චම්පිකලාගේ දේශපාලන අවස්ථාවාදය සහ බොදු බල සේනාවේ ඉදිරි මග කොයිබටද?
කතෘ:යුතුකම
6/21/2015
1 comment
පසුගිය ජනවාරි 8 වෙනිදායින් පසු දින 100
තුළම බොදුබල සේනා සංවිධානය හීන් කෙඳිරියක් හෝ නැගුවේ ඉතා කලාතුරකිනි.
බදුර්දීන් දිගටම විල්පත්තු එළි පෙහෙළි කරමින් තිබිනි. බොදු බල සේනා
සංවිධානය ඒ කරුණ සම්බන්ධයෙන් පුදුම එළවන සුළු නිහැඬියාවක් ප්‍රකට කළේය.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා, පාඨලී ඇමතිවරයා සාමාජිකත්වය දරන ජාතික විධායක
සභාවේ තීරනයක් අනුව දෙමළ බසින් ජාතික ගීය ගැයීමට අවසර දීම හේතුවෙන් ජාතිය
භේද භින්න කිරීමට පාර කැපිනි. එය බොදු බල සේනාවට මාතෘකාවක් නොවිනි. යහ පාලන
ආණ්ඩුව දිය වඩන නිළමේවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳව මහා නායක ස්වාමීන්
වහන්සේ පවා විරෝධය පළ කළහ. නමුත් ඥානසාර හිමියන් ඒ බවක් දන්නේදැයි නොදනිමි.
උතුරේ හමුදා කඳවුරු එකින් එක ගැලවෙමින් තිබේ. බොදුබල සේනා සංවිධානය ඒ ගැනද
නිහඬය. පසුගිය දා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මේ රට සිංහල රටක් නොවන බවට
ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කලේය. බොදු බල සේනා සංවිධානයේ ක්‍රමවේදයට අනුව මෙවන්
කරුණක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය වැටළිය යුතු වුවත් එවැන්නක් සිදු
නොවිනි.
පසුගිය කාලය තුළදීම බොදුබල සේනා සංවිධානය කට ඇරියේනම් ඒ අවස්ථා දෙකකදී පමනි. ඉන් එකක් “අර බලු සේනා මේ බලු සේනා ආවොත් අපිට කියන්ඩ” යනුවෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය කරන ලද ප්‍රකාෂයකට විරෝධය පළ කිරීමටයි. තමන්ව ඉලක්ක කර එක එල්ළේ කරනු ලබන චෝදනාවකට ප්‍රතිචාර දැක්වීම ඕනෑම සංවිධානයක හෝ පුද්ගලයෙකුගේ ස්වභාවයක් බැවින් (අනුර කුමාර දිසානායක මහතාට සහ පාඨලී චම්පික රනවක මහතාට මේ කරුණ අදාල නොවේ. විජේදාස රාජපක්ෂ මහතාගෙන් ගත්තායැයි කියන ලක්ෂ 25 පිළිබඳ චෝදනාවට අනුර කුමාර මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. රාජිත සේනාරත්න මහතා හෙළිකරන පාටලීගේ ස්ථාවරය වන "ඔයාල පෙඩරල් දෙන්න, බලය බෙදන්න, ඔයාල කරගෙන යන්න, අපි (බොරුවට ) විරුද්ධ වෙන්නම්" යන්න සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. ) චන්ද්‍රිකා මහත්මියට දැක්වූ ප්‍රතිචාරය එතරම් අරුමයක් නොවේ.
ඔවුන් හඬ අවධිකළ දෙවැනි අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිරිස් සංවිධානය කළ විරෝධතාවකට පටි නැති කොඩි ගෙනැවිත් ඇතිකළ අර්බුධ අවස්ථාවයි. ඒ පිළිබඳව මදක් කතා කළ යුතුය.
මා මුළ සිටම බොදු බල සේනාහි ක්‍රියාකාරිත්වය අනුමත කළ සහ අදත් එවන් සංවිධානයක පැවැත්ම යුක්ති යුක්ත කරන්නෙක්මි. මා මෙයට පෙරද මේ සම්බන්ධයෙන් "පාඨලීගේ මාධ්‍ය මාෆියාව අධ්‍යක්ෂණය කළ බොදු බල සේනා ව්‍යාපෘතිය" ලිපියෙහි කරුණු දක්වා ඇත්තෙමි.
නමුත් මෙතන ඇත්තේ බොදු බල සේනා නමින් පෙනී සිටින පිරිසේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයකි. එහි මුල් තැනක සිටින අතීත රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු පිළිබඳව මුළ සිටම ගැටලු නොතිබුනා නොවේ. මෙම කොඩි සිද්දිය ඒ නොගැලපීම කරළියට පැමිනි මොහොතකි. මේ රටේ සිංහල බෞද්ධයාට කප්පරක් ප්‍රශ්න තිබේ. ඒ කප්පරක් ප්‍රශ්න, අසාධාරනයන් අතර එක් තැනක ජාතික කොඩියේ වර්ණ තීරු පිළිබඳ ප්‍රශ්නයද තිබෙන බව සැබෑවකි. නමුත් එය මේ මොහොතේ ප්‍රධාන හෝ තීරනාත්මක ප්‍රශ්නයක් නොවේ. අද රට තිබෙන්නේ පාට තීරු නොව ජාතික කොඩියෙන් සිංහයා ඉවත් වීමේ තර්ජනාත්මක මොහොතකය. එවන් අවස්ථාවක මේ කැලේ ප්‍රශ්න කරළියට ගෙනැවිත් ජාතියේ ඒකාග්‍රතාව බිඳ දමා මේ නැගීගෙන එන ජනතා පවුර කඩා විසුරවීමට උත්සාහ දැරීම සමාව දිය නොහැකි වරදකි. බොදු බල සේනා සංවිධානය ඒ පිළිබඳව වරදකරු විය. දින 100 නිහැඩියාව බිඳිමින් ඥානසාර හිමියන් නිදිගැට හැර අවධි වූයේ මේ සිදුවීම පදනම් කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ එතුමාගේ පාර්ශ්වයට පහර දීමටයි. මාධ්‍ය සාකච්ඡා පැවැත්විනි. පුවත්පත් සාකච්ඡා පැවැත්විනි. මාධ්‍ය ප්‍රකාෂන පිටවිනි. බදුර්දීන්ගේ විල්පත්තු සංහාරය, ජාතික ගීය දෙකඩ කිරීම, උතුරේ හමුදා කඳවුරු ගැලවීම, ජාතික රූපවාහිනියට වැදුනු හිපියන් බෞද්ධයාට කරන ගැරහිලි කිසිවකට නොඇරුනු බොදුබල සේනාහි කට මහින්දට එරෙහිව විවර විය. ඒද වැදගැන්මකට ඇති කරුණක් සම්බන්ධයෙන් නොව ප්‍රමුකතා ලැයිස්තුවේ නොපෙනෙන ඈතක ඇති සිල්ලර ප්‍රශ්නයක් සම්බන්ධයෙනි.
එසේ ඇරඹි බොදු බල සේනාහි යහපාලන ගමන් මග අද වනවිට මහ මැතිවරණයට තරඟ කිරීම දක්වා විකසනය වී ඇත.
ඔවුන් වෙනම දේශපාලන ගමනක් ආරම්භ කරන්නේනම් හෝ දැනටමත් ගොඩ නැගී තිබෙන හෝ ඉදිරියේදී ගොඩනැගෙන දේශපාලන පෙරමුණකට එක්වන්නේනම් හෝ ඒ කවර පදනමකින් විය යුතුද? බොදු බල සේනා මෙතෙක් ක්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධයා වෙනුවෙන් ක්‍රියාකාරී වන සිවිල් සංවිධානයක් වශයෙනි. එසේනම් ඔවුන්ගේ දේශපාලනයද සිංහල බෞද්ධයාට වන අසාධාරනයට එරෙහි වූවක් විය යුතුය. නමුත් එවිට පැන නගින සරළ ප්‍රශ්නයක් ඇත. එම ප්‍රශ්නයට මෙතෙක් බොදු බල සේනාහි කීවෙක් පිළිතුරු දී නැත.
සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කරන බවට සපත වෙමින් දේශපාලනයට එන පළමු සංවිධානය බොදුබල සේනා නොවේ. කලකට පෙර ජාතික හෙළ උරුමය බිහිවන්නේ ඒ අවශ්‍යතාවය වෙනුවෙනි. දැන් ඒ අවශ්‍යතාවය වෙනුවෙන්ම බොදු බල සේනාද දේශපාලනයට පැමිනෙන්නේනම් එහි අර්ථය බොදුබල සේනා සංවිධානය සිතන පරිදි හෙළ උරුමය තම මුල් භූමිකාවෙන් ඉවත් වී ඇතැයි යන්නද? එසේ ඉවත් වී ඇත්නම් බොදු බල සේනා සංවිධානය තම දේශපාලන ගමනට අත් පොත් තැබිය යුත්තේ හෙළ උරුමය මගින් ඉටු නොවූ එම අඩුව පිරවීමට බිහි වන පක්ෂයක් වශයෙනි. එසේනම් ඔවුන්ගේ පළමු කරුණ විය යුත්තේ සිංහල බෞද්ධ හම පෙරවාගෙන තවමත් දේශපාලනයේ රැඳී සිටින හෙළ උරුමයේ හෙළුව නිරාවරණය කිරීමයි. නමුත් අද වන තුරු බොදුබල සේනා වෙතින් එවැන්නක් සිදු වී නැත.
එසේනම් සිදුවිය යුතු දෙවැන්න බොදු බල සේනා ක්‍රියාත්මක විය යුත්තේ හෙළ උරුමයට සහාය දෙන දේශපාලන පෙරමුනක් වශයෙනි. එවැන්නක් අද වන තුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශකර නැතත් බොදු බල සේන හෙළ උරුමය විවේචනය නොකරන්නේනම් ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. එකම කරුණ සම්බන්ධයෙන් පක්ෂ දෙකක් බිහි වීමේ ඉඩක් දේශපාලනය තුළ නැත.
2014 පැවති ජාතික හෙළ උරුම සම්මේලනයේදී ප්‍රකාශයට පත් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ එය සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීම දේශපාලන අරමුණ කරගත් පක්ෂයක් බවයි. නමුත් ඉන් මාස 8 කට පසුව මෙම වසරේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වන එහි නායක අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරන්නේ හෙල උරුමය කිසි දිනක සිංහල බෞද්ධ පදනම මත බිහිවූ පක්ෂයක් නොවන බවත් එයට වඩා පුළුල් දේශපාලන දැක්මක් තම පක්ෂයට ඇති බවත්ය.
පාඨලී චම්පික රනවක ඇමතිවරයාද සිටින ජාතික විධායක සභාවේදී ජාතික ගීය දෙමළ බසින් ගැයීමට තීරණය කරන්නේ ඒ පුළුල් දැක්මට අනුව විය යුතුය. ගෝඨාභය අල්ලාගෙන සිටි ඉඩම් යැයි කියමින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම එම ඇමතිවරයාම යුක්ති යුක්ත කරන්නේ එම පුළුල් දේෂපාලන දැක්මට අනුව විය යුතුය.
ගිය වසරේ බොදු බල සේනා සංවිධානය විල්පත්තු වන සංහාරය දැක ගැනීමට ගිය නිරීක්ෂන චාරිකාවට සමගාමීව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන පාඨලී චම්පික රනවක ප්‍රකාශ කරන්නේ උතුරෙන් යුද්ධය හේතුවෙන් අවතැන් වූවන්ට අද වන විට උතුරු පළාතෙන්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද ඉඩම් ලැබී ඇති බැවින් විල්පත්තුවෙන් නැවතත් ඉඩම් ලබා දීම වැරදි බවයි. එමෙන්ම ජාතිවාදී ලෙසින් කරන පදිංචිකිරීම් දැඩි ලෙසින් හෙළා දකින බවත් ඔහු පවසයි. ඉන් නොනැවතී විල්පත්තුවෙන් පමනක් නොව ජනවාර්ගික අනුපාතය විකෘති වන අයුරින් පුත්තලම දිස්ත්‍රික්කය තුළද පදිංචිකර ඇති මුස්ලිමුන් පවා ඉවත් කළ යුතු බව ඔහු පවසන්නේ බොදුබල සේනා සාමාජිකයන් අමන්දානන්දයට පත් කරමිනි. ඒ ගිය වසරේදීය. නමුත් රතන හිමි පවසන පරිදි අද වනවිට ඔවුන් පටු සිංහල බෞද්ධ පදනමින් ඉවත්ව පුළුල් දේශපාලනයකට අවතීරණය වී ඇත. ඒ පුළුල් දැක්මට අනුව අද පාටලී ඇමතිවරයා විල්පත්තුව පිළිබඳ පවසන්නේ ඉතා මට සිළිටි සමනල කතාවකි. ඔහු පවසන්නේ හම්බන්තොට නගරයද, අම්පාර නගරයද, බෙල්ලන්විලද ඉදිකර ඇත්තේ අභයභූමි තුළ බැවින් විල්පත්තු පදිංචිකිරීම් වල වරදක් නැති බවයි.
එපමනක් නොව පාඨලී සහ රතන හිමි ප්‍රමුඛ හෙළ උරුමයේ සිංහල බෞද්ධ ජාතිකවාදී මුහුනුවරද වෙස් මුහුණක් පමනක් බව රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් සනාත වෙයි. ඔහු පවසන්නේ රතන හිමි ආදීන්ගේ සිංහල බෞද්ධ ජාතිකත්වය පොලිටිකල් (හුදෙක්ම දේශපාලන වාසිය පිණිස පවතින ) බවයි. එපමනක් නොව මේ ආණ්ඩුව කරන බෙදුම්වාදී සහ දෙමළ මුස්ලිම් ජාතිවාදී, සිංහල බෞද්ධ විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාඨලී ඇමතිවරයා ප්‍රධාන හෙළ උරුමය දක්වන සිල්ලර විරෝධයද හුදෙක් දේශපාලන පැවැත්ම උදෙසා කරන රඟපෑමක් පමනක් බව රාජිත ඇමතිවරයා ඉතා පැහැදිලිව පවසයි.
කරුණු මෙසේ තිබියදී බොදු බල සේනා සංවිධානය හෙළ උරුමයත් සමඟ එක්ව මහ මැතිවරණයේදී කන දීගය කුමක්ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි.
එක්කෝ බොදු බල සේනා සංවිධානය දේශපාලනයට පැමිනිය යුත්තේ හෙළ උරුමයේ මේ ව්‍යාජ සිංහල බෞද්ධ විරෝධී බල ලෝභී දේශපාලනය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුවය. හෙළ උරුමයෙන් ඉටු නොවන දේශපාලන අවශ්‍යතාවය ඉටු කිරීමට එවිට බොදු බල සේනා වෙත ඉඩ කඩ විවර වෙයි.
එසේ නැතහොත් බොදු බල සේනාද තම සිංහ හම උනා දමා හෙළ උරුමයේ සමනල දේශපාලනය තෝරාගත යුතුය. ඥානසාර හිමියන් මින් තෝරාගන්නේ කුමක්ද? උන්වහන්සේගේ හෙළ උරුමය පිළිබඳ නිහැඬියාව අපට ඒත්තු ගන්වන්නේ බොදු බල සේනාහි ස්ථාවරය මෙහි සඳහන් දෙවැන්න බවයි. බොබසේ ද හෙළ උරුමය සමඟ එක්ව සිංහල බෞද්ධයන්ට එරෙහි ව්‍යාජ දේශපාලනය තෝරාගෙන ඇති බව අපට අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදුවී ඇත.
මෙම රජය සිදුකරන සිංහල බෞද්ධ විරෝදී ක්‍රියාවන් සම්බන්ධයෙන් බොදුබල සේනා හි මරණීය නිහැඬියාව අපගේ එම නිරීක්ෂනය තවත් ශක්තිමත් කරයි. කහ සිවුරත්, සිංහයාගේ රූපයත් ඉදිරියට දමා ගෙන අද බොදුබල සේනා සංවිධනය ඉටු කිරීමට යන්නේ පාඨලී, රාජිත ආදීන්ගේ කොන්ත්‍රාත්තුවකි.
ළඟ එන මහ මැතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ඡන්දවල හැසිරීම කාටත් රහසක් නොවේ. ඒ පැහැදිලිවම සිංහල බෞද්ධයාට, ජාතික ආරක්ෂාවට, රටේ ඒකීයත්වයට එරෙහි ඡන්දයකි. එසේනම් අපට ගොඩයා හැකි එකම ක්‍රමය සින්හල ඡන්ද එක් ගොඩකට ගොනු කිරීම පමනි. ඒ ගොඩ කිසි සේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාපයනම් නොවේ. අද වන විට මෙම රජය මංගල සමරවීර හරහා කොටි සමඟ සාම සාකච්ඡා ආරම්භ කර ඇත. සාකච්ඡා කිරීමට කොටි කොහෙන්ද යන ප්‍රශ්නය කිසිවෙකු ඇසිය හැකිය. ඉතිරිවී ඇති කොටි එකා දෙන්නා එකතු කොට හෝ එය කිරීම ඔවුන්ගේ උපාය වී ඇත. ඔවුන්ගෙන් අපට වන සෙතක් නැත. දෙමළ මුස්ලිම් බෙදුම්වාදී ඡන්ද ඔවුන්ව පෝශනය කරනු ඇත.
එසේනම් අපට ඇත්තේ එම එජාප විජාතිකත්වයට එරෙහි බල කඳවුරට සහාය දිම පමනි. මේ ඡන්දයෙන් සිංහලයාට දිනා ගත හැකි උපරිමය එම කඳවුර කෙතරම් ශක්තිමත්ද යන්න මත තීරණය වේ. එසේ නොමැතිව බොදු බල සේනාව හෝ වෙනත් කිසිවෙකු හෝ කෙතරම් කෑගැසුවත් ඉන් සිංහලයාට සත පහක ප්‍රයෝජනයක් මේ ඡන්දයේදී අත් නොවනු ඇත. එය මනාව පැහැදිලි වන්නේ ගිය මැතිවරණයේදී ඉදිරිපත් කළ යහ පාලන ප්‍රෝඩාව සමඟ සැසඳිමෙනි. ඔවුන් සිංහලයාගේ ඡන්දය ගත්තේ ඡන්ද දායකයාව කප්පරක් සිහින මාලිගා තුළ සිර කරමිනි. නමුත් අද වන විට ඉන් ඉටු වී ඇත්තේ කුමක්ද? පාඨලී ඉන්නවනේ, රතන හාමුදුරුවො ඉන්නවනේ යනුවෙන් කීවද අද මේ රජයේ විජාතික ගමන්මග නතරකිරීමට ඔවුන්ට කළ හැක්කේ කුමක්ද?කරුණු එසේ තිබියදී බොදු බල සේනා අද උත්සාහ කරන්නේ මෙම නැගී ගෙන එන සිංහල ජාතික බලවේගය කඩා ඉන් කොටසක් බිලී බා ගැනීමටයි. ඔවුන්ගේ අවසන් අරමුණ රනිල් වික්‍රමසිංහගේ, සම්බන්ධන්ගේ, හකීම්ගේ සහ පැත්තක එල්ලුනු පාඨලීගේ රජයකි.
සංකේතාත්මකව ගතහොත් ඉදිරි මැතිවරණයේදී
ඥානසාර-රතන-සෝභිත ත්‍රිත්වය යම් එකඟතාවක සිට ක්‍රියාත්මක වනු ඇත. ඒ
අනුසාරයෙන් සුදු හැඳගත් හොර උපාසකයන් කිහිපදෙනෙකුට පාර්ලිමේන්තු වරම්
ලැබුනද සිංහලයාට යන එනමං නැතිවනු ඇත. ඔවුන් කරකරන්නේ රොටිය නොවේ. මේ සිංහල
ජාතියයි. සිංහලයා හැකිනම් ඒ රත්වූ කබලෙනුත් ලිපට ඇද දැමීම ඔවුන්ගේ අරමුණ
වනු ඇත.
ඥානසාර හිමියන්ට උන්වහන්සේගේ වාග් චාතුර්යයට මම අදත් ගරු කරමි. එමෙන්ම උන්වහන්සේ තුළ අදටත් ජාතිය පිළිබඳ අවංක කැක්කුමක් ඇතැයි සිතීමට මම කැමැත්තෙමි. නමුත් මගේ ඒ ගෞරවය ඒ පැහැදීම රඳවාගැනීමට අවස්ථාවාදී හොර බෞද්ධයන්ගේ බළල් අතක් වී ඇති බොදු බල සේනාව අසමත් වේනම් මම කුමක් කරන්නද?
ඥානසාර හිමියනි, කමා කළ මැනවි!
-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments:
Post a Comment