Thursday, July 16, 2015

පක්‍ෂය පරදන නායකයන් කුමටද.. අපි මහින්ද අගමැති කරවනවාමයි.. – මෛත‍්‍රිට දස දෙසින් ගල්මුල්..              පක්‍ෂය දිනවීමට කටයුතු නොකරන සහ තම පක්ෂයේ අපේක්ෂකයන් ප‍්‍රසිද්ධියේ අපහසුතාවකට පත් කරන පක්‍ෂ නායකයන් යහපාලන සංස්කෘතියට උචිත නැතැයි ශ‍්‍රිලනිප උපලේකම් පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
             මේ බව සදහන් කරමින් ඇය විසින් නිකුත් කර ඇති නිවේදනයක මෙසේද වෙයි.
             ‘ජනවාරි 09 දින ලැබූ පරාජයෙන් පසුව ඍජු එක් මතයක නොසිටීමේ ආදීනව අපි අද අත්විදිමින් සිටිමු.එහි අනිටු ප‍්‍රතිවිපාක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණදෙන ප‍්‍රධාන ගැටලූව බවට පත්වී ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන රාමුවක පැවැතිය යුතු ද්වි පක්ෂ ක‍්‍රමය හෝ බහු පක්ෂ ක‍්‍රමය පවත්වාගෙන යාමෙන් තොරව විකෘතියක් සාදාගෙන එයින් ගැලවීමට දරන උත්සාහය තුළ අද රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.උදාහරණයක් ලෙස වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ ප‍්‍රතිමූර්තියක් වශයෙන් ප‍්‍රකාශ කරන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කන්සවේටිව් පක්ෂයේ ඡුන්දයෙන් අගමැතිවරයෙක් බිහිවී ඒ අගමැතිවරයාට දින කිහිපයක් ඇතුළත කම්කරු පක්ෂයේ නායකයා වීමේ හැකියාවක් ඇතැයි බි‍්‍රතාන්‍ය වැසියන් සිහිනයකින්වත් විශ්වාස නොකරනු ඇත.
                 අපි අද අත්විදින්නේ එවැනි තත්ත්වයකි.මෙම විකෘතිය රටට පක්ෂයට සහ එහි ප‍්‍රධාන කොටස්කරුවා වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් සුබදායී නොවේ.එම නිසා එම විකෘතිය නිවැරදි කර ස්වාධීන විය යුතු අය ස්වාධීන වීමටත්,දේශපාලනය කර පක්ෂය දිනවිය යුතු පක්ෂය දිනවීමටත් කටයුතු සිදුකළ යුතුය.
                 අවසාන වශයෙන් පක්ෂ නායකයෙක් පක්ෂය දිනවීමට කටයුතු නොකරන්නේ නම් සහ පක්ෂයේ අපේක්ෂකයන් ප‍්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කිරීම සිදු කරයි නම් එය යහපාලන සංස්කෘතියටද උචිත නොවේ.මෙවැනි අත්දැකීමකට 2005 වර්ෂයේදී ද මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දුන් අතර මෙවර මැතිවරණයේදී ද එවැන්නකට මහින්ද රාජපක්ෂ මහතාට මුහුණ දීමට සිදුවීම අපට අභියෝගයක් නොවන අතර මහින්ද රාජපක්ෂ මහතා ඒකාන්තයෙන්ම අගමැති කරවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රුවන්පුර ජනතාව වෙනුවෙන් කැපවන බව මා සදහන් කරමි. මේ සදහා කැපවන ලෙස සියලූම ප‍්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරන්නෙමි’
5,803 Viewers

No comments:

Post a Comment