage is legal in their country of origin. Previously, the UN followed national legislation on the issue. The vote went 80 to 43 against Russia's resolution, which had backing from China, India and Muslim countries.
EU member states and the US lobbied hard against the resolution and for UN Secretary General Ban Ki-moon's plan to include gay couples in the staff benefits scheme.
මෙන්න රුසියාව ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව චන්දය දෙමින් වෙනත් සමහර රටවල් තම මතය ප්‍රකාශ කර ඇති හැටි.
( http://www.un.org/press/en/2015/gaab4150.doc.htm )
“ BILAL TAHER MUHAMMAD WILSON (Saudi Arabia) said that he would be voting in favour of the draft decision on moral grounds as the Kingdom held that same-sex marriage was immoral.”
“ALEXANDER SHPAKOVSKY (Belarus) said the Secretary-General had gone beyond the Assembly resolution at the heart of the issue and the Bulletin undermined such attributes as social relations, sovereignty, and religious fundamentals of Member States. The Committee had the opportunity to react to that on behalf of the Assembly. The legitimacy and effectiveness of any document was based on the openness and transparency of the discussions behind it. The Bulletin lacked intergovernmental consensus and would entail additional financial costs. He would, therefore, vote in favour of the decision.”
“ RAJA REZA BIN RAJA ZAIB SHAH (Malaysia) said he voted in support of the draft resolution, but reaffirmed the role of the Secretary-General as Chief Administrative Officer. He expressed regret that a consensus could not be found and that there had been a recorded vote.”
පෞද්ගලික මට්ටමින් යම් රටක් තුල හුදකලාව සිදුවන යම් යම් නීතිවිරෝධී, සදාචාරසම්පන්න නොවූ කටයුතු වලින් එම රටෙහි ප්‍රතිපත්තිය, සදාචාර සම්පන්න බවින් තොර රටක් ලෙස සාමාන්‍ය තත්වයන් යටතේ සෙසු රටවලට පිළිබිඹු නොකෙරේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංගමය වැනි ජාත්‍යන්තර ආයතන වල කටයුතුවලදී යම් රටක නියෝජිතයන් ඉදිරිපත්කරන මතවාද තුලින් එකී අදාල රටේ ප්‍රතිපත්ති කවරේදැයි පිළිබිඹු කරන බව පිළිගත් මතයකි. මෙහිදී අප රටේ නියෝජිතයාට නිර්භයව තම රටේ සදාචාර ප්‍රතිපත්තිය මේ යැයි, අනෙක් සදාචාරයට ගරුකරන රටවල නියෝජිතවරුන් කර ඇතිවාක් මෙන් ප්‍රකාශකර එම යෝජනාවට පක්‍ෂව හෝ චන්දය දීමෙන් වැලකීසිටීමට හෝ අවස්ථාව තිබුණි. නමුත් සිදුවී ඇත්තේ තම හාම්පුතුන්ගේ ද අනුදැණුම හා “දී කිරට බළලුන්ගේ සාක්‍ෂිය” හා සමාන මනාපය ඇතිව ඇමරිකාවට අවශ්‍ය පරිදි චන්දය ප්‍රකාශ කිරීම බව පෙනේ.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තම මතයට වෙනත් රටවල් නම්මවා ගැනීමේ දී සෑමවිටම පාවිච්චි කරණු ලබන්නා වූ “නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්”, “පාරදෘශ්‍යබව”, පෞද්ගලික නිදහස” ආදී පොදු සංකල්පයන් මෙහිදීත් ගෙනහැරපාමින් රඟපෑමක් සිදුකර ඇති නමුත් මහ ලේකම් බැන් කි මූන්ගේ චක්‍රලේඛයේ සැබෑ යටි අරමුණ වී ඇත්තේ සමලිංගික චර්යාවන්වල යෙදෙන්නන්ට ගෝලීය වශයෙන් ‍පිළිගැනීමක් ලබාදීම නොවන්නේ ද?
එක්සත් ජාතීන්ගේ සංගමයේ ඇතිකර ගත් මෙම තත්වය ප්‍රයෝජනයට ගෙන, සදාචාරයට ගරු කරමින් සිටින රටවල් තුල සමලිංගික චර්යාවන් නීතිගතකරවා ගැනීමට අදාල කණ්ඩායම් වලින් බලපෑම් එල්ලකළ නොහැකිද? පසුගිය වකවානුවල අප රටේ යහපාලනය සඳහා වෙනස ඇතිකිරීමට එකතුවී සිටි “X කන්ඩායම”, “ප්‍රශිද්ධ ටියුෂන් ගුරෙක් හා සමහර NGO කණ්ඩායම්”, මේ පිළිබඳ ව අතීතයේ දී බෙහෝ දේ කථා කළ හැටිත්, ඒ අවස්ථාවේදී අපවත්වී වදාල පූජජ්‍ය සෝම ස්වාමින් වහන්සේ එයට විරුද්ධව නොබියව ප්‍රතිචාර දැක්වූ සැටිත් මෙරට වැඩිහිටි පරම්පරාවට මතක ඇතැයි සිතමි. තවමත් අප රටේ සමලිංගික චර්යාවන් පිළිගෙන නීතිගත කිරීමක් සිදුකර නැති අතර එය දණ්ඩ නීති සංග්‍රහ‍ය අනුව දඬුවම් ලැබෙන වරදක් ලෙස පිළිගැනේ.
නමුත් අද අප රටේ බලයේ සිටිනා ප්‍රධාන පාලක පක්‍ෂයේ සමහරුන් ගැනද මේ චර්යාවන් සම්බන්ධයෙන් විවිධ කටකතා පවතින නිසා එවන් කටයුතු නීතිගත කිරීම සඳහා ශ්‍රීලංකාවේ මූලාරම්භයක් ඇතිවීමට හොඳටෝම ඉඩකඩ ඇති වාතාවරණයක් දැන් පවතින බව නම් රහසක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංගමයත් දැන් සමලිංගික චර්යාවන් පිළිගනියි එහෙනම් මෙහෙ මොකෝ. අ‍ඳෝමැයි ! දී කිරට බළලුත් සාක්කිලු.
පසුගිය රාජපක්‍ෂ රෙජීමය මගින් “කැසිනෝ”, “මත්කුඩු හා එතනොල්”, “ලැම්බොගිනි කාර් රේස්” ආදී සදාචාර සම්පන්න නොවූ සංස්කෘතියක් ඇතිකිරීමට යන බව පවසමින් කෑමොරදුන් ශීලවන්තයෝ මේ සම්බන්ධයෙන් මේ දක්වා මුනිවත රකින්නේ ඇයිදැයි අප හට ප්‍රශ්නයකි. ‍එක්කෝ ඔවුන් ද, සමලිංගික චර්යාවන් රටතුල ප්‍රචලිතවීම ගැන කැමත්තෙන් සිටී. නොඑසේනම් විරුද්ධව කථාකළහොත් ඔවුන්ට ලැබෙන වරප්‍රශාද අහිමිවේයැයි යන බිය නිසා නිශ්ෂබ්දව සිටිතැයි සිතීමට පුළුවන.
රටක් තුළ යහපත් ශිෂ්ඨසම්පන්න බවක් ඇතිවීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන්නේ ශිෂ්ඨ සමාජය පිළිගන්නා වූ සදාචාර සම්පන්න විවාහවලින් එක්වූ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය ඇති පවුල් වලින් හෙබි සමාජයක් ඇතිවීම බව ඔබවහන්සේද අනුමත කරනු ඇතැයි අප විස්වාස කරමු. “පෞද්ගලික නිදහස” නැමති සංකල්පයට මුවාවී සමලිංගික චර්යාවන් බටහිරයෝ අගය කරතත්, බොහෝ ආගමික සංවිධාන එය සදාචාර විරෝධී බව පිළිගනිමින් පිළිකෙව් කර ඇත. මෙය ප්‍රජනන ක්‍රියවලිය නවත්වන ස්වභාවධරමයට විරුද්ධ දෙයක් වන නිසා එයින් පරම්පරා ව්‍යාප්තියද වලක්වයි. එනයින් බලන කල සමලිංගික චර්යාව ජාතියේ ඉදිරි පැවැත්මට ද බලපෑමක් ඇති කරයි. “වයි ‍ෆයි” නොමිලයේ ලබාදෙන ‍මේ කාලයේ මෙවන් දුරාචාර චර්යාවන්ට තරුණ තරුණියන් ඇබ්බැහි කරලීම ඉතාමත් පහසු කාර්යයකි. නව තාක්‍ෂණය උපයෝග කරගෙන තරුණ සමාජය වල්මත් කරලීමට පහසු බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අත්දැකීමෙන් දන්නා නිසා ඔවුන්ගේ උපදෙස් ලබන අපේ නායකකාරකාදීන්, නිවෙස්වලට නොදී සමාජය ගැවසෙන ප්‍රශිද්ධ ස්ථානවල දී පමණක් “වයි ෆයි” නොමිලයේ ලබාදීමට මෙතරම් උනන්දුවක් දැක්වීමේ යටිඅරමුණක් පවතීදැයි සැකයක් ඇතිවේ.
එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් බැන් කි මූන් මහතා, ශ්‍රී ලංකා ජනාධිපතිට හදිසියේ දුරකථයෙන් කථාකර ශ්‍රී ලංකාවට සුබපතා ඇති බවක් මෑතකදී මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ඇත්තවශයෙන් ඔහු විසින් එම දුරකථන ඇමතුම විශෙෂයෙන් ගන්නට ඇත්තේ, තම සේවක මණ්ඩලයේ සමලිංගික චර්යා වක්‍රාකාරයෙන් පිළිගෙන ඔවුනට වරප්‍රශාද ලබාදීම සඳහා තමා විසින් ඉදිරිපත් කරන ලද චක්‍රලේඛයට සහය දෙමින් රුසියාවේ යෝජනාවට විරුදධව ශ්‍රී ලංකාවේ ජන්දය ලබාදීම ගැන, තම ස්තුතිය අපගේ ජනාධිපතිට පළකිරීම සඳහා දැයි අපට හැ‍‍‍ඟේ.
පසුගිය දිනවල පොසොන් පොහොය නිමිත්තෙන් පැවති දහම් අනුශාසනා වලදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාව තුල සදාචාර සම්පන්න දැහැමි සමාජයක් ඇතිකළ හැටිත් එම සදාචාරවත් දැහැමි සමාජය නොයෙකුත් කරුණු නිසා මේවන විට කෙමෙන් වියැකී යන ආකාරයත් ගැන බොහෝ දේ මාධ්‍ය මගින් අසන්නට ලැබුනු නමුත් සමලිංගික චර්යාවන් පිළිගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකාව රහසේ එකඟ වී ඇති මේ පවතින යහපාලනයේ අළුත් නැඹුරුවෙන් සිදුවන අයහපත ගැන නම්, කිසිවක් කියවුනේ නැත.
යහපාලනයක් යටතේ දැහැමි සමාජයක් ඇතිකරලීමට ගරු ජනාධිපති තුමා උත්සාහගන්නා බව පෙන්වන මේ අවධියේදී, රටේ අනාගතයට බලපෑහැකි මෙවන් සදාචාර විරෝධී ප්‍රතිපත්තිවලට රහසේ අනුබල ලැබීම අභාග්‍ය සම්පන්නය. එමනිසා උජිපටිපන්න ගුණයෙන් යුත් දේෂහිතෛයිශී සංඝයා වහන්සේලාවත් මේ ගැන තවදුරටත් නිශ්ෂබ්දව නොසිට කරුණු විමසා බලා දැනුවත්වී නොපමාව නිර්භයව ඉදිරිපත්වී, ශ්‍රී ලංකාවේ සදාචාර සම්පන්න ප්‍රතිපත්තියට සිදුවී ඇති මෙම කැළළ මකා දැමීම සඳහා ගරු ජනාධිපති තුමා මෙහෙයවීමටත්, මෙවන් අශිලාචාර චර්යාවන් ව්‍යාප්ත කරලීම සඳහා තවදුරටත් ඉඩ නොතැබීම පිණිස සමාජය දැනුවත් කිරීමටත් කටයුතු කරණු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. 

-ජයන්ත
 යුතුකම පාඨක ලිපියකි....

No comments:

Post a Comment