Sunday, June 21, 2015

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‌ෂු කප්පාදුව ඇත්තක්‌ද?



අපේ රටේ විශ්වවිද්‍යාල තුළ සිදුවන අරගල සම්බන්ධයෙන් අතීතයේදී ලියූ දේවල් අද ලියන්නට බැරි තරම්ය. ඒ එදා අරගල සිදුවූයේ බුද්ධිමත් සංවාදයක ස්‌වරූපයෙනි. අද අරගල සිදුවන්නේ සංවාදයට වඩා සටනට මූලිකත්වය දෙමිනි. මේ රටේ සෑම දෙමාපියෙක්‌ම තම දරුවන්ට තම සන්තකය වියදම් කරලා හෝ හොඳින් උගන්වන්නේ "මගේ දරුවා උපාධිකාරයෙක්‌" යෑයි ආඩම්බරයෙන් දොඩවන්නටය. එහෙත් අපේ දෙමාපියන් කී දෙනකුට "අතට ගත් බත් කට කා ගන්නට" බැරි වූවා සේ දුක්‌ මහන්සියෙන් විශ්වවිද්‍යාලයට යෑවූ තම දරුවාගේ උපාධි සිහිනය යථාර්ථයක්‌ කර ගන්නට බැරි වූ අවස්‌ථා ඇත්ද?

අද විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක්‌ නොව ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේද අරගල කරමින් සිටිති. භික්‍ෂුන් වහන්සේ පිළිබඳව අප සමාජයේ අතීතයේ සිටම තිබුණේ මහත් ගෞරවයක්‌ භක්‌තියක්‌ මෙන්ම විශ්වාසයකි. ශාන්ත ගමන, ප්‍රිය වචන, අව්‍යාජ සිනහව චාම් බව යන මේ සියල්ල සමාජය භික්‍ෂුන් වහන්සේගෙන් අපේක්‍ෂා කරන්නේ උන්වහන්සේලා ගිහියන් පොරබදින ඇනකොටා ගන්නා ලෞකික දේ අතහැර ලෝකෝත්තර නිවන පසක්‌ කර ගන්නට වෙර දරන අහිංසාව හා මෛත්‍රීය නම් වූ ආයුධ අතදරා ගත්ත මනුෂ්‍යයාට සත්‍ය පසක්‌ කරන්නට නායකත්වය දෙන යතිවරයන් වහන්සේ ලෙසිනි.

එහෙත් අද සමාජයේත් විශ්වවිද්‍යාලය තුළත් භික්‍ෂුන්ද ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් තරමටම ඉල්ලීම් දිනා ගැනීමේ අරගල කරමින් වීථි බැස සටන් කරන්නේ කුමක්‌ අරබයාද? ආසන්නම සිදුවීම ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්‍ෂු ප්‍රජාව පෙන්වා දෙන්නේ මේ රටේ උගත් භික්‍ෂුන් බිහි කිරීම වෙනුවට පාලි සංස්‌කෘත භාෂා ප්‍රගුණ කරන තරුණ භික්‍ෂුන්ට විශ්වවිද්‍යාල දොර වසා ඇති බවය. මේ පිළිබඳව මහානාහිමිවරුන් හෝ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් බලධාරීන් දැනුවත් නොකොට ශිෂ්‍ය භික්‍ෂුන්ගේ අරගලය භික්‍ෂුත්වයට නොගැළපෙන බවක්‌ සඳහන් කරමින් උගත් භික්‍ෂු කප්පාදුව හරහා සමාජයට සිදු කරන හානිය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගන්නා බවටද උන්වහන්සේලා චෝදනා කරති. ශිෂ්‍ය භික්‍ෂු අරගලයන්ට නායකත්වය දෙමින් එම අරගල මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්‌ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන්ගෙන් අපි මේ ගැන විමසුවෙමු.

"මේ අරගලය හුදෙක්‌ අප කීප දෙනකුට ඕනෑ දෙයක්‌ නෙමෙයි. අපි මේ අරගලය කරන්නේ ලංකාවේ උගත් භික්‍ෂුන් වහන්සේලා සමාජයට අවශ්‍ය නිසයි. අද විශ්වවිද්‍යාල තුළ කලා විෂයයන් හදාරන සිසුන් කප්පාදු කරන්න පටන් අරගෙන. ඉකුත් රජයත් මේ දේම කළා. මේ ගැන අපි භික්‍ෂුන් වහන්සේලා විදියට විශ්වවිද්‍යාල බලධාරීන් මෙන්ම මහානායක හිමිවරුනුත් දැනුවත් කළා. නමුත් ඒ අය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ හෝ ඒ ගැන වචනයක්‌වත් කතා කරන්නෙ නෑ. ඒ නිසයි අපිට අරගලයක්‌ කරන්න සිදුවෙලා තියෙන්නේ. 1946 පෙබරවාරි 13 දා විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රකාශයක්‌ තිබෙනවා "නිදහස්‌ අධ්‍යාපනය විනාශ කිරීමට කරන හැම උත්සාහයකටම විරුද්ධව ක්‍රියා කොට එය චිරස්‌ථායි කර ගැනීම භික්‍ෂුන්ට අයත් පරම යුතුකමකි" කියලා. අද අපි මේ කරන්නෙත් ඒකමයි. පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගෙන තිබෙන්නේ අඩුවෙන්. ශිෂ්‍ය භික්‍ෂුන් බඳවා ගැනීම කප්පාදු කරන්නේ ඇයි? පසුගිය වසරේ රුහුණට භික්‍ෂුන් වහන්සේ 18 ක්‌ බඳවා ගත්තත් මේ වසරේ එය 15 දක්‌වා අඩුකරලා. ගිය වසරේ ශ්‍රී ජයවර්ධනපුරට බඳවාගත් ශිෂ්‍ය භික්‍ෂුන් සංඛ්‍යාව 31 ක්‌. නමුත් මේ වසරේ 12 ක්‌ දක්‌වා අඩු කරලා. කැලණියට ගිය වසරේ ශිෂ්‍ය භික්‍ෂුන් 58 ක්‌ බඳවා ගත්තත් මේ වසරේ එය 26 ක්‌ දක්‌වා අඩු කරලා. මෙහෙම කරන්නේ ඇයි කියලයි අපි අහන්නෙ. අපි අරගල කරන්න පටන් ගත්තාට පස්‌සෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය භික්‍ෂුන් 15 ක්‌ බඳවා ගත්තා. රුහුණට 4 නමක්‌ බඳවා ගත්තා. කැලණියට තවම ගත්තේ නෑ. අපි භික්‍ෂුන් වහන්සේලා විදියට විශ්වවිද්‍යාල තුළ නිහඬ වුණොත් මේ සිදුවන අධ්‍යාපන වාණිජ්‍යකරණයත් සමඟ අනාගතයේ උගත් භික්‍ෂුන් රටට නැති වෙනවා. ඒ නිසා අපි ගෙන යන මේ අරගලය එක්‌ අතකින් මේ රටේ බෞද්ධාගම චිරස්‌ථායි කිරීමේ සටනක්‌ කීවොත් නිවරැදියි. ඇතැම් නාහිමිවරු කියන විදියට භික්‍ෂුන් අරගල කරන එක වැරදි නම් උන්වහන්සේලා ඉදිරිපත් වෙලා මේ සිදුවෙමින් පවතින තත්ත්වය වෙනස්‌ කරන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න ඕනේ", යෑයිද ඤාණානන්ද හිමි සඳහන් කළහ.

අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්‌ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් ඉදිරිපත් කළ චෝදනා යෝජනා සමඟ අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා හමුවීමු.

"අපේ රටේ උසස්‌ අධ්‍යාපන ආයතන 33 ක්‌ තියෙනවා. ඉන් 15 ක්‌ විශ්වවිද්‍යාල. මේ විශ්වවිද්‍යාලවලට වසරින් වසර සිසුන් බඳවා ගැනීමේදී වැඩිවීම් අඩුවීම් සිදුවෙනවා. එහෙම වෙන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලවලට අලුතින් එකතුවන අඩුවන විෂය ධාරාවන් නිසයි. උදා( 2013 වර්ෂයේ දී බඳවා ගත් ශිෂ්‍යයින් 3937 ක්‌ වුණත් එය 2014 දී 4265 ක්‌ වෙලා තියෙනවා. අනෙක්‌ කාරණය තමයි අපි සිසුන් බඳවා ගන්න විට 40% ක්‌ සමස්‌ත ලංකා පදනමෙන් ලකුණු ලබා ගැනීමේ පිළිවෙළ අනුව බඳවා ගන්නවා. අනෙක්‌ 60% දිස්‌ත්‍රික්‌ පදනමෙන් ලකුණු ලබා ගත් පිළිවෙළට තමයි බඳවා ගන්නේ, මෙයිනුත් 5% ක්‌ බඳවා ගත්තේ දුෂ්කර දිස්‌ත්‍රික්‌කවල ලකුණු පදනම් කරගෙනයි. මේ නිසා කිසිම කෙනකුට අසාධාරණයක්‌ නොවන ලෙස ' අගය මතයි බඳවා ගැනීම් කරන්නේ. අපිට මේ ප්‍රතිපත්තියෙන් බැහැරව විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගන්න පුළුවන්කමක්‌ නෑ. ඒකෙදී ගිහි පැවිදි බේදයක්‌ නෑ. අධ්‍යාපන ප්‍රතිපත්තියට ආගම් පදනමක්‌ කර ගන්න බෑනේ. එහෙම වුණත් බෞද්ධ භික්‍ෂුන් වහන්සේ වෙනුවෙන් අනුරාධපුර හා මහරගම භික්‍ෂු අධ්‍යාපන ආයතන දෙකක්‌ විශේෂයෙන් පිහිටුවලා තියෙනවා. අනෙක්‌ කාරණය තමයි ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලා පාලි සංස්‌කෘත විෂයයන් උපාධියට හදාරන්න දක්‌වන්නේ අඩු කැමැත්තක්‌. ඒක කැලණිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය භික්‍ෂුන් තෝරා ගැනීමේදී හොඳින් පේනවා. අපේ විශ්වවිද්‍යාල ඉංජිනේරුවෙක්‌ බිහි කරන්න ඇ. ඩො. 8800 ක්‌ද එම්.බී.බී.එස්‌. වෛද්‍යවරයෙක්‌ බිහි කරන්න ඇ. ඩො. 16800 ක්‌ද කලා උපාධිධරයකු බිහි කරන්න ඇ. ඩො. 4200 ක්‌ද කළමනාකරණ උපාධිධරයකු බිහි කරන්න ඇ. ඩො. 4800 ක්‌ද රජය වැය කරනවා. මේවා අවතක්‌සේරු කරලා හෑල්ලුවට ලක්‌කරන්න හොඳ නෑ.

අපිට කරන චෝදනාව තමයි පෞද්ගලිකව පාලි සංස්‌කෘත උපාධි ගන්න ලකුණු මට්‌ටම සලකන්නේ නෑ කියලා. ඒක ඇත්ත. විශේෂයෙන් විදේශ රටවල පිළිගැනීම තමයි අපේ රටේ ථේරවාදී බුදු දහම හොඳින් ආරක්‍ෂා වී ඇති නිසා බෞද්ධ ධර්මය පිළිබඳ උපාධියක්‌ ලබන්න හොඳම රට ලංකාව කියලා. ඉතිං අපි ඒ ඉල්ලුම අනුව රටේ ගෞරවයත් ආරක්‍ෂා කරගෙන විදේශීය ශිෂ්‍යයන්ට බෞද්ධ ධර්මය පිළිබඳව උපාධිය ලබන්න අවස්‌ථාව දීලා තියෙනවා. ඒක වරදක්‌ වෙන්නෙ කොහොමද?

No comments:

Post a Comment