Monday, June 1, 2015

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත්කිරීමට කටයුතු කලවුන් පොදුවේ පැවසූයේ තමන් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා වැඩ කරන බවය. ඔහුට චන්දය දුනවුන්ද සිතුවේ ඔවුන් තම චන්දය පාවිච්චි කරන්නේ ඒ සඳහා බවය. නමුත් මයි-ත්‍රී චන්ද ව්‍යාපාරයේ අරමුණ වූයේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කර සිංහල බෞද්ධ දේශපාලන ශක්තිය බිඳ දැමීම මිස මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමක් නොවන බව අද පැහැදිලිවම පෙනේ. සමහර යහපාලන ක්‍ෂමාලාපකයින්ගේ අරමුණ වූයේද එයම විය. තවත් සමහර ක්‍ෂමාලාපකයින් මෙරට දේශපාලන සංස්කෘතිය දුශණය වීමට හේතුව සිංහල බෞද්ධයින්ගේ දේශපාලනය යන මතය දැරූහ. දරති. මොවුන් සියල්ලන්ම ජාතිවාදීන් ලෙස අප හඳුනාගත යුතුය. කෙසේ වෙතත් මොවුන්ට අයත් නොවන නමුත් මෙරට දේශපාලන සංස්කෘතිය යහ මඟට ගැනීමට අවංක උවමණාවක් තිබෙන යහපාලන ක්‍ෂමාලාපකයින් පිරිසක්ද වෙති. මෙරට දේශපාලන සංස්කෘතිය සදාචාරමත් නොවන බව ඕනෑම වැඩිහිටියෙකු දැන සිටිය යුතුය. යහපාලනවාදී නොවුනද අපටද මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට උවමණාවක් ඇත.

නමුත් මහින්ද ගෙදර යවා මෛත්‍රී-රනිල් බලයට ගෙන ඒමෙන් දේශපාලන සංස්කෘතිය යහ මඟට හැරවෙන්නේ නැති බව සහ සංස්කෘතියක් එසේ හැරවිය නොහැකි බව සියලු ආකාරයේ යහපාලන ක්‍ෂමාලාපකයින් දැන සිටිය යුතු විනි. අඩු තරමින් දැන්වත් ඔවුන් ඒ බව අවබෝධ කරගත යුතුය.


ක්‍ෂමාලාපකයින් කල මුල් වැරැද්ද ඕනෑම වෙනසක් සාපේක්‍ෂ බව නොසැලකීමය. මහින්ද මෛත්‍රීපාල රනිල් රාජිත ආදීන් මෙරට දේශපාලන වේදිකාවේ අඩු තරමින් වසර තිහක්වත් රඟපෑ චරිතයය. ඔවුන්ට ඉතිහාසයක් ඇත. ඉතිහාසය පදනම් කරගෙන මේ චරිත අතර සාපේක්‍ෂ වෙනසක් ක්‍ෂමාලාපකයින්ට මැණ ගත හැකි විය යුතු විනි නමුත් ඔවුහු ඒ ගැන සැලකිලිමත් නොවූහ. මහින්ද ගෙදර යවා පත් කරගන්නා අයගේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ ඔවුන්ගේ ඉතිහාසය පදනම් කරගෙන තක්සේරුවක් නොකෙරිනි. ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන ඇමෙරිකාවේ කොමික් වීරයෙක් පමණට උස් කෙරිනි. මහින්ද රාජපක්‍ෂ ඉන්දීය සිනමාවේ දුෂ්ඨයෙක් පමණට පහත් කෙරිනි. අද මංගල සමරවීර සිතාමතා මහින්ද රාජපක්‍ෂගේ වත්කම් පිළිබඳව පතුරවන කට කථා ජනතාව අතර විහිළුවක් බවට පත්වී ඇතත් එය පසුගිය වසර කිහිපයක් තිස්සේ යහපාලනවාදීන් විසින් සංවිධානාත්මකව කරගෙන ගිය බොරු පතුරවන ව්‍යාපාරයකින් සිදුවුනු එක් අත් වැරැද්දක් පමණක් විය හැකිය. මංගල සමරවීරට මෙන්ම අපටද එය එසේදැයි නිශ්චිතව කීමට නොහැකිය. කෙසේ වෙතත් ක්‍ෂමාලාපකයින් මේ කථා විශ්වාස කලහ. විශ්වාස කරමින් ඒවා පැතිරවූහ. අවසානයේ මහින්ද ගෙදර යවා පත්කර ගන්නා අය පිළිබඳව ඔවුන්ගේ ඇස් වැසිනි. වෙනස සාපේක්‍ෂ බව තේරුම් නොගැනීම ක්‍ෂමාලාපකයින් කල පලමු වැරැද්දය.


දෙවෙනි වැරද්ද හුදු දේශපාලන වෙනසකින් සංස්කෘතික වෙනසක් කල හැකියැයි සිහින මැවීමය. අසූවේ දශකයේ සිටම මෙරට සංස්කෘතිය පාදඩකරණයට ලක්වෙමින් තිබේ. ඊට හේතුව අපට බටහිර සංස්කෘතිය පරාජය කිරීමටවත් එහි ගුණාංග සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමටවත් නොහැකි වීමය. මෙරට දේශපාලන සංස්කෘතිය මෙරට පොදු සංස්කෘතියේම අංගයකි. දේශපාලනයේ පමණක් සංස්කෘතිය වෙනස් කල නොහැකිය. දේශපාලකයින් වෙනස් කිරීමෙන් පමණක් දේශපාලන සංස්කෘතිය කොහෙත්ම වෙනස් කල නොහැකිය.


මේ කාරණා දෙකම හේතුවෙන් සියලු ආකාරයේ යහපාලන ක්‍ෂමාලාපකයින් අවංකව හෝ වංකව බලාපොරොත්තුවෙන දේශපාලන සංස්කෘතියේ වෙනස ඔවුන්ට අත් කර ගත නොහැකි වෙනු ඇත. නමුත් ඔවුන් වෙලී සිටින මුලාව නිසා මෙරට සිදුවෙමින් පවතින සහ ඉදිරියේදී සිදුවිය හැකි මහා පරිමාණ දේශපාලන සහ ආර්ථික වංචා ( මහා බැංකු කොල්ලය, ෆෙඩරල් ) ලැම්බෝගිනි ඝනයටම වැටී ලිස්සා යාමට ඉඩ ඇත.

No comments:

Post a Comment