Thursday, July 23, 2015

මා ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කියා බොරු කටකතාවලට ප්‍රචාරයන්ට රැවටෙන්නට එපා

මා ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කියා බොරු කටකතාවලට ප්‍රචාරයන්ට රැවටෙන්නට එපා
කුරුණෑගල දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ

නැවත මේ රටේ මව්බිමට පණ දෙන්න යන ගමනක්‌ අරඹා තියෙනවා

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

"මැතිවරණයක්‌ එන විට බොරු කටකතා පතුරවනවා. බොරු ප්‍රචාර ගෙනියනවා. මා ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කියා හැඳින්වීමට කටයුතු කරනවා. ඒ බොරු ප්‍රචාර හා කටකතාවලට රැවටෙන්න එපා කියා මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා" යෑයි හිටපු ජනාධිපති හා එ.ජ.නි. සන්ධානයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක මහින්ද රාජපක්‌ෂ මහතා පසුගියදා (20 දා) ගාල්ලේ දී පැවසීය.

එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක මනුෂ නානායක්‌කාර මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල නගර ශාලාවේ පැවැති ජනහමුවකට එක්‌වෙමින් මහින්ද රාජපක්‌ෂ මහතා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.

නැවත මේ රටේ මව්බිමට පණ දෙන්න යන ගමනක්‌ අපි ආරම්භ කොට තියෙනවා. ඒ නිසා අපි ඉතා කල්පනාකාරීව තින්දු ගතයුතු වෙනවා. හදිස්‌සි වෙලා තීන්දු ගන්න බැහැ. අපි යුද්ධය ඉවර කරලා මුළු රටම සංවර්ධන වැඩබිමක්‌ බවට පත්කළා. අධිවේගී මාර්ග ඉදි කළා. ඒ අධිවේගී මාර්ගයේ යන ගමන් අපට බනිනවා. අධිවේගී මාර්ගය නිසා ගාල්ල නගරය ප්‍රධාන මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වෙලා තියෙනවා. අද ඇතමුන් කොළඹ ඉඳලා ගාල්ලට එනවා කෑමට කොළඹට යනවා. මේ වගේ තත්ත්වයක්‌ තමයි තිබුණේ. අද ගාලු උරුමයට කොළඹින් තමයි පත්කරලා තියෙන්නේ. රුපියල් එක්‌ලක්‌ෂ හැත්තෑපන් දහසේ වැටපුකට වාහනත් දීලා. අපේ කාලේ වැටුප් ගත්තේ නැහැ. මේක තමයි ගාල්ලට ලැබෙන සැලකිල්ල. අපි ගාල්ලේ ගංවතුර උවදුර නැති කළා, පාරවල් හැදුවා, ගාල්ල නගරය සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කළා. නමුත් මේ ආණ්‌ඩුව මගින් අපි කරපු දේවල් විනාශ කරනවා.

මහින්දෝදය විද්‍යාගාරවල නම් කපලා ඒවාට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ඒවා නතර කරලා. අපි ලබාදීලා තිබුණු නිදහසත් සංවර්ධනයත් අතුගාලා දමනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ආරම්භ කරපු සංවර්ධන යෝජනා ක්‍රම 58000 ක්‌ නතර කරලා. මුදල් රාජ්‍ය ඇමැතිවරයාගෙන් අහපු ප්‍රශ්නයකට තමයි ඔහු මේ බව කියන්නේ. මව් සායන නතර කරලා, ගමට පනදීම සඳහා ආරම්භ කරපු මේ සංවර්ධන ව්‍යාපෘති නතර කරලා. අද ගමේ බෝක්‌කුවක්‌, ඇළ වේල්ලක්‌ හැදෙන්නේ නැහැ. කුඩා ව්‍යාපාරිකයන් අසරණ වෙලා. ඔවුන්ට යන එන මන් නැතිවෙලා. එක්‌ ලක්‌ෂ පනස්‌ දහසකට පමණ රැකියා නැතිවෙලා තියෙනවා. ගල් කඩන පුද්ගලයාගේ ඉඳලා වඩු කාර්මිකයා දක්‌වා රැකියා නැතිවෙලා. අධිවේගී මාර්ගයේ වැඩ නතර වීම නිසා විශාල පිරිසකට තිබූ වක්‍ර රැකියා අහිමි වෙලා.

තේ දලු කිලෝවක්‌ රුපියල් 80 කට දෙනවා කීවා. නමුත් ඒ මිල ලැබෙනවාද? රබර්වලට කියපු මිල ලැබෙනවාද? අපි බලයට පත්වූ ගමන් තේ කිලෝවක්‌ සඳහා රුපියල් 90 ක්‌ ලබා දෙනවා. රබර්වලට රුපියල් 350 ක්‌ හා 380 ක මුදලක්‌ ලබා දෙනවා. රැකියා අවස්‌ථා ලක්‌ෂ දොළහක්‌ බිහිකරනවා. රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25000 ක්‌ කරනවා. දැන් ඔය වැටුපට එල්ලලා තියෙන දීමනා එකතු කරනවා. මේවා නිකන් කියන කතා නෙමෙයි. ආර්ථික විශේෂඥයන් සමඟ කතා කරලා මෙම තීන්දු ගත්තේ.

දැන් බලන්න වී මිල පහත වැටිලා. එජාපය කවදාවත් කෘෂි ආර්ථිකය ගොඩනඟන්න වැඩ කළේ නැහැ. ඒ අය කෘෂි ආර්ථිකය ගැන විශ්වාසයක්‌ තියන්නේ නැහැ. අපි කෘෂි ආර්ථිකය ගොඩනඟනවා. ඇත්තටම දැන් මේ ගැන හිතන්න කාලය ඇවිත්. ධීවරයා ගැන බලනවා. රනිල් ඇඹුල් තියපු මාළු ගැන කියනවා. එයා කන දේවල් මම කන බව කියනවා. අපි රට සංවර්ධනය කරනකොට මෙයා කියන්නේ සංවර්ධනය කළාට කෝටි ගණන් ගහලා කියා කියනවා. මා ඇමරිකානු ඩොලර් බිලියන 18000 ක්‌ හොරකම් කළා කියා කියනවා. අපේ රටට නිදහස ලැබුණු දිනයේ සිට වියදම් කරලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 23 යි. මේ කියන විදියට මම අවුරුදු පහේ ඉඳලා තමයි මේ ගැහිල්ල ගහලා තියෙන්නේ. බොරුවක්‌ වුණත් පිළිගන්න විදියට කියන්න ඕන. මේ අයට ගණන් බැහැ. විභාගය අසමත් වෙලා දෙවියන් කුලප්පු වෙලා මේ විදියට කියනවා ඇති.

අපි සුළු ජාතිකයන්ට විරුද්ධ නැහැ. පලස්‌තීනය ගැන කතා කළේ මම. රනිල් අස්‌වර් මන්ත්‍රීතුමාට කියලා තිබුණා පලස්‌තීනය ගැන කතා කරන්න එපා කියලා කඳවුරුවල හිටපු මුස්‌ලිම්වරු අපි නැවත පදිංචි කළා. කුරිරු යුද්ධය අවසන් කළා. නමුත් දැන් රට දෙකඩ කඩන්න හදනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවක තියෙනවා කොටි සල්ලි එකතු කරනවා කියලා. නමුත් දැන් කඳවුරුවල ඉන්න හමුදාව අඩුකරලා, සොල්දාදුවන් වැඩියි කියලා කියනවා. දැන් නාගදීපයට යන්න ඉස්‌සෙල්ලා ඒ පන්සලේ නායක හාමුදුරුවන්ට දුරකථන ඇමතුමක්‌ දීලා තමයි යන්නේ තත්ත්වය විමසලා. ඒ වගේ තත්ත්වයකට රට පත්වේගෙන එනවා.

අද කොළ අලි හා රතු අලි එකතු වෙලා තියෙනවා. මාධ්‍ය නිදහස තියෙනවලු, සමහර මාධ්‍ය මට බැනලා තමයි පටන්ගන්නේ. අවසන් කරන්නෙත් මට බැනලා. මාධ්‍ය අයිතිකරුවන් තමයි මේවා කරන්නේ.

ඇත්තටම ජනවාරි 09 වැනිදා තනතුරු දමලා ගියේ සන්තෝෂයෙන්. නමුත් ජනතාව ඇවිත් මාව හමුවුණා. නුගේගොඩදී ආරම්භ කරපු රැළියේ සිට අවසානය දක්‌වා මනුෂ අපිත් සමඟ හිටියා. ඔහු අපට ලොකු ශක්‌තියක්‌ වුණා. මට ජනතාව කීවේ දේශපාලනය අත්හරින්න එපා නිවාඩු ගත්තා ඇති. නැවත එන්න කිවා. දැන් හැම ආසනයකටම රැස්‌වීම් දමලා දැන්. වෙනදා හෙලිකොප්ටර් තිබුණා. දැන් යන්නේ කාර් එකෙන් ඇත්තටම එය මට හොඳ අත්දැකීමක්‌ වුණා. මම පාරේ යනකොට මට පේනවා නගරවල ඇති සංවර්ධනය. පොල් අතු නිවාස නැහැ. නව නිවාස ඉදිවෙලා. අලුතින් ගමනක්‌ යන්න පාර පෙන්නුවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධානයේ අපේක්‌ෂක මනුෂ නානායක්‌කාර මහතා

මහින්ද නැති රටක්‌ අපට වැඩක්‌ නැහැ. අද එදා තිබූ වැඩබිම මුඩු බිමක්‌ බවට පත්වෙලා තියෙනවා. මා මුල ඉඳලාම අරන් ගියේ මහින්ද කොඩිය. දැන් අපට තියෙන්නේ අවසන් ජයග්‍රහණය ලබා ගන්න. ඒ මහින්ද මහත්තයා අගමැති කරන එක. ඒක තමයි අන්තිම අවස්‌ථාව. මහින්ද පරාජය වූ පසු ඇතමුන් ඔහු අත්හැරලා ගියා. ඇමැතිකම් ගත්තා, අපේ ලැයිස්‌තුවේත් ඒ වගේ අය ඉන්න පුළුවන්. ඒ අය ගැන අවධානය යොමු කරන්න. මේ වගේ කණ්‌ඩායම් තුනක්‌ හිටියා. අප්පච්චි මළෝ කණ්‌ඩායම, මහින්දට ආදරය කරපු කණ්‌ඩායම, අනික්‌ කණ්‌ඩායම තමයි සුළං හමන පැත්ත දෙස බලාගෙන හිටපු කණ්‌ඩායම. මේ අය හිටියේ මඩේ හිටවපු ඉන්නක්‌ වගේ. ඒ නිසා මේ අය තෝරා බේරාගෙන ඡන්දය දෙන්න.

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විඡේලාල්ද සිල්වා, එ.ජ.නි. සන්ධානයේ අපේක්‌ෂකයන් වන බද්දේගම සමිත හිමියන් හා චන්දිම වීරක්‌කොඩි, ඒ. ජී. සී. පියසිරි, චන්න සාලිය මෙන්ඩිස්‌, අනුර ප්‍රදීප් යන මහත්වරු සහ අපේක්‌ෂිකා ගීතා කුමාරසිංහ මහත්ම මහත්මීහුද කතා කළහ.
 

 
Powered By -

No comments:

Post a Comment