Thursday, May 28, 2015

කල් ඉකුත් වූ ආණ්ඩුවට රාජ්‍ය සේවක මූලික වැටුප ශත 05කින්වත් වැඩි කිරීමට බැරි වුණා

කල් ඉකුත් වූ ආණ්ඩුවට රාජ්‍ය සේවක මූලික වැටුප ශත 05කින්වත් වැඩි කිරීමට බැරි වුණා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේදී මූලික වැටුප ශත 05කින්වත් වැඩි කිරීමට නොහැකි වූ දින 100 ආණ්ඩුව රාජ්‍ය සේවකයාට බරපතළ වරදක් සිදු කළ බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති, පියසිරි විජේනායක මහතා එසේ චෝදනා කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
‘‘සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ මේ වන විට බරපතළ කඩා වැටීම් කිහිපයක් තියෙනවා. රට පුරා ශල්‍යකර්ම 12,000ක් අද වන විට නතර වී තියෙනවා. යහපාලනය යටතේ ජනතාවගේ ගැටළු විසදනවා කියපු වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවකයන් අද පාරට බස්සලා තියෙනවා. රෝගී ජනතාව අසරණ කරලා තියෙනවා. අද ඇත්තේ කල් ඉකුත් වූ ආණ්ඩුවක්. දැන් යහපාලන ආණ්ඩුවට දින 100 පැනලා තියෙනවා.
තව එක දිනයක් හෝ බලයේ ඉන්න අයිතියක් නැති මේ ආණ්ඩුව අද වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් යනවා. මේ ආණ්ඩුව සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම ඉටු නොකර ඔවුන් සටන් මාවතට ඇද දැමීම අපි දැඩිසේ හෙළා දකිනවා. තව දිනයක් හෝ ඇමති ධුරයේ නොසිට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය අවුලෙන් අවුලට ඇද දැමූ රාජිත සේනාරත්න ඉල්ලා අස්විය යුතුයි.
රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් 15,040 දක්වා වැඩි කිරීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගියවර අය – වැයෙන් යෝජනා කර තිබුණා. නමුත් අද සිදුව ඇත්තේ මූලික වැටුපේ කිසිදු වැඩිවීමක් නොමැතිව දීමනාවක් වැටුපට එල්ලීම පමණයි. ඒ නිසා විශ‍්‍රාම යන රාජ්‍ය සේවකයා විශාල ගැටළුවකට මුහුණ පා තිබෙනවා. යහපාලන දින 100දී රාජ්‍ය සේවකයන් 15,000 පමණ විශ‍්‍රාම ගොස් තියෙනවා. ඔවුන්ට ලැබෙන්නේ පැරණි විශ‍්‍රාම වැටුපමයි. වැටුපට දීමනා එල්ලූවාට සැබෑ වැටුප් වැඩි වීමක් ලැබී නැහැ. රාජ්‍ය සේවකයන් ණයක් ලබාගැනීමේදීත් මූලික වැටුප පමණක් සලකා බලන නිසා මේ වැටුපට දීමනා එල්ලීම එහිදීත් අහිතකර ලෙස බලපා තිබෙනවා. මේ ආණ්ඩුව බොරු පුරාජේරු කතා කීවත් රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප ශත පහකින්වත් වැඩි නොකිරීම බරපතල වරදක්.
රාජ්‍ය සේවකයාට තිබුණා කෑම පැයක්. යහපාලන ආණ්ඩුව ඒ කෑම පැය, පැය භාගය දක්වා කප්පාදු කර තිබෙනවා. කෑම පැයක් ලබාගත්තේ වැඩකරන ජනතාව අප‍්‍රමාණ කැප කිරිම් සිදු කරලයි. මේ විදියට මූලිකම රාජ්‍ය සේවක අයිතීන් කප්පාදු කරන කොට, මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට පාර කපපු ජනතා විමුක්ති පෙරමුණ වගේම ජාතික හෙළ උරුමයත් නිහඩයි. රාජ්‍ය සේවකයාට අයිති කෑම පැය යළි ලබා දෙන ලෙසත්, අනෙකුත් අයිතීන් කප්පාදු නොකරන ලෙසත් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඉල්ලීම කල් ඉකුත් වූ මේ ආණ්ඩුවෙන් ඉල්ලලා වැඩක් නෑහැ. මේ යහපාලන කල්ලිය එදා කීවේ ‘මහින්ද රාජපක්‍ෂ ඔයාලට දුන්නු යතුරු පැදියට රුපියල් 50,000ක් ගත්තා අපි බලයට ආපු ගමන් ඒක ආපහු දෙනවා. දැනට යතුරු පැදි ලැබී නැති රජයේ සේවකයන්ටත් යතුරු පැදි ලබාදෙනවා’ කියලයි. දැන් දින 100 තුළ මොකද කළේ? මහින්ද රාජපක්‍ෂ පාලනයෙන් ගෙනවිත් තිබුණු යතුරු පැදි ටික බෙදලා දුන්නා. 50,000 දුන්නෙත් නැහැ. ඉතිරි පිරිසට යතුරු පැදි ලබාදුන්නෙත් නැහැ. මේ ආණ්ඩුවට කල් ඉකුත් වන තෙක් ක්‍ෂේත‍්‍ර නිලධාරියකුට එක යතුරු පැදියක්වත් ලබා දෙන්න බැරි උණා.
සේවක අර්ථ සාධක අරමුදලට සේව්‍ය පක්‍ෂයෙන් වැඩිපුර 2%ක් ගෙවිය යුතු බවට මහින්ද රාජපක්‍ෂ මහතාගේ අය – වැයෙන් තීන්දු කළා. නමුත් ඊට අදාළ ගැසට් නිවේදනය මේ යහපාලන මහත්වරු අද වනතුරු ගහලා නැහැ. මේ කල් ඉකුත් වූ ආණ්ඩුවෙන් මෙය ඉටුකරන ලෙස අප ඉල්ලන්නේ නැහැ. නමුත් අපි ජනාධිපතිතුමාගේ අවධානයට මෙය යොමු වෙයි කියා සිතනවා.
අද වන විට අතිකාල දීමානා කප්පාදුකර තිබෙනවා. රජයේ සංස්ථා, මණ්ඩල හා සමාගම්වල සේවකයන්ට බෝනස් ලබාදීම අතිහිටුවා තිබෙනවා. ඒ වගේම දේශපාලන වශයෙන් සේවකයන් දඩයම් කිරීම පළිගැනීම ඉහවහා ගොස් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරිමේ සිට රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීම දක්වා වූ වැඩපිළිවෙළක මේ ආණ්ඩුව ඉන්නවා. මේ කල් ඉකුත් වූ ආණ්ඩුව විසුරුවා හැරලා වැඩකරන ජනතාවට ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩකඩ සලසා දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා’’
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

No comments:

Post a Comment